ඉන්දියාවේ දේශපාලන ගමන් මග වෙනස් කිරීමට සමත් වූ බව කියන Gen Z
පරම්පරාව විසින් මෙහෙයවනු ලබන “Cockroach Janta Party” (CJP) යළිත් වරක් මහමගට බැසීමට සූදානම් වෙයි. මෙවර ඔවුන්ගේ අරමුණ මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ඡන්දදායක නාමලේඛන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් (CEC) ග්‍යානේෂ් කුමාර්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කිරීමයි. අන්තර්ජාල උපහාසයෙන් ඇරඹී දැවැන්ත සිවිල් බලවේගයක් බවට පත් වූ මොවුන්, දැන් සූදානම් වන්නේ "ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ" ඊළඟ සටනට මුහුණ දීමටයි.
කෙසේ වෙතත්, මෙම නව සටනට පෙර ඔවුන්ගේ අතීත ජයග්‍රහණ විචාරාත්මකව ඇගයීම අත්‍යවශ්‍ය වේ. පසුගිය ජූලි මාසයේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා දියත් කළ විරෝධතා හේතුවෙන් එවකට අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ට ඉල්ලා අස්වීමට සිදුවිය. එය ඔවුන්ගේ පළමු විශාලතම ජයග්‍රහණය ලෙස සැමරුවද, ඉන් අනතුරුව ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමයේ සැබෑ ව්‍යුහාත්මක වෙනසක් සිදුවූයේද යන්න ප්‍රශ්නකාරීය.

හුදෙක් අමාත්‍යවරයෙකු ඉවත් කිරීමෙන් පමණක් අධ්‍යාපන පද්ධතියෙන් හැලෙන පිරිස අඩු වූයේ නැත. සැමට සමාන අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය හෝ එම අධ්‍යාපනය හරහා රැකියා වෙළඳපොළට සාර්ථකව පිවිසීමේ හැකියාව තවමත් තහවුරු වී නොමැත. පවතින ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ, පුද්ගලයින් වෙනස් කිරීමෙන් පමණක් ලබාගත් සැබෑ සමාජ-ආර්ථික වෙනස කුමක්ද යන්න මෙම අරගලකරුවන් විසින්ම ස්වයං විමර්ශනයකට ලක් කළ යුතුව ඇත.
එම අතීත 'ජයග්‍රහණයේ' සටන් පාඨයම පෙරටු කරගෙන ඔවුන් දැන් "ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට" සැරසෙයි. නමුත් මොවුන් මේ ඉල්ලා සිටින්නේ කුමන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද යන්න විවාද සම්පන්නය. දැනටමත් බහුතර ජනමතයකින්, පවතින ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළින්ම තේරී පත් වූ රජයක් විසින් රට පාලනය කරනු ලබයි. එවැනි පසුබිමක අර්බුදයට විසඳුම ලෙස ඔවුන් අපේක්ෂා කරන්නේ පද්ධතිමය ක්‍රම වෙනසක් (System Change) නම්, විදිමත් සැලසුමකින් තොරව සිදුකරන හුදු පුද්ගල ඉල්ලා අස්වීම් ඉල්ලීම් පමණක් ඊට කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත.

CJP වැනි කණ්ඩායම් Gen Z පරපුරේ නැවුම් පිබිදීමක් ලෙස පෙනී සිටියද, ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් ද අවසානයේ නියෝජනය කරන්නේ පැරණි සමාජයේ දෘෂ්ටිවාදී ඉල්ලා සිටීම් සහ එම දෘෂ්ටිවාදයන් නඩත්තු කෙරෙන සාම්ප්‍රදායික සටන් පාඨයන්ම බවයි. නවීන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිත කරමින් වේගයෙන් ජනතාව ඒකරාශී කළද, දේශපාලන හා ආර්ථික ක්‍රියාවලියේ මූලික ස්වභාවය වෙනස් කිරීමට ඔවුන් තවමත් සමත් වී නැත. ක්‍රමවේදයේ වෙනසක් නොමැතිව හුදෙක් පුද්ගලයන් මාරු වීම පමණක් සිදුවන තාක් කල් ඉතිහාසය වෙනස් වන්නේ නැත. අලුත් මුහුණුවරකින් සහ නව තාක්ෂණික මෙවලම් හරහා පැරණි ඉතිහාසයම යළි යළිත් පුනරාවර්තනය වීම පමණක් සිදුවනු ඇත.

