ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තාමර කළුබෝවිල පත් කර තිබේ.
හිටපු සභාපති වෛද්‍ය ජයංග තිලකරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පත්වීම සිදුවිය.
වෛද්‍ය ජයංග තිලකරත්න බදුල්ල ශික්ෂණ රෝහලේ නව නාරිවේද විශේෂඥවරයා ලෙස රාජකාරි භාර ගැනීමට නියමිතයි.
වෛද්‍ය කළුබෝවිල දැනට ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ (NIHS) අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කරන්නේය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔහුගේ පත්වීම නිල වශයෙන් අනුමත කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තෘතීයික සත්කාර රෝහලක් ලෙස සැකේ. එය ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද අතර, 1984 සැප්තැම්බර් 17 වන දින සිට ක්‍රියාත්මක වේ. රෝහල පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවා ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වේ.
කෙසේ වෙතත්, මෙම රෝහල අඛණ්ඩව පාඩු ලබන තත්ත්වයක පවතී. මේ සඳහා හේතු කිහිපයක් වන අතර මූලික හේතු ලෙස දක්වා ඇත්තේ මෙවැන්නකි.
- ගෙවීම් නොලබා ප්‍රතිකාර ලබා දීම: සමහර රෝගීන්ගෙන් අයවිය යුතු ගාස්තු නිසි පරිදි අය කරගෙන නොමැති වීම.
- විශේෂඥ සේවා වලින් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම: රෝහල විසින් ලබා දෙන විශේෂඥ සේවා සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට නොහැකි වී තිබෙන අතර වැඩි වශයෙන්ම ආදායම් ඉපැයූ ඒකකයේ කටයුතු පසුගිය දා සිදුවූ සිද්ධීන් මත පදනම්ව විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම මත නතරව තිබීම.
- අනවසර පත්වීම් සහ මූල්‍ය අක්‍රමිකතා: මැතිවරණ සමයකට ආසන්නව, අනුමත නොකළ තනතුරු සඳහා පත්වීම් ලබා දීම සහ අනවසර ගෙවීම් සිදු කිරීම වැනි කරුණු ද අනාවරණය වී තිබෙනවා.
ජයවර්ධනපුර රෝහලේ වැටුප් ගෙවීම් ගැටලුව
මේ අතර මූල්‍ය අක්‍රමිකතා සහ කළමනාකරණ ගැටලු හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මෙම මාසය සඳහා වැටුප් ගෙවීමට ප්‍රමාණවත් මුදල් නොමැති බවට තොරතුරු වාර්තා වී තිබේ. වැඩි ආදායමක් උපයන ලද ශෛල්‍ය වෛද්‍ය ඒකකයන් අක්‍රීයව පවතින අතර පසුගියදා විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම විවිධ හේතූන් පවසා ඉල්ලා අස්ව ගොස් තිබුණි.
ඒ අනුව මේ වන විට රෝහල දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, අලුතින් පත් වූ සභාපති වෛද්‍ය තාමර කළුබෝවිල ට මෙම තත්ත්වය සමනය කිරීමට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත.