SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බහුතර බලය සහිතව ජාතික ජන බලවේගය දිනා ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට

විපක්ෂය බාධා කරන්නේ නම් එම පක්ෂයට ද බාධා කිරීමට සිදුවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

 

 

එම නිසා ජනතා මතය අනුව එම සභාවල බලය පිහිටුවීමට බාධා නොකරන ලෙස තමා ඉල්ලා සිටින බව ද ලේකම්වරයා මාධ්‍ය වෙත පවසා ඇත.

 

පළාත් පාලන මැතිවරණයෙන් පසු කවුරු කුමක් කිව්ව ද මෙම මැතිවරණයේ වැඩි ම ජයක් ලබා ගත්තේ ජාතික ජනබලවේගය බව ත් ඒ අනුව පළාත් සභා 267 ක් දිනා ඇති අතර 120 ක් කිසිදු ගැටලුවකින් තොරව සභා පිහිටුවිය හැකි බව ත් ඔහු පෙන්වා දේ.

 

ඒ අනුව, 32ක් ආණ්ඩුව හා විපක්ෂය දෙපාර්ශවයම සමානව සභිකයින් තේරී පත්ව ඇති අතර එම සමාන තැන් වලද බාධාවකින් තොරව සභා පිහිටුවිය හැකි බව ත් සමගි ජනබලවේගයට සභා 14 ක් තිබුණද ඉන් 13 කම තනිව සභා පිහිටුවිය නොහැකි බව ත් ඔහු කියයි.

 

ඔහු පවසන්නේ, ආණ්ඩුවට අවම සභා එකක් දෙකක් පිහිටුවිය නොහැකි තැන් වලද බලය පිහිටුවීමට අවශ්‍ය සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව ත් කොළඹ ඇතුළු රට පුරා සභා බහුතරය ම පිහිටුවිය හැක්කේ ඒ අනුව ආණ්ඩුවට බව ත් ය.

 

කොළඹ මහනගර සභාවේ බහුතරය ලබා ගැනීමට ආණ්ඩුවට අඩු වී ඇත්තේ සභිකයින් 11 දෙනෙකු වන අතර ස්වාධීන කණ්ඩායම් හා අනෙක් අය සමග ඒ ගැන සාකච්ඡා කර ඇති බව පැවසූ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේ, අනෙක් පක්ෂ ගත් විට ඒ ඒ පක්ෂ අතර විරසකභාවයන්, හඹ ඇදීම් තිබෙන බැවින් එහි වාසිය ද ආණ්ඩුවට ලැබෙන බව ය.

 

කෑලි කෑලි එකතු කර සභා පිහිටුවීම සදාචාර නොවන බව ත් ඒ අනුව සභා පිහිටුවීමේදී විපක්ෂය බාධා නොකර සිටින ලෙස තමා ඉල්ලා සිටින බව ත් ටිල්වින් සිල්වා කියා තිබේ.

 

ඔහු වැඩිදුරට ත් පවසන්නේ, එදා වෙන් වෙන් ව තරග කර අද සභා පිහිටුවීමට කටයුතු කරන්නේ නම් එය සදාචාර සම්පන්න නොවන බව ය.

 

 

‘බාධා කරන්න කලින් නීතිය කියවන්න’

 

 

පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ක්‍රියාත්මක වන නීතියක් පවතින බව ත් ආණ්ඩුව බහුතරය හදන්න උත්සාහ ගැනීමට පෙර එම නීතිය හොඳින් කියවිය යුතු බව ත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් කියයි.

 



කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව මන්ත්‍රීවරයා පෙන්වා දේ.



කෙසේ නමුත් ආණ්ඩුවට බහුතර බලය ඇති සභා පිහිටුවීමට විපක්ෂය ලෙස කිසිදු බාධාවක් නොකරන අතර අනෙක් සභාවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගේ සහාය සමගි ජනබලවේගයට ලබා දීමට ඔවුන් එකඟ වී ඇති බව ත් මීට අදාළ සාකච්ඡා වල ප්‍රගතිය සියයට අනූවකට වඩා දැනටමත් සාර්ථක බව ත් මන්ත්‍රීවරයා පැවසීය.



කොළඹ මහ නගර සභාව ගත් විට ආණ්ඩුවට ඇත්තේ, මන්ත්‍රී ධූර 48 ක් බව ත් සමගි ජන බලවේගයේ සන්ධානගත මන්ත්‍රීවරු සමග සභිකයින් 46 ක් දැනටමත් සිටින බව ත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.



එමෙන් ම, කොළඹ මහ නගර සභාව පිහිටුවීමට අනෙක් දේශපාලන පක්ෂ බොහෝ ප්‍රමාණයක් සමග ජන බලවේගයට එක්වන බව පොරොන්දු වී ඇති අතර කොළඹ මහ නගර සභාව පවත්වාගෙන යා හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බවත් ඔවුන් ඒ වන විට පිළිගෙන ඇතැයි හෙතෙම කීය.



ඒ අනුව, ආණ්ඩුවට යම් සභාවල බහුතර බලයක් නොලැබී ඇති අතර බහුතර බලය ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී බෙදී ගොස් ඇති බව මෙවර මැතිවරණයෙන් ඉතා පැහැදිලිව පෙනෙන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබූර් රහුමාන් වැඩිදුරට ත් පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතනයේ සභාපති හෝ නගරාධිපති පත්කිරීමේදී එම ධූර ඡන්දයක් හරහා තෝරාපත් කරගැනීම පළාත් පාලන නීතිය බව ය.

 

 

@මව්බිම පුවත් ඇසුරිනි

නවතම ලිපි