ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීම මුල්කරගනිමින්
පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය සහ සභාවේ ඇති වූ කලබලකාරී ස්වභාවය හේතුවෙන් කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න ට සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පවා සිදුවීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමකි.
මෙම අර්බුදයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඉහළම අධිකරණවල පුරප්පාඩු වී ඇති විනිසුරු තනතුරු සඳහා පත් කිරීම් සිදු කිරීම කඩිනම් නොවීමයි. මීට අමතරව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ද දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත.
මෙම ගැටලුව පාර්ලිමේන්තුව තුළ පුපුරා ගියේ විපක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් හදිසි විවාදයක් ඉල්ලා සිටීමත් සමඟය. ස්ථාවර නියෝග 19 (1) යටතේ හදිසි විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විස්සකගේ අත්සනින් යුතු ලිඛිත ඉල්ලීමක් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබූ බව කළුතර දිස්ත්‍රික් සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා සභාවට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් හිමි වූයේ නැත. සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක පෙන්වා දුන්නේ එදින න්‍යාය පත්‍රයට අනුව වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු වැදගත් පනත් සහ රෙගුලාසි කිහිපයක් සම්මත කරගැනීමට නියමිතව තිබූ බැවින් හදිසි විවාදයකට ඉඩ ලබා දිය නොහැකි බවයි.
ආණ්ඩුවේ මෙම ස්ථාවරයට විපක්ෂයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මෙය අතිශය හදිසි සහ මහජන වැදගත්කමක් සහිත කරුණක් බැවින්, ආණ්ඩුවේ එකඟතාවක් නොමැතිව වුවද ඊට ඉඩ ලබා දීමට කථානායකවරයාට බලයක් ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර අවධාරණය කළේය.
තමන්ට අවශ්‍ය විවාදය ලබා නොදීම හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ප්‍රමුඛ විපක්ෂය දැඩි ලෙස සිය විරෝධය පළ කිරීමත් සමඟ සභාව උණුසුම් විය. ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණි අතර, සමහරුන් සෙන්කෝලය වෙත ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය.
තත්ත්වය පාලනය කිරීම සඳහා වේත්‍රධාරී කුෂාන් ජයරත්න ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන්ට ද වහාම මැදිහත් වීමට සිදු විය. සභාවේ ඇති වූ මෙම දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සභාවේ කටයුතු විනාඩි දහයක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා පියවර ගත්තේය.
කථානායකවරයාගේ තීරණය අනුව යළි සභාව රැස්වූ අතර, එහිදී කථානායකවරයා තීන්දු කළේ ස්ථාවර නියෝගවලට අනුකූලව දවසේ න්‍යාය පත්‍රයේ ඇති කටයුතු ඉදිරියට කරගෙන යා යුතු බවයි. ඒ අනුව විපක්ෂයේ අඛණ්ඩ විරෝධතා මධ්‍යයේ වුවද, නියෝජ්‍ය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් නියමිත යෝජනා ඉදිරිපත් කිරීමත් සමඟ වැට් බදු සංශෝධන පනත පිළිබඳ විවාදය යළි ආරම්භ කෙරුණි.

