පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ශ්‍රී ලංකාව තුළ
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට ගෙනැවිත් තිබූ අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් පනස් දහසක තොගය පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් සමඟ විමර්ශන අංශ පවා මවිතයට පත්ව ඇති අතර මෙරට තුළ කුඩා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත ජාලයක් පවතින්නේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අවධානය යොමුව ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පවසයි.
මේ ආකාරයට මෙම අමුද්‍රව්‍ය තොග වශයෙන් මීට පෙරද මෙරටට ගෙනැවිත් තිබේද යන්න සහ ඒවා බෙදා හරින ලද තැන් සහ සම්බන්ධ වුණු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ “අයිස්” මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා විදෙස් රටකින් මෙරටට ආනයන කරන ලද අමුද්‍රව්‍ය කන්ටේනර් දෙක වරායෙන් සහ ශ්‍රී ලංකා රේගුවෙන් මුදාහැර ඇත්තේ කෙසේද යන්න අනාවරණය කර ගැනීමට ඉදිරි සතියේ පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. පිඟන් භාණ්ඩ නිෂ්පාදනය සඳහා යැයි කියමින් මෙම රසායනික ද්‍රව්‍ය මෙලෙස ගෙන ඒම ගැටලු කිහිපයක් මතුකර ඇති බවත් විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීහු පෙන්වා දෙති.
ඉරානයේ හෝ පාකිස්තානයේ සිට ඉකුත් ජනවාරි මස ගෙන්වන ලද මෙම අමුද්‍රව්‍ය කිලෝ 50,000 මිද්දෙණිය, තලාව දකුණ කන්තෝරුවත්ත ප්‍රදේශයේ තිබී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉකුත් සිකුරාදා හවස සොයාගනු ලැබීය.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ගෙනෙන ලද මෙම අමුද්‍රව්‍ය එම ඉඩමේ වළදමා තිබූ අතර ඊට උඩින් කොන්ක්‍රීට් තට්ටුවක් යෙදීමටද සූදානම්ව තිබූ බව එම විමර්ශන කණ්ඩායමේ නිලධාරියෙක් කීවේය.
විමර්ශන නිලධාරීන් පවසන්නේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා එක්ව මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවය.
අයිස් මත්ද්‍රව්‍ය සඳහා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙනැවිත් එය මිද්දෙණිය ප්‍රදේශයේ වළදමා ඇති බැව් හෙළි වී ඇත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කෙරෙන බැකෝ සමන් නමැත්තාගෙනි.
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ බැකෝ සමන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මිද්දෙණියේ කජ්ජා නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් බැකෝ සමන් මිද්දෙණියට ගෙන ඒමත් සමඟ බියට පත්වූ බැකෝ සමන්ගේ පාර්ශ්වයන් වහා එම කන්ටේනර්වල තිබූ රසායනික ද්‍රව්‍ය එතැනින් ඉවත් කොට මෙසේ වළදමා ඇතැයි නිලධාරීහු කියති.
අඩි ගණනක් යටට කැපූ වළවල් තුළ මෙම රසායනික ද්‍රව්‍ය කැට අසුරා තිබිණි. ඒ අසලම තිබී එම රසායනික ද්‍රව්‍ය ගෙනෙන ලද කන්ටේනර් දෙකද නිලධාරීන් සොයාගෙන තිබේ.
මෙම රසායනික ද්‍රව්‍ය වළදමා ඇති ඉඩම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකු සතු බව කියමින් හැසිරුණු පුද්ගයෙකුගේ සොහොයුරකුට අයත් වූවක් බව විමර්ශන නිලධාරීහු කියති.
මෙලෙස ගෙන්වන ලද “අයිස් මත්ද්‍රව්‍ය” නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයෙන් කිලෝ 8,000ක් පමණ වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර එම තොගය නුවරඑළිය ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට නිලධාරීහු සැකකරති.
අයිස් මත්ද්‍රව්‍ය නුවරඑළිය ප්‍රදේශයේ නිවෙසක නිෂ්පාදනය කිරීම සඳහා මෙම රසායනික ද්‍රව්‍ය තොගය රැගෙන ගියද එය අසාර්ථක වී ඇති අතර පසුව ඒ සඳහා පාකිස්තාන ජාතිකයන් දෙදෙනකු සම්බන්ධ කරගෙන ඇති බවටත් තොරතුරු ලැබී තිබේ.
කෙහෙල්බද්දර පද්මේ විසින් මෙම නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 50කට වඩා මුදලක් වැය කර ඇති අතර ඒ සඳහා නිවෙසක්ද නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇතැයි කියයි.
අත්අඩංගුවට ගත් මෙම රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් “අයිස් මත්ද්‍රව්‍ය” නිපදවීම සිදුවූයේ නම් එය මෙරටට මහත් ව්‍යසනයක් වන බවද විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති.
අත්අඩංගුවට ගත් රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක ආදායමක් සොයා ගැනීමට මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ උත්සාහය වී තිබූ බවද වාර්තා වේ.
බස්නාහිර, උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ මෙහෙය වීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා මුල්වතාවට ගෙනෙන ලද මෙම රසායනික තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
@කීර්ති මෙන්ඩිස්
mawbima