SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ටෙලි සිනමා පිටපත් රචිකා පවිත්‍රා රූපසිංහගේ නවතම නවකතාව වන 'ෆස්ට් ක්ලාස්',

2025 සැප්තැම්බර් 12 වැනි දින කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී දොරට වඩිනු ඇත.

 

 

මෙම දොරට වැඩුම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ නීල් රූපසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, දීප්ති කුමාර ගුණරත්න සහ විදර්ශන කන්නන්ගර විසින් අදහස් දැක්වීම් සිදු කරයි.

 539558617 24960203373597606 7028737857432802550 n

 

 

'ෆස්ට් ක්ලාස්' නවකතාව, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ ජීවිතය වටා ගෙතුණු සත්‍ය සිදුවීම් පදනම් කරගත් කතාවක් බව එහි කතුවරිය පවිත්‍රා රූපසිංහ පවසයි.

 

නවකතාවට පාදක වූ කතාව

 

විශ්වවිද්‍යාල සිසුවියක වන නේත්‍රා පළමු පන්තියේ සාමාර්ථයක් ලබාගැනීමට දරන උත්සාහයත්, ඒ අතරතුර ඇය වයෝවෘද්ධ මහාචාර්යවරුන්ගේ හිංසනයට ලක්වන ආකාරයත් 'ෆස්ට් ක්ලාස්' මගින් අනාවරණය කරයි. මෙම හිංසනය ඇයට නොදැනෙන අයුරින් සිදුවන බවත්, එය සමාජයට අහිතකර ලෙස බලපාන බවත් කතුවරිය පෙන්වා දෙයි. ඇය පවසන පරිදි, මෙම නවකතාවෙන් ශාස්ත්‍රීය උගතුන් යැයි කියාගන්නා ඇතැම් පුද්ගලයන් පත්ව ඇති ඛේදනීය ඉරණම පිළිබිඹු කරයි.

 

 

'ප්‍රබන්ධයක් නොවන ප්‍රබන්ධයක්'

 

පවිත්‍රා රූපසිංහ පවසන්නේ, 'ෆස්ට් ක්ලාස්' යනු සත්‍ය සිදුවීම්, පුද්ගලයන් සහ ආයතන මත පදනම් වූ ප්‍රබන්ධයක් බවයි. ඇයට අනුව, නිර්මාණකරුවෙකුට යථා ලෝකයෙන් සම්පූර්ණයෙන්ම දුරස් වී යමක් නිර්මාණය කළ නොහැකිය. සත්‍ය ලෝකය සහ නිර්මාණකරණය එකිනෙකට බැඳී පවතී.

 

"අප ජීවත් වන මේ ඇත්ත ලෝකයම ආයෙමත් ප්‍රබන්ධයක්. ඒ නිසා, 'ෆස්ට් ක්ලාස්' කියන්නේ ප්‍රබන්ධයක් සහ ප්‍රබන්ධයක් නොවන නවකතාවක් අතර දෝලනය වන කතාවක් ලෙස හඳුන්වන්න මම වඩාත් කැමතියි"

ඇය සඳහන් කළාය.

 

 

නිර්මාණකරණය සහ ජීවිතය

 

නිර්මාණකරණය යනු හුදෙක් විනෝදාංශයක් විය යුතු බව පවිත්‍රා රූපසිංහගේ අදහසයි. ජීවත්වීම සඳහා සාහිත්‍ය මත යැපීම ජයග්‍රහණයක් නොවන බව ඇය විශ්වාස කරයි. ජීවිතය සහ නිර්මාණකරණය එකිනෙකට අනුපූරක වන බවත්, ඒවා අපගේ ජීවිතය ශක්තිමත් කරන බවත් ඇය පෙන්වා දෙයි.

 

 

පවුල් උරුමයක් නොවන නිර්මාණකරණය

 

සාහිත්‍ය නිර්මාණකරණය පවුල් උරුමයක් ලෙස පැවත එන බවට සමාජයේ පවතින මතය ඇය ප්‍රතික්ෂේප කරයි. ඇය පෙන්වා දෙන්නේ, නිර්මාණකරණය යනු ජානමය ආබාධයක් හෝ පරම්පරාගත උරුමයක් නොවන බවයි.

 

"අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යයන තනතුරු පවා පවුල්වල අයට යන අවස්ථා තිබෙනවා. එය රටේ දියුණුවට බාධාවක්. නමුත් 'ෆස්ට් ක්ලාස්' යනු ජානමය ආබාධයක ප්‍රතිඵලයක් නොවේ,"

ඇය අවධාරණය කළාය.

 

 

නවකතා කලාව මුහුණ දෙන අභියෝග

 

නවකතා කලාව අද මුහුණ දෙන අභියෝග පිළිබඳව ද පවිත්‍රා රූපසිංහ අදහස් පළ කළාය. ශ්‍රී ලංකාවේ මිලියන 20කට අධික ජනගහනයක් සිටියද, වසරකට නවකතා දහසක් හෝ අලෙවි කර ගැනීමට හැකි වන්නේ කතුවරුන් කිහිපදෙනෙකුට පමණක් බව ඇය පෙන්වා දෙයි.

 

"ආණ්ඩුවලට සහ රාජ්‍ය ආයතනවලට චෝදනා කිරීම පහසුයි. නමුත් පුද්ගලයන් විදියට අපි මේ තත්ත්වය වෙනස් කිරීමට මොනවද කරලා තියෙන්නේ කියලා අපෙන්ම අහන්න ඕනේ,"

ඇය අවසාන වශයෙන් සඳහන් කළාය.

 

 

ඇදුරියක වන්න..

දිසාපාමොක් දෙසන මග මෙන්න!

'ෆස්ට් ක්ලාස්' නවකතාව, සුසර ප්‍රකාශනයක් ලෙස එළිදැකේ.

 

 

@ සමාරා

නවතම ලිපි