SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) මුද්‍රණය කිරීමේදී සිදුවී ඇති

වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන මන්දගාමී වීම පිළිබඳව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සිය අප්‍රසාදය පළ කළේය. නව රජය යටතේ මෙම වංචා පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු නොවීම කනගාටුවට කරුණක් බව ඔහු සඳහන් කරයි.

 

වෛද්‍ය චමල් සංජීව මෙම අදහස් පළ කළේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයන් සමග මාධ්‍ය හමුවක් පවත්වමිනි. මෙම වංචනික ක්‍රියා දෙකම එක් අන්තර්ජාල සේවා සපයන සමාගමක් මඟින් සිදුකර ඇති බවද ඔහු හෙළි කළේය.

 

 

පාස්පෝට් ටෙන්ඩර් වංචාව

 

 

පාස්පෝට් මුද්‍රණය සඳහා ටෙන්ඩර් ලබාදීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය නොකර, රටේ පැවති උද්ධමන අනුපාත නොසලකා ඉතා ඉහළ මිල ගණන් යටතේ එක් සමාගමකට පමණක් වසර 22කට ආසන්න කාලයක් තිස්සේ මෙම ටෙන්ඩරය ලබා දී ඇති බව වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

 

මෙම වංචාවට 2003 වසරේ සිට මේ දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කළ සියලුම අමාත්‍යවරුන් සහ කොමසාරිස් ජෙනරාල්වරුන් වගකිව යුතු බව ඔහු ප්‍රකාශ කළේය. මෙම අක්‍රමිකතා හේතුවෙන් රජයට සිදුවී ඇති මූල්‍ය පාඩුව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වැනි බස් නැවතුම්පොළ දහයකට වඩා නඩත්තු කිරීමට තරම් විශාල බවද ඔහු සඳහන් කළේය.

 

 

NMRA දත්ත වංචාව

 

 

NMRA දත්ත වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළද, එහි ප්‍රගතිය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. මෙම විමර්ශන කටයුතු යළි නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

 

මීට අමතරව, මෙම වංචාව සිදු වූ අවස්ථාවේ NMRA හි සේවය කළ බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තවමත් ඉහළ තනතුරු දරන බැවින් විමර්ශනවලට එය බාධාවක් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළද, ඔහු ඒ පිළිබඳව නොසැලකිලිමත් වීම ගැන තමා කණගාටු වන බවද වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේය.

 

මෙම සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නුදුරේදීම පොලිසිය භාර අමාත්‍යවරයා හමුවීමට දින යොදාගෙන ඇති බවත්, දේශපාලන බලපෑම්වලින් තොරව මෙම විමර්ශන කඩිනමින් සිදුකර වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පැවසීය.

 

 

නවතම ලිපි