නේපාල අගමැති බාලෙන් ෂාගේ එ.ජා. කතාවෙන් හෙළිවන දේශගුණික ත්‍රස්තවාදය සහ නව යටත්විජිතවාදය
2026 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිය අමතමින් නේපාල අග්‍රාමාත්‍ය බාලෙන් ෂා
(Balen Shah) විසින් සිදු කළ කතාව හුදෙක් ස්වභාවික විපතක් පිළිබඳ ශෝකාලාපයක් නොවේ. එය ගෝලීය දකුණේ රටවල් වෙනුවෙන් ලෝක බලවතුන්ට එල්ල කළ ප්‍රබල භූදේශපාලනික ප්‍රහාරයකි. "හිමාලයානු සුනාමියක්" ලෙස ඔහු හැඳින්වූ බෝටෙකෝෂි-ත්‍රිශුලි ගංවතුර ඛේදවාචකය පදනම් කරගනිමින් ඔහු ලෝකයට දුන් පණිවිඩය තුළ, වත්මන් ලෝක ක්‍රමයේ ඇති කුරිරු බෙදීම සහ සූරාකෑම මනාව නිරූපණය වේ.
වත්මන් ලෝකයේ පාරිසරික භූදේශපාලනය තුළ පැහැදිලි බෙදීමක් ඇත. අර්බුදය නිර්මාණය කරන්නන් වන්නේ සියවස් ගණනාවක් පුරා අසීමිත කාර්මිකරණය හරහා පරිසරය විනාශ කළ, හරිතාගාර වායු විමෝචනය කරන බටහිර සහ සංවර්ධිත බලවතුන්ය. නමුත් එහි සැබෑ වින්දිතයින් වී ඇත්තේ නේපාලය, ශ්‍රී ලංකාව වැනි අහිංසක රටවල්ය.
නේපාලය ගෝලීය හරිතාගාර වායු විමෝචනය සඳහා දායක වන්නේ 0.1% කටත් වඩා අඩු ප්‍රතිශතයකි. එහෙත් අද ඔවුන්ට 1400කට අධික ජීවිත අහිමි කරමින් දරුණු ග්ලැසියර දියවීම්වලට මුහුණ දීමට සිදුව ඇත. අගමැතිවරයා මෙය අපූරුවට විස්තර කළේ මෙසේය.
"දේශගුණික විපර්යාසයන් දේශසීමා හඳුනන්නේ නැත. ග්ලැසියර සහ ගංවතුර ගමන් කරන්නේ විදේශ ගමන් බලපත්‍රවල වීසා මුද්‍රා තබාගෙන නොවේ."
මෙම කතාවේ ඇති ගැඹුරුම දේශපාලනික කියවීම සැඟවී ඇත්තේ ඛේදවාචකයට පසු සිදුවන ක්‍රියාවලිය තුළය. අර්බුදකරුවන් (සංවර්ධිත රටවල්) විසින් සිදු කරන ලද විනාශය හේතුවෙන් වින්දිත රටවල යටිතල පහසුකම් විනාශ වෙයි (නේපාලයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක හානියක් සිදුවිය). ඉන්පසු යළි නැඟී සිටීමට මේ රටවලට සිදුවන්නේ අර විනාශය කළ රටවලින්ම හෝ ඔවුන් පාලනය කරන මූල්‍ය ආයතනවලින් "ණය" ගැනීමය.
මෙය නවීන යටත්විජිතවාදී පාලන උපායකි. බාලෙන් ෂා දැඩිව අවධාරණය කළේ මෙවැනි තත්ත්වයන්හිදී ණය වෙනුවට "වන්දි හෝ ආධාර" (Grants/Loss and Damage funds) ලබා දිය යුතු බවයි. අර්බුදකරුවන් මෙම විපත් හරහා වින්දිත රටවල් සදාකාලික ණයකරුවන් බවට පත් කරමින්, එම රටවල සම්පත් හා රාජ්‍ය ප්‍රතිපත්ති මත සිය ආධිපත්‍යය අඛණ්ඩව පවත්වා ගනිති.
ඔහුගේ කතාවේ තවත් ප්‍රබල භූදේශපාලනික විවේචනයක් එල්ල වන්නේ ගෝලීය යුධ යාන්ත්‍රණයටයි. ගෝලීය බල අරගලයන්ට කිසිදු සම්බන්ධයක් නැති දකුණු ආසියාතික රටවල් අද ආහාර, ඉන්ධන සහ ආර්ථික අර්බුදවලට මුහුණ දෙන්නේ මහා බලවතුන්ගේ යුද්ධ නිසාවෙනි.
"අප විනාශ නොකළ ස්වභාවධර්මයේත්, අප ඇති නොකළ යුද්ධවලත් ප්‍රතිවිපාකවලින් අප පීඩා විඳිමින් සිටිමු... නේපාලය සහ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවලට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇත"
ලෝක බලවතුන්ගේ කුහක දේශපාලනය ඔහු නිරුවත් කළේ ලෝක සැපයුම් දාමය උපහාසයට ලක් කරමිනි.
"අප ගොඩනඟා ඇත්තේ යුද්ධය සඳහා නිවැරදිව (බාධාවකින් තොරව) ක්‍රියාත්මක වන සැපයුම් ජාලයක් (flawless logistics for war) සහ ආහාර සඳහා බිඳවැටුණු සැපයුම් ජාලයක් (broken logistics for food) ඇති ලෝකයකි."
එපමණක් නොව, විපතට පත් රටවලට දේශගුණික අරමුදල් ලබාදීමේදී බටහිර රටවල් අනුගමනය කරන හිතාමතා ප්‍රමාද කරන නිලධාරිවාදය ඔහු එක වාක්‍යයකින් විවේචනය කළේය.
"නිවස ගිනිගන්නා විට, අපි පවුලේ අයගෙන් පෝරම පනහක් පුරවන්නැයි ඉල්ලන්නේ නැත. අපි වහා ක්‍රියාත්මක වෙමු."
අගමැති බාලෙන් ෂාගේ මෙම කතාව හුදෙක් නේපාලයේ හඬ පමණක් නොවේ. එය සමස්ත ගෝලීය දකුණේම හඬයි. තම රටවල් මුහුණ දෙන අර්බුද තමන්ගේ නිර්මාණයක් නොවන බවත්, එය ගෝලීය අසාධාරණයේ සහ මහා බලවතුන්ගේ සූරාකෑමේ ප්‍රතිඵලයක් බවත් නව පරම්පරාව අවබෝධ කරගෙන සිටී.
චීනය, ඉන්දියාව සහ නේපාලය එක්ව "හිමාලයානු දේශගුණික සුරැකුම් යාන්ත්‍රණයක්" ගොඩනැගිය යුතු බවට ඔහු කළ යෝජනාවෙන් පෙනී යන්නේ, බටහිර මත යැපීම පසෙකලා කලාපීය වශයෙන් වින්දිතයින් එක්විය යුතු කාලය එළඹ ඇති බවයි.
"ලෝකයේ පියස්සෙන් (හිමාලයෙන්) ඊළඟ අනතුරු ඇඟවීම එන විට, එය ඇසීමට සහ ක්‍රියාත්මක වීමට අපි සූදානම්ව සිටිමු." යන ඔහුගේ අවසන් වැකිය ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂියට එල්ල කළ බලපෑමක් මෙන්ම සමස්ත මානව වර්ගයාටම කළ දැඩි අනතුරු ඇඟවීමකි.
සටහන - නිරෝමි සුබ්‍රමනියම්

