වත්මන් ආණ්ඩුවට එරෙහි පුළුල් විපක්ෂ සන්ධානයක් සඳහා දළ කෙටුම්පතක් සූදානම්
වර්තමාන ආණ්ඩුවට එරෙහිව පුළුල් විපක්ෂ සන්ධානයක් ගොඩනැගීමේ මූලික කෙටුම්පතක් සකස් කර අවසන් බව වාර්තා වේ.
මෙම කෙටුම්පත නාරාහේන්පිට, කිරුළපාරේ පිහිටි හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ගේ නිවසේදී අද (14) සවස 5.00ට පැවති විපක්ෂ පක්ෂ නායකයන්ගේ හමුවකදී සකස් කර තිබේ.
ඒ අනුව, මෙම දළ කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් සමඟ ලබන සතියේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන සියලුම විපක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව මෙම පුළුල් සන්ධානයේ අවසන් කෙටුම්පත සකස් කිරීමට තීරණය වී ඇත.
වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන බවත්, ඉදිරියේදී රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක්වී තිබේ. මෙම තත්ත්වය හමුවේ විපක්ෂයේ කාර්යභාරය උපරිමයෙන් ඉටු කළ යුතු බවටද මෙහිදී අවධානය යොමු කර ඇත.