විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය හමුදා සේවයේ නියුතුව සිටියදී
රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කිරීමට සම්බන්ධ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා සහෝදරයා චෝදනා කළ අතර,
එයට එරෙහිව තෝරදෙනිය නඩුවක් පවරා ඔහුගේ නම භාවිතා කිරීමට එරෙහි වාරණයක් ඉල්ලා සිටියේය.
අද(15) එම නඩුවේ තීන්දුව ලබාදුන් අතර අධිකරණය විසින් නඩුව නිෂ්ප්‍රභා කර වාරණ ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කරන ලදී.
මේ අවස්ථාවේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ ඉන්ද්‍රානන්ද ද සිල්වා සහෝදරයා පහත අදහස් ඉදිරිපත් කළේය.
" රෝහණ විජේවීර ඝාතනය පිළිබඳව රූපවාහිනියට සමාජ මාධ්‍යයට පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය විසින් මට විරුද්ධව පවරා තිබූ නඩුව අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මා හට විරුද්ධව පැවැති සියලු චෝදනාවලින් මා නිදහස් කරනු ලැබුවා.
මෙම නඩුව පවරා තිබුණේ මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පනතෙන්. නඩුවේදී අපේ ලිඛිතව කරුණු පෙන්වා දුන්නා අවුරුදු තිහකට පමණ කාලයක සිට මෙම කරුණු අපි රට ඉදිරියේ එළිදරව් කරලා තියෙන බවත් මේක අලුතෙන් කියන කාරණයක් නොවන බවත්.
ඒ වගේම 1996 නොවැම්බර් මාසයේදී මම හිරගෙදර ඉඳන් නීතිපතිට යවපු දියරුම් පෙත්සමක් හරහා මෙම කරුණු සවිස්තරාත්මකව එළි දක්වලා තියෙන බවත් තවදුරටත් අපි ලිඛිතව කරුණු පෙන්වා දුන්නා මුලු රට පුරා තිබිච්ච වධකාගාරවලට මම ජායරූප ශිල්පියෙක් ලෙස රාජකාරී වශයෙන් ගිහිල්ලා මරා දාපු අයගේ ඡායාරූප ගත්තු ඒවා. මගේ ඇස් ඉදිරියේ මම ඒ වගේ අය මරා දානවා ඒවා දැකපු ඒවා සියල්ල හෙළිදරව් කරලා තියෙන බව.
දැන් මේ නඩුවෙන් මා නිදහස් කරලා තියෙන මොහොතේ මම ආණ්ඩුවට අභියෝග කරනවා දැන්වත් රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ සියලු මිනීමරුවන්ට නිත්‍යනුකූලව ක්‍රියාමාර්ග ගන්න කියලා.
විශේෂයෙන් දැන් බලයේ ඉන්නේ ඔහු නායකත්වය දීපු පක්ෂයේ වර්තමාන නායකයා. එතකොට වගකීමක් තියෙනවා තවදුරටත් කරාරින්නෙ නැතුව තමන්ගේ නායකයා අමු අමුවේ පණපිටින් මරලා දාපු මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.."
සබැඳි ලිපි
https://www.slleader.lk/news/12141-2025-04-17-04-51-44