ගාසා නගරය, පලස්තීනය - ගාසාව අත්පත් කරගැනීමේ අවසානම සහ ම්ලේච්ඡ රංගනයට ඊශ්‍රායලය අවතීර්ණ වී ඇත.
කුසගින්නෙන්, පිපාසයෙන්, වෙඩි පහරවලින් සහ බෝම්බ ප්‍රහාරවලින් අමු අමුවේ ඝාතනය වන ගාසා වැසියන්ගේ ඉතිරිව සිටින ජනතාවගේ අවසාන හෝරා කිහිපය උදාවෙමින් තිබේ. මේ ඛේදවාචකය හමුවේ ලෝක සාම දූතයින් අන්ධ, ගොළු සහ බිහිරි වී ඇති අතර, සෙසු රටවල්ද අහක බලාගෙන සිටියි.
ඊශ්‍රායල හමුදා, ගාසා නගර වාසීන් වෙත ඉවත් වීමේ නියෝග අත් පත්‍රිකා තොග ගණනින් ගුවනේ සිට විසිරවීමත් සමඟ නගරයේ දැඩි කලබලකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. ඊශ්‍රායල හමුදා මීට පෙර නිවේදනය කළේ, එළැඹෙන හෝරා කිහිපය තුළ හමාස් සංවිධානය මුලිනුපුටා දමන දැවැන්ත හමුදා ක්‍රියාන්විතයක් ආරම්භ කරන බවයි. යුද්ධයට පෙර මිලියනයකට අධික පලස්තීන ජනගහණයකින් සමන්විත වූ ගාසා නගරය, හමාස් සංවිධානය සතු අවසන් බල ප්‍රදේශ දෙකෙන් එකකි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ ප්‍රකාශ කළේ,
"ගාසා වැසියන්ට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස දන්වමි. හොඳින් සවන් දෙනු. මේ අනතුරු ඇඟවීමක්. වහා මෙතැනින් ඉවත්වනු,"
යනුවෙනි.
පසුගිය දින කිහිපය පුරා ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා නගරයේ තට්ටු නිවාස සංකීර්ණ බෝම්බ හෙළා මුළුමනින්ම පොළොවට සමතලා කළේය.
මරණයෙන් මිදීමට විකල්ප නැත
අල්-මවාසි (Al-Mawasi) ප්‍රදේශයේ වෙන් කරන ලද විශේෂ මානුෂීය කලාපය වෙත වහා පලා යන ලෙස ඊශ්‍රායල හමුදා ගාසා නගර වැසියන්ට දැනුම් දී ඇත. එහෙත්, මෙම සමූහ ඉවත් කිරීමකට තවමත් පෙර සූදානමක් නොමැති බව ජනතාව පවසයි.
55 හැවිරිදි මවක වන උම් මොහම්මද් (Um Mohammad) රොයිටර්ස් පුවත් සේවය වෙත කෙටි පණිවුඩයක් මගින් දන්වා ඇත්තේ,
"ඉතිරිව ඇත්තේ තවදුරටත් රැඳී සිටිමින් දරුවන් සය දෙනා සමඟ මෙහිම මිය යන්නේද, නොඑසේව දකුණට පලා ගොස් එහිදී මරණය වැළඳ ගන්නේද යන දෙගිඩියාව පමණක්"
බවයි.
අපකීර්තිය වසාගැනීමට ක්‍රීඩා
ඊශ්‍රායලය සිය ම්ලේච්ඡත්වය වසාගැනීම සඳහා විවිධ උපාය මාර්ග භාවිතා කරමින් සිටියි. එම රටේ රජය, තමන් අපකීර්තියට පත්වීම වැළැක්වීම සඳහා ලෝකයේ අන් රටවල මාධ්‍යවේදීන් තම රටට ගෙන්වාගෙන, වරප්‍රසාද සහ වරදාන ලබා දෙමින් ඔවුන්ගේ මොළ සෝදා, පලස්තීනයේ හමාස් සංවිධානයේ වරද ඉහළට ඔසවමින් සියලුම ක්‍රීඩාවන් සිදු කරයි.
මේ අතර, ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය, ගාසා නගරයේ රෝහල් ඊශ්‍රායල ප්‍රහාරවලින් බේරා ගැනීම සඳහා මැදිහත් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ. නොකඩවා එල්ල වන ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි විරෝධය පා, යුරෝපීය රටවල් රැසක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී පලස්තීන රාජ්‍යය පිළිගැනීමට එකඟතාව පළ කර ඇත.
මෙම අර්බුදයේදී ඊශ්‍රායලය තම දෑත ගාසා වැසියන්ගේ ගෙල මතට හෙළා ඇති අතර, ඉතිහාසයේ ලියා තැබෙන තවත් කටුක පරිච්ඡේදයක් බවට මෙය පත්වීමට ඉඩ නොදීම ලෝකයේ වගකීම බව මින් අවධාරණය වේ.
#සමාරා පරණවිතාන