මෙවරද ව්ලැදිමීර් පුටින්ගේ පක්ෂය ඉහලින් ජයග්‍රහණය කර තිබේ. එම පක්ෂය රුසියාව තුළ
සිය ආධිපත්‍යය අඛණ්ඩව තබාගෙන ඇත්තේ හුදු ජනප්‍රියතාවයෙන් පමණක් නොව, විරුද්ධ මතවාදයන් ක්‍රමානුකූලව නිහඬ කිරීම, මැතිවරණ ව්‍යූහයන් පාලනය කිරීම සහ රාජ්‍ය යන්ත්‍රණය තම පක්ෂයේම දිගුවක් බවට පත් කරගැනීම හරහා බව දේශපාලන යථාර්ථයකි. මැතිවරණයේ තරගකාරීත්වය සහ ප්‍රතිඵලය පිළිබඳ සැකයන් හෝ විශ්වාසය නොමැති වුවද, ජනතාව එම සංකේතීය ක්‍රියාවලිය තුළ සහභාගී විය හැකිය.
නීතිය යනු සම්පූර්ණයෙන්ම ස්වයං-ප්‍රමාණවත් සංකේත පද්ධතියක් නොවේ (මේ පිළිබඳව මීට පෙර ලිපි වල දීර්ගව පැහැදිලි කර තිබේ). එහි වලංගුභාවය පවත්වාගෙන යාම සඳහා නීතිය විසින් නිල වශයෙන් පිළි නොගන්නා බලයක්, තර්ජනයක්, ප්‍රචණ්ඩත්වයක් හෝ 'ප්‍රමෝදමය' (jouissance) අතිරේකයක් අවශ්‍ය වේ (ඕනෑම නිල නීති පද්ධතියක් යටින් දිවෙන, නොලියැවුණු ප්‍රචණ්ඩකාරී සහ අශ්ලීල යටිපෙළක් පවතී).
රුසියාව වැනි රටවල මැතිවරණ නමැති බාහිර සංකේතීය ව්‍යුහය පවත්වා ගෙන යන්නේ සහ එයට වලංගුභාවය ලබා දෙන්නේ, රාජ්‍ය යාන්ත්‍රණය විසින් ක්‍රියාත්මක කරන මෙම අදෘශ්‍යමාන මර්දනය මගිනි. මර්දනය යනු පද්ධතියේ අසාර්ථකත්වයක් නොව, පද්ධතිය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය 'අතිරේකයකි'.
සාමාන්‍ය ඒකාධිපති පාලනයක් යනු තමන්ගේ පුද්ගලික බලය වෙනුවෙන් ජනතාව මර්දනය කිරීමයි. නමුත් "වම" විසින් රාජ්‍ය බලය අත්පත් කරගත් විට (විශේෂයෙන්ම ස්ටැලින්වාදී ආකෘතියේදී), පක්ෂය තමන්ව 'මහා අනෙකාගේ' (big Other) නියෝජිතයා/කථිකයා ලෙස ස්ථානගත කරයි.
එනම්:
“ඉතිහාසය කුමක් ඉල්ලා සිටිනවාදැයි අපි දනිමු.”
එවිට විරුද්ධවාදියා, “මට වෙනස් දේශපාලන අදහසක් තිබෙන පුද්ගලයෙක්” වීමෙන් “ඉතිහාසයේ අනිවාර්ය ගමනට බාධා කරන සතුරෙක්” බවට පරිවර්තනය වේ.
එනම්, පක්ෂය යනු "ඉතිහාසයේ වාස්තවික ගමන්මගේ" නියෝජිතයා ලෙසින් ක්‍රියාත්මක වේ (ඔවුන් පදනම් වන දෘෂ්ටිවාදය "ඓතිහාසික භෞතිකවාදයයි"). එහිදී පක්ෂයට එරෙහි වන ඕනෑම අයෙකු හුදු දේශපාලන ප්‍රතිවාදියෙකු නොව, "පරමාදර්ශී සමාජය ගොඩනැගීමේ ඓතිහාසික ක්‍රියාවලියට" එරෙහි වන සතුරෙකු බවට පත්වේ. මෙම දෘෂ්ටිවාදය හරහා විරුද්ධවාදීන් අනුකම්පා විරහිතව මර්දනය කිරීම සහ විනාශ කිරීම ඉතා පහසුවෙන් දෘෂ්ටිවාදීමය වශයෙන් සාධාරණීකරණය කෙරේ.
පුටින්ගේ පක්ෂය සාම්ප්‍රදායික වාමාංශික පක්ෂයක් නොවේ. මෙහිදී අවධාරණය කල යුතු කාරණයක් තිබේ. ඒ රුසියානු ආකෘතියේ පැවැත්ම රඳා පවතින්නේ රුසියාවේ බලශක්ති ආදායම්, විශාල රාජ්‍ය ධාරිතාව, විකල්ප වෙළඳ සබඳතා, සහ භූ දේශපාලනික තත්ත්වය යන සාධක එකතුව සම්බාධක වල බලපෑම අවශෝෂණය කර ගැනීමට රාජ්‍යයට යම් හැකියාවක් ඇති බැවින්ය යන්නයි නමුත්, ශ්‍රී ලංකාව වැනි ගෝලීය ප්‍රාග්ධනය, බටහිර වෙළඳපොළ (GSP+ වැනි) සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත දැඩිව යැපෙන පර්යන්ත ධනවාදී ආර්ථිකයක් තුළ, විරුද්ධවාදීන් භෞතිකව මර්දනය කරන විවෘත පාලනයකට යාම ආර්ථික වශයෙන් සියදිවි නසාගැනීමක් විය හැකියි. ඒ ධනවාදය ඊට ඉඩ නොදෙන බැවිනි.
ශ්‍රී ලංකාවේ පර්යන්ත ධනවාදී තත්ත්වය තුළ රුසියානු ආකාරයේ විවෘත භෞතික මර්දනය සීමාවන්ට මුහුණ දෙන බැවින්, බලය පවත්වාගැනීමේ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මර්දනය වැඩි කිරීම පමණක් නොව, පාලන තන්ත්‍රයේ දේශපාලන අර්ථකථනය සමාජයේ සාමාන්‍ය බුද්ධිය බවට පත් කල හැක්කේ කෙසේද යන්නයි. එහිදී රාජ්‍යය, මාධ්‍ය, නීතිය, මැතිවරණ සහ ආයතන යන සියල්ලම වෙන වෙනම මර්දන යාන්ත්‍රණයන් ලෙස නොව, එකිනෙකට සම්බන්ධ සංකේතීය යාන්ත්‍රණයන් ලෙස විශ්ලේෂණය කළ යුතුය.
ජවිපෙ විසින් ගෙනයන වර්තමාන ක්‍රියාදාමය පිළිබඳ අපගේ ස්ථාවරය ගොඩනැගී ඇත්තේ එම ක්‍රියාදාමය මතුපිටින් නිරීක්ෂණය කිරීමෙන් හෝ එහි දේශපාලන ප්‍රතිඵල නොසලකා හැරීමෙන් නොවේ. එහි දෘෂ්ටිවාදී සහ සංකේතීය පදනම පිළිබඳ අවබෝධයක් සහිතවම අප එය විමසා තිබේ.
මෙම තත්ත්වය තුළ 1987–90 සමයේ ජවිපෙට එරෙහිව සිටි ඇතැම් ට්‍රොස්කිවාදී දේශපාලන ආස්ථාන නැවතත් UNPය සමඟ අනන්‍ය වන ආකාරය දක්නට ලැබේ. එහි මූලික දෘෂ්ටිවාදී ස්ථාවරය වන්නේ ඉතිහාසයේ “අනිවාර්ය ගමන” පිළිබඳ විද්‍යාත්මක දැනුම තමන් සතු බවත්, එම දැනුම මත වර්තමාන දේශපාලන සිදුවීම් විනිශ්චය කළ හැකි බවත්ය.
නිර්මාල් දේවසිරි වැනි අයගේ ආස්ථානයද, වෙනස් ස්වරූපයකින් වුවද, මෙම දෘෂ්ටිවාදී ගැටලුව සමඟ සම්බන්ධ කළ හැකිය. මෙහිදී ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ පුද්ගලික අභිප්‍රාය නොව, තමන් ඉතිහාසයේ ගමන්මග පිළිබඳ විශේෂ දැනුමක් සතු ස්ථානයක සිට දේශපාලන ක්‍රියාවලිය අර්ථකථනය කිරීමයි.
අපගේ ප්‍රශ්නය මෙතැනින් වෙනස් වේ. දේශපාලනය යනු දැනටමත් දන්නා “ඉතිහාසයේ අනිවාර්ය ගමන” ක්‍රියාත්මක කිරීමක් නොවේ. එය පවතින සංකේතීය සම්බන්ධතා, බල සම්බන්ධතා සහ ඒවායේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා වෙනස් කිරීමේ ක්‍රියාවලියකි.
එබැවින් විමුක්ති දේශපාලනය යනු එක් පාර්ශ්වයක් ඉතිහාසයේ නිවැරදි අර්ථය තමන් දන්නා බව ප්‍රකාශ කරමින් අනෙක් පාර්ශ්වය විනිශ්චය කිරීම නොවේ. එය පවතින දේශපාලන ක්ෂේත්‍රය විසින්ම තමන්ට ලබා දී ඇති සීමාවන් ප්‍රශ්න කිරීමයි.
විමුක්ති දේශපාලනය ඇත්තේ එම දෘෂ්ටිවාදී නිශ්චිතභාවයෙන් ඔබ්බටය.
# ස්පාටකස් ලිපි

