"අතීතය කිසිදා මිය යන්නේ නැත. එය අවම වශයෙන් අතීතයක්වත් නොවේ."
— විලියම් ෆෝක්නර්
"අනන්‍යතාවය යනු අප සැබෑ ලෙසම කවුදැයි පෙන්වන කැඩපතක් නොව, සමාජයේ පවතින සැබෑ ප්‍රතිවිරෝධතා සහ ඛේදවාචකයන් වසන් කරන දෘෂ්ටිවාදී කඩතුරාවකි."
— ස්ලාවෝජ් ශිෂැක්
මෑතකදී කැනේඩියානු-දෙමළ සම්භවයක් සහිත හොලිවුඩ් නිළි මෛත්‍රෙයී රාමක්‍රිෂ්ණන්
තමා 'ශ්‍රී ලාංකිකයෙකු' නොව 'ආඩම්බරකාර ඊළාම් දෙමළ කාන්තාවක්' (proud Eelam Tamil woman) ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය අනන්‍යතා දේශපාලනයේ සෙවනැලි යළිත් වරක් ශ්‍රී ලංකාවේ පශ්චාත්-යුද භූමිය මතට පතිත විය.
එනයින්ම මෙහිදී මෛත්‍රෙයීගේ මෙම ආන්දෝලනාත්මක අනන්‍යතා ප්‍රකාශනයන්හි දේශපාලන ආර්ථිකය විමසා බැලීමේදී අතිශයින්ම තීරණාත්මකය.
2019 වසරේදී ටොරොන්ටෝවේ NOW සඟරාවට අදහස් දක්වමින් මෛත්‍රෙයී තැබූ ප්‍රකාශය මෙසේය:
"මගේ අනන්‍යතාවය ශ්‍රී ලාංකික වීම නොවේ. එය මගේ රට නොවේ. මගේ රට කැනඩාවයි. නමුත් මගේ සංස්කෘතිය අනිවාර්යයෙන්ම දෙමළ සංස්කෘතියයි."
එපමණක් නොව, හසන් මින්හාජ් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය තමා "ආඩම්බරකාර ඊළාම් දෙමළ කාන්තාවක්" ලෙසත්, "මම දැඩි ලෙස දෙමළ" (I am Tamil as f***) ලෙසත් හඳුන්වා ගත්තාය. ඇයගේ "Best of the Best" චිත්‍රපටයේ දෙබස් පවා ඇගේ දැඩි මැදිහත්වීම මත "මම දෙමළ. මගේ පවුල ශ්‍රී ලංකාවෙන්" ලෙස වෙනස් කරවා ගත්තාය. බැලූ බැල්මට මෙය ස්වකීය සංස්කෘතික මූලයන් සොයා යන එඩිතර තරුණියකගේ අභිමානවත් ප්‍රකාශනයක් සේ පෙනුණද, මෙය හුදෙක්ම 'දෘෂ්ටිවාදී මායාවකි'.
ධනවාදී ක්‍රමය තුළ අනන්‍යතාවය යනු බොහෝ විට පන්තිය, සූරාකෑම සහ භූමියේ සැබෑ වේදනාව වසන් කිරීම සඳහා භාවිතා කරන සංකේතාත්මක වස්තුවකි. බටහිර සුරක්ෂිත, ලිබරල් ධනවාදී පරිසරයක (කැනඩාවේ) වෙසෙන මෛත්‍රෙයී වැනි ගෝලීය චරිත, 'ඊළාම් දෙමළ' යන දැඩි අනන්‍යතාවය වැලඳගන්නේ කිසිදු සැබෑ භෞතික හෝ දේශපාලනික අවදානමකින් තොරවය. බටහිර පාරිභෝගික සමාජය තුළ එය තවත් එක් 'ජීවන රටා තෝරාගැනීමක්' හෝ හොලිවුඩය තුළ තමන්ව අලෙවි කරගත හැකි සහ ප්‍රවර්ධනය කළ හැකි සංස්කෘතික 'වෙළඳ නාමයක්' බඳුය. බටහිරින් නැඟෙන මෙම අනන්‍යතාවය ඩයස්පෝරාවට අභිමානයක් වුවද, දේශපාලන දර්ශනයට අනුව එය හුදෙක් සංකේතාත්මක ප්‍රකාශනයක් පමණි.
මෙම අනන්‍යතා කඩතුරාව පිටුපස ඇති සැබෑ 'තාත්විකය' කුමක්ද?
එය නම්, ශ්‍රී ලංකාවේ උතුරුකරයේ සාමාන්‍ය ජනතාව අදටත් මුහුණ දෙන අතිශය ඛේදනීය යථාර්ථයයි. සැබෑ ඛේදවාචකය ඇත්තේ මෙම ගෝලීය ඝෝෂාවන්ට යටින් නිහඬව පවතින උතුරේ භූමි යථාර්ථය තුළය.
මෛත්‍රෙයීලා ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ඊළාම් අනන්‍යතාවයේ අභිමානය සමරද්දී, ශ්‍රී ලංකාවේ උතුරුකරයේ සැබෑ ජීවිත නව ලිබරල්වාදී ආර්ථික යන්ත්‍රණයකට හසුවී අඹරා දැමෙමින් පවතී. යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය අහිලන් කදිරගාමර් පෙන්වා දෙන පරිදි, අද උතුරේ ග්‍රාමීය ජනතාවගේ, විශේෂයෙන් යුද්ධයෙන් පිරිමි මූලිකයින් අහිමි වූ ලක්ෂ 2.4ක් පමණ වන කාන්තා මූලික කුටුම්භයන්හි සැබෑ අරගලය ඇත්තේ අනන්‍යතාවය තුළ නොව, අමානුෂික ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල තුළය. ඩයස්පෝරාවේ ඩොලර් ප්‍රේෂණ අහිමි වූ, පර්යන්ත ගම්මානවල වෙසෙන මෙම ගැහැනුන්ගේ දෛනික පීඩිත ජීවිතය, ගෝලීය 'ඊළාම්' කතිකාවතින් බොහෝ සෙයින් දුරස් වූවකි. මෛත්‍රෙයීගේ ප්‍රකාශය හරහා සිදුවන්නේ භූමියේ පවතින මෙම සැබෑ සමාජ-ආර්ථික ප්‍රතිවිරෝධය අලංකාර දෘෂ්ටිවාදී තිරයකින් වසා දැමීමයි.
අනෙක් අතට, දශක තුනක යුද්ධය ඉතිරි කර ගියේ හුදු භෞතික විනාශයක් නොව, මහාචාර්ය දයා සෝමසුන්දරම් අර්ථ දක්වන පරිදි සමස්ත සමාජයම ගිලගත් "සාමූහික කම්පනයකි".
පශ්චාත්-කම්පන ක්ලමථ අක්‍රමිකතාව (PTSD), විශාදය (Depression) සහ කාංසාවෙන් (Anxiety) පෙළෙන සමාජයක, සාම්ප්‍රදායික පවුල් ඒකකය සහ සමාජ ව්‍යුහයන් මුළුමනින්ම බිඳ වැටී ඇත. අද ඔවුන්ගේ මනස ඛාදනය කරන්නේ ඓතිහාසික යුධ මතකයන්ටත් වඩා වර්තමානයේ ඔවුන් මුහුණ දෙන දැඩි දෛනික ආතතීන්ය.
එහෙත් මෙම සමස්ත ඛේදවාචකයේ අඳුරුතම සහ ගැඹුරුම පාපොච්ඡාරණය හමුවන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් විසින් රචිත 'බිඳුණු තල්රුක' කෘතියෙනි. ආචාර්ය රජනි තිරාණගම සිය ජීවිතයෙන් වන්දි ගෙවමින් ලියා තැබූ පරිදි, "අපව අඩපණ කරන මෙම විශාදයට (depression) හේතුව පිටතින් පැමිණි ප්‍රචණ්ඩත්වය සහ අධිකාරිවාදය පමණක් නොවේ; ඊටත් වඩා අපේම සමාජයේ ගර්භාෂය තුළින් උපන් විනාශකාරී ප්‍රචණ්ඩත්වයයි."
තම ජාතියේම ඊළාම් දරුවන්ගේ වෙඩි උණ්ඩයෙන් ඇය ඝාතනය වීම, සමස්ත දෙමළ සමාජයම අංශභාග කළ සාමූහික ඛේදවාචකයේ උච්චතම අවස්ථාවයි. මෛත්‍රෙයීලාගේ ගෝලීය අනන්‍යතා කඩතුරාව විසින් වසන් කරනු ලබන්නේද, ආචාර්ය රජනි තිරාණගමලා පෙන්වා දුන් ඊළාම් ව්‍යාපාරය ඇතුළතින්ම සිදුවූ මෙම ෆැසිස්ට්වාදී අඳුරු ඉතිහාසයයි.
එබැවින්, ගෝලීය ඩයස්පෝරාවේ අනන්‍යතා දේශපාලනය යනු යුද්ධයේ සැබෑ වින්දිතයින්ට විසඳුමක් ගෙන එන්නක් නොවේ. එය තම මව්බිමෙන් දුරස් වී, බටහිර සමාජවලට අන්තර්ග්‍රහණය වීමේදී ඇතිවන අස්ථානගත වීමේ වරදකාරී හැඟීම (Guilt) සමනය කරගැනීම සඳහා භාවිත කරන 'උත්කෘෂ්ට වස්තුවක්' පමණි.
මෙම සංකීර්ණ දේශපාලනික හා මනෝවිද්‍යාත්මක භූමිකාව තුළ, "ශ්‍රී ලංකාවේ හෙට දවසේ මෛත්‍රෙයී රාමක්‍රිෂ්ණන්ලා" නිර්මාණය විය යුත්තේ කෙසේද?
ශ්‍රී ලංකාවේ හෙට දවසේ දේශපාලන සංවාදය ගොඩනැගිය යුත්තේ මේ 'අනන්‍යතාවයේ මායාව' ඉරා දමා, අතීත රොමෑන්තිකකරණයන්ගෙන් ඔබ්බට ගොස් උතුරේ සහ දකුණේ පීඩිතයාගේ සැබෑ ආර්ථික සහ මනෝවිද්‍යාත්මක වේදනාව කේන්ද්‍ර කරගත් ප්‍රායෝගික විමුක්ති දේශපාලනික කියවීමක් මත පදනම්වය.
ඔවුන් නිර්මාණය විය යුත්තේ කැනඩාවේ හෝ බටහිර ඩයස්පෝරාවේ ආලින්දයන් තුළ ගොඩනැගෙන රොමෑන්තික අනන්‍යතා මතවාදයන් මතින් නොවේ. ඒ වෙනුවට, ඔවුන් මතුවිය යුත්තේ වර්තමාන සමාජ-ආර්ථික යථාර්ථය ජයගැනීමේ විමුක්ති අරගලය හරහාය. අනන්‍යතාවය යනු තෝරාගැනීමක් වුවද, එම තෝරාගැනීම මගින් අන්‍යයන්ගේ වේදනාව හෑල්ලු නොවන බව තේරුම් ගැනීමේ නිහතමානී බව සමාජයකට අවශ්‍ය වේ. එක් පාර්ශවයකට ආඩම්බරයක් ගෙන දෙන නාමයක් තවත් පාර්ශවයකට වේදනාවක් ගෙන දිය හැකි බව අවබෝධ කරගැනීම සැබෑ සංහිඳියාවේ පදනමයි.
ශ්‍රී ලංකාවේ හෙට දවසේ මෛත්‍රෙයීලා බිහිවනු ඇත්තේ, හුදු දේශපාලනික ලේබල්වලින් සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල්වලින් නිදහස් වූ, තම අතීත කම්පනයන් මෙන්ම අභ්‍යන්තර ඛේදවාචකයන්ද පරිණතව කියවාගත හැකි නිදහස් චින්තනයෙන් යුත් සමාජයක් තුළ පමණි. ඔවුන්ගේ අභිමානය පදනම් වනු ඇත්තේ අතීතයේ කඳුළු මත නොව, අනාගතයේ බුද්ධිමය සහ ආර්ථික විමුක්තිය මතය.
#NiromiSubramaniyam

