- දේශපාලකයාගේ සිට මාධ්‍ය දක්වා විහිදුණු කළු සල්ලි ජාලය
පසුගියදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් (COPE) කමිටුව හමුවේ
නැවත වරක් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍රයම හෙල්ලූ නමක් කියැවිණි. ඒ 'ඇවන්ගාඩ්' (Avant Garde) ය.
නාවික හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම එක්ව සිදුකළ මුහුදු ආරක්ෂණ සේවයට ඇවන්ගාඩ් සමාගම රිංගා ගත්තේ කෙසේද? ඒ හරහා රජයට අහිමි වූ බිලියන ගණනක මුදල යළි අයකර ගන්නේ කෙසේද? කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව මේ වනවිටත් ප්‍රකාශ කර අවසන්ය.
මෙය හුදෙක් එක් ගිවිසුමක් කඩවීමක් හෝ දේශපාලන පළිගැනීමක් නොවේ. සංඛ්‍යාලේඛන කතා කරන්නේ අමුතුම කතාවකි. 2021 සැප්තැම්බර් සිට 2025 ජූලි දක්වා කාලය තුළ පමණක් මෙම මෙහෙයුම් මගින් ඇමරිකානු ඩොලර් මිලියන 14.12ක ආදායමක් උපයා ඇත.
පුදුමයට කරුණ නම්, සියලු යටිතල පහසුකම්, ආයුධ සහ පුහුණු මිනිස් බලය රජය (නාවික හමුදාව) සතුව තිබියදීත්, මෙම ආදායමෙන් 80.75%ක්ම, එනම් ඩොලර් මිලියන 11.4ක්ම පෞද්ගලික සමාගමක් වූ ඇවන්ගාඩ් ගිණුමට බැර වීමයි. නාවික හමුදාවට ලැබුණේ 15%කි. රක්නා ලංකා සමාගමට ලැබුණේ 4.25%ක් වැනි සොච්චමකි.
රාජ්‍ය සම්පත් භාවිතා කරමින් පෞද්ගලික සමාගමක් තර කිරීමේ ඛේදවාචකය එතැනින් නිමාවන්නේ නැත. 2020 මාර්තු වන විට රක්නා ලංකා සමාගමට ඇවන්ගාඩ් වෙතින් රුපියල් බිලියන 1.63ක් අයවිය යුතුව තිබිණි. මීට පෙර කාලසීමාවකට අදාළව නාවික හමුදාවට ද රුපියල් මිලියන 782ක් අයවිය යුතුව තිබූ බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දී ඇත.
රටක් ඩොලර් නොමැතිව, විදේශ විනිමය සීමා කරමින් දැඩි අර්බුදයකට මුහුණ දී සිටියදී, රජයේ මහා භාණ්ඩාගාරයට පැමිණිය යුතු ඩොලර් මිලියන ගණනක මුදලක් මෙලෙස එක් පෞද්ගලික සමාගමක ගිණුම්වල සිරවීම සහ එයට ඉඩදීම ජාතික අපරාධයකි.
රජයට මෙම සේවාව තනිවම කළ හැකිව තිබුණා ද? මේ සඳහා හොඳම සාක්ෂිය හමුවන්නේ ගිවිසුම් අවසන් වීමෙන් පසුවය. 2025 ඔක්තෝබර් 03 සිට 2026 පෙබරවාරි 08 දක්වා මාස කිහිපය තුළ නාවික හමුදාව ස්වාධීනව මුහුදු ආරක්ෂණ මෙහෙයුම් 323ක් සිදු කළේය. කිසිදු අමතර පිරිවැයකින් තොරව ඔවුන් ඉපැයූ ඩොලර් 598,250ක මුදල සෘජුවම රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කෙරිණි. එසේනම්, වසර ගණනාවක් තිස්සේ මේ මහා ධනස්කන්ධය පෞද්ගලික සාක්කුවලට යැව්වේ කාගේ වුවමනාවටද?
ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹෙන්නේ අද ඊයේ නොවේ. මීට පෙර බලයට පත්වූ ආණ්ඩු කිහිපයක්ම, දූෂණ විරෝධී සංවිධාන සහ විවිධ පුද්ගලයින් මෙම ගනුදෙනුවේ සුලමුල සෙවීමට උත්සාහ කළහ. එහෙත් ඒ සෑම පරීක්ෂණයක්ම අවසානයේ අතරමග නැවතුණේ මහජනතාවට කිසිදු පිළිතුරක් ඉතිරි නොකරමිනි.
ඒ ඇයි? පිළිතුර ඇත්තේ මෙහිදී සංසරණය වූ අතිවිශාල කළු සල්ලි කන්දරාව තුළය. මෙම ගනුදෙනු ආශ්‍රිතව ගලා ගිය ධනය කොතරම්ද යත්, එය විමර්ශනය කිරීමට පැමිණි බොහෝ දෙනාගේ කටවල් වැසීමට එම මුදල්වලට හැකි විය. ඉහළ දේශපාලනඥයන්ගේ සිට ඇතැම් රාජ්‍ය නිලධාරීන් දක්වාත්, ඉන් නොනැවතී ජනමාධ්‍ය ක්ෂේත්‍රය දක්වාත් මේ ඩොලර් මිලියන ගණනක අල්ලස් ජාලය ව්‍යාප්ත වී තිබිණි.
බොහෝ විමර්ශන මහ හඬින් ආරම්භ වී, පසුව හිටිහැටියේම මාධ්‍යවලින් ද මැකී ගියේ මේ 'ඩොලර් බෙදීමේ' ප්‍රතිඵලයක් ලෙසිනි. දේශපාලන ඩීල් සහ ඇතැම් මාධ්‍ය ජාලාවලට රහසිගතව මුදල් පොම්ප කිරීම හරහා තමන්ට එරෙහිව නැගෙන ඕනෑම හඬක් මිලදී ගැනීමේ ආර්ථික ශක්තියක් මෙම ව්‍යාපාරික ජාලය සතුවිය.
වෛද්‍ය නිශාන්ත සමරවීරගේ මූලිකත්වයෙන් කෝප් කමිටුව දැන් යළිත් මේ අළු යට ගිනිපුපුරු අවුළුවා ඇත. මෙවර විමර්ශනවල සැබෑ අරමුණ විය යුත්තේ හුදෙක් දේශපාලන පළිගැනීමක් හෝ වන්දි ලබාගැනීමක් පමණක් නොවේ. එදා සිට අද දක්වා මෙම මූල්‍ය ජාලය හරහා යැපුණු, පරීක්ෂණ යටගැසූ දේශපාලන සහ මාධ්‍ය ජාවාරම්කරුවන් ද හෙළිදරව් කෙරෙන 'සම්පූර්ණ මූල්‍ය ප්‍රවාහය' ලුහුබැඳීමයි. එසේ නොවුණහොත්, මේ නව පරීක්ෂණය ද අතීතයේ මෙන්ම තවත් එක් දේශපාලන රංගනයක් පමණක් වනු ඇත.

