SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම

බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය  හෙළිදරවු වීමක්.

- සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව(CPRP )

 

 

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි W.N අතුල තිලකරත්න නැමති රැඳවියා වෙසක් උත්සවය සදහා ලබාදෙන පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට කරුණු ඉදිරිපත් වේ.නමුත් ජනාධිපති මාධ්ය අංශය මගින් 2025/06/07 දින නිකුත් කර මාධ්ය නිවේදනය අනුව එවැනි පුද්ගලයෙක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල 2025.05.06 දින 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්/05.12/2025 දරණ රැඳවියන් 388 දෙනෙකුගෙන් සමන්විත ලයිස්තුවේ තිබී නොමැත. එසේනම් ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දුන් ලැයිස්තුවට මුවාවී දූෂිත බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් වංචනිකව එම රැඳවියා නිදහස් කිරීමට කටයුතු කර ඇති බවට බරපතල සැකයක් මතුවේ.බන්ධනාගාරය පැත්තෙන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් නොකිරීම නිසාම චෝදනාව ඔවුන් දෙසට එල්ල වීම නොවැලක්විය හැකි වී ඇත. ජනාධිපතිවරයාට යවන ලද ලයිස්තුවේ W.N අතුල තිලකරත්න යන රැඳවියාගේ නම ඇතුලත් වී තිබුනේද යන්න පිලිබදව නිශ්චිත ප්‍රකාශ නොකොට පොදු සමාව ලබා දෙන්නේ නිශ්චිත පුද්ගලයකුට නොවන බවට කරුණු දක්වමින් සිටියි.

 

කෙසේ වුවද ජනාධිපතිවරයා විසින් සමාව නොදුන් හෝ ව්‍යාජ කරුණු පෙන්වා සමාව ලබා ගත් රැඳවියන් සම්බන්ධයෙන් වන වගකීමෙන් බන්ධනාගාර නිලධාරීන්ට ගැලවීමට නොහැකි බව පෙන්වා දෙන අතර පසුගිය කාලය පුරාම බන්ධනාගාරය තුල මේ දුෂිත නිලධාරීන් කටයුතු කල ආකාරය අප දැක ඇත.බන්ධනාගාර රෝහලේ නොසිටිය යුතු පුද්ගලයන් මුදලට බන්ධනාගාර රෝහලේ තබාගැනීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී තිබෙන්නේ කාලයක සිටය.

 

වර්තමානයේ පවා බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට ලක්ෂ ගණන් ඉල්ලා සිටීමේ ක්‍රමවේදය එලෙසම ක්‍රියාත්මක වේ.ඒ අනුව තම රාජකාරිය ඉටු කිරීම සදහා රැඳවියන්ගෙන් මුදල් ඉල්ලා සිටීම දිගින් දිගටම පවතියි. අධි ආරක්ෂිත බන්ධනාගාර තුලදී පවා ජංගම දුරකථන ලබා ගැනීමට හැකිවීම දක්වා මේ දුෂිත බන්ධනාගාර නිලධාරින්ගේ සූක්ෂම ජාවාරම් පුළුල් වී තිබේ.

 

වර්ෂ 2022 රජයේ විගණන වාර්තාව අනුව බොහොමයක් අක්රමිකතා එළිදරවු වී ඇතත් පසුගිය රජයත් ඒවා නැවත්වීමට කිසිදු පියවරක් නොගැනීම නිසාම දුෂිත නිලධාරීන්ට තවත් ධෛර්යක් ලැබී ඇත.

 

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැටියට අප විසින් වසර ගණනාවක සිට බන්ධනාගාර පද්ධතියේ පවතින මෙම දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුවත් කර ඒවාට ඉක්මනින් විසදුම් ලබාදෙන ලෙසට බලධාරීන්ට දන්වා ඇතත් තත්ත්වය එලෙසම පවත්වාගෙන යාමට එම නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතු වී ඇත.

 

යුක්තිය පසිදලීමේ ක්‍රියාවළිය බන්ධනාගාර පද්ධතිය ඉතා වැදගත් ස්ථානයක් උසුලන හෙයින් සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කෙරුණු නීතියේ විධානය සහිත දෝෂයක් වෙනුවෙන් දුෂිත නොවූ නිලධාරීන්ගෙන් සමන්විත බන්ධනාගාර පද්ධතියක අවශ්යතාවය අනිවාර්ය අංගයකි.

 

එබැවින් රජයෙන් වැටුප් ලබමින් විවිධ ජාවාරම් කරමින් කටයුතු කරන සියලු දුෂිත නිලධාරින්ගේ කටයුතු හෙට නොව අද සිටම නැවත්වීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් වහා ගත යුතු වේ.

 

ඒ අනුව ජනාධිපති සමාව වංචනික ආකාරයට ලබාගත් බවට සැක කරන මෙම සිද්ධියට අදාළ සියලු පුද්ගලයින් නීතිය හමුවට ගෙන එමෙන් පමණක් ජනාධිපති සමාව අයුතු ලෙස යොදාගත් චන්ද්‍රකා කුමාරතුංග , මහින්ද රාජපක්ෂ , මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂලාගේ ලැයිස්තුවට නොවැටී සිටීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට හැකියාව ලැබෙන බව අප විශ්වාස කර සිටිමු.

මාධ්ය නිවේදනයකි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව(CPRP )

1749372037 PRISON

 

පොදු සමාව අවභාවිත කරලා!

 

මේ අතර උත්ක සිදුවීම සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් අද සවස නිවේදනයක් නිකුත් කර ඇත.

 

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් තුළ දක්වා තිබේ.

 

පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබා දීමේ වැඩසටහන අනුව ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිප දෙනෙකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබා දුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06 වැනි දින ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණි.

 

එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

 

එහිදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශය සටහන් කර ගත් බවත් තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමටද නියමිතව ඇති බව දන්වා ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ මේ දක්වා සිදුකළ විමර්ශන අනුව මෙම පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතී.

 

මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධව අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අතර එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථමවද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවටද තොරතුරු හෙළිදරව් වී ඇති බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

 

ඒ අනුව මේ සම්බන්ධවද ඉදිරියේදී විමර්ශන සිදුකරනු ලබන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණය මගින් වරදකරුවන් වූ පුද්ගලයින් අනීතිවක නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

 

 

නවතම ලිපි