අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුලි 09වැනිදා) නියෝග කළේය.
ඒ අනුව ඇයව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග නියම කළාය.
කෙසෙල් වත්ත පොලිසිය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය පරිදි වාචිකව කරුණු දැක්වීමක් නොකරන බවයි.
ඒ අනුව මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
විදෙස්ගතව අධ්‍යාපනය ලද වෛද්‍ය මහේෂී විජේරත්නගේ 21 වියැති තරුණ දියණිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශ්වයන්ගෙන් විරෝධතාවක්ද පසුගිය දින දෙක ඇතුලත අල්ලස් කොමිසමට එරෙහිවත් එල්ලව තිබූ අතර ඊයේ පාර්ලිමේන්තුව තුළ පවා මේ පිළිබඳ සාකච්ඡාවට ලක් වී තිබුණි.
බොහෝ දෙනකු පැවසුවේ බොහෝ කාලයක් විදෙස්ගතව පදිංචිව සිටි සහ විදෙස් අධ්‍යාපනය ලත්, හරිහැටි සිංහල භාශාවෙන් කතාකිරීමට අපහසු, භාශා පරිවර්තකයෙකු සමග උසාවියට පිවිසි තරුණිය පැවසූ වචනයක් අරභයා ඇයව සිරගත කිරීම නොකටයුතු බවයි.
එසේම තවත් පිරිසක් නීතිය නිසිලෙස ඉටුකළ යුතු බවත්, අත්අඩංගුවට ගැනීම නිවැරදි බවත් වෙනුවෙන් පෙනී සිටියේය.
විශේෂඥ වෛද්‍ය මහේෂී විජේරත්න වෙනුවෙන් වූ ඇප ඉල්ලීම සම්බන්ධ නඩුව විභාගයට ගැනීම එළැඹෙන 15 වනදා සිදුකිරීමට නියමිතය. ඇය සමග අත්අඩංගුවට පත්ව සිටි අනෙක් සැකකරුවන් දෙදෙනාට පසුගිය නඩු වාරයේදී ඇප ලබාදී තිබුණි.