SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලොව දෙවන විශාලතම ආර්ථික බලවතා වන චීනය මේ වන විට දැඩි අභ්‍යන්තර ආර්ථික අර්බුදයකට

මුහුණ දෙමින් සිටියි. විශේෂයෙන්ම, චීන පාරිභෝගිකයන් මිලියන 100කට ආසන්න පිරිසක් තමන් ලබාගත් පෞද්ගලික ණය පියවා ගත නොහැකිව දැඩි අසීරුතාවකට පත්වීම, බීජිං පාලනය සිය ආර්ථිකය යළි ගොඩනැංවීමට දරන උත්සාහයට දැඩි තර්ජනයක් වී ඇත. විදේශීය ආර්ථික විශ්ලේෂකයන් මෙය හඳුන්වන්නේ චීන ආර්ථිකය තුළ "නිහඬව වර්ධනය වන බරපතල ව්‍යසනයක්" ලෙසයි.

 

 

 

පසුගිය වසර කිහිපය පුරාවට චීන පුරවැසියන් ක්‍රෙඩිට් කාඩ්පත් සහ නිවාස ණය ඇතුළු විවිධ පාරිභෝගික ණය ලබා ගැනීම විශාල වශයෙන් ඉහළ ගියේය. නමුත් ආර්ථික වර්ධන වේගය මන්දගාමී වීමත් සමඟ ජනතාවගේ ණය ආපසු ගෙවීමේ හැකියාව දැඩි ලෙස පහත වැටී තිබේ.

 

 

මෙහි වාර්තාගත නොපියවූ ණය ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 2.22ක් (අමෙරිකානු ඩොලර් බිලියන 329ක්) දක්වා අතිදැවැන්ත අගයකින් වර්ධනය වී ඇත.

 

 

එසේම 'Gavekal Dragonomics' ආයතනයේ දත්තවලට අනුව, පසුගිය වසරේදී පමණක් ගෙවීම් පැහැර හරින ලද පවුල් ණය ප්‍රමාණය 21% කින් ඉහළ ගොස් තිබේ.

 

Zhejiang විශ්වවිද්‍යාලයේ මූල්‍ය පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ චීන මූල්‍ය ආයතන සතුව වාර්ෂිකව පියවීමට සිදුවන මෙවැනි අක්‍රීය පෞද්ගලික ණය (Non-performing loans) ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 2 සිට 3 දක්වා විය හැකි බවයි.

 

 

තොරතුරු වසන් කිරීම

ඕනෑම ආර්ථික අර්බුදයකදී නිවැරදි දත්ත යනු අර්බුදය කළමනාකරණය කිරීමේ මූලික අවියයි. කෙසේ වෙතත්, මෙම අර්බුදයේ සැබෑ ස්වරූපය වසන් කිරීම සඳහා චීන බලධාරීන් පාරිභෝගික ණය පැහැර හැරීම් සහ ගෙවීම් ප්‍රමාද කිරීම් පිළිබඳ සමස්ත දත්ත වාර්තා නිකුත් කිරීම නවතා දමා ඇත.

 

මේ හේතුවෙන් ස්වාධීන පර්යේෂණ ආයතනවලට එරට ප්‍රධාන පෙළේ බැංකු 26ක මූල්‍ය වාර්තා විශ්ලේෂණය කරමින් මෙම තොරතුරු අනාවරණය කරගැනීමට සිදු වී තිබේ. මෙලෙස දත්ත වසන් කිරීම මඟින් පෙන්නුම් කරන්නේ අර්බුදයේ බරපතලකම චීන රජය විසින්ද මැනවින් වටහාගෙන ඇති බවයි.

 

 

චීන සමස්ත ආර්ථිකයට මෙය බලපෑමක්ද?

මෙම පාරිභෝගික ණය අර්බුදය චීන ආර්ථිකයට ප්‍රධාන ආකාර කිහිපයකින් ඍණාත්මක බලපෑම් එල්ල කරයි.

 

පාරිභෝගික වියදම් පහත වැටීම -

ණය බරින් මිරිකී සිටින ජනතාව සිය එදිනෙදා අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරීමට පෙළඹෙයි. චීන ආර්ථිකයේ ප්‍රධාන එන්ජිමක් වන දේශීය පරිභෝජනය (Domestic Consumption) මේ හරහා අඩාල වන අතර, එය නිෂ්පාදන අංශයේ කඩා වැටීමටද හේතු වේ.

 

බැංකු පද්ධතියේ අස්ථාවරත්වය -
අක්‍රීය ණය ප්‍රමාණය යුවාන් ට්‍රිලියන ගණනින් ඉහළ යාම හේතුවෙන් චීන බැංකු පද්ධතිය දැඩි අවදානමකට ලක්වේ. බැංකුවල මූල්‍ය තරලතාව (Liquidity) අඩුවීමෙන් ව්‍යාපාර සඳහා ලබාදෙන නව ණය සීමා වනු ඇත.

 

නිවාස වෙළඳපොළ අර්බුදය උග්‍ර වීම -
චීනයේ දේපළ හා නිවාස වෙළඳපොළ (Real Estate Market) දැනටමත් දැඩි අර්බුදයක පවතී. බොහෝ පෞද්ගලික ණය නිවාස මිලදී ගැනීම් හා සම්බන්ධ බැවින්, ණය ගෙවීමට නොහැකි වීම හරහා එම ක්ෂේත්‍රයේ බිඳ වැටීම තවදුරටත් වේගවත් විය හැකිය.

 

 

 

මිලියන 100කට ආසන්න ජනතාවක් ණය බරින් හෙම්බත් වීම හුදෙක් පෞද්ගලික මූල්‍ය ගැටලුවක් නොව, සමස්ත චීන සාර්ව ආර්ථිකයටම එල්ල වී ඇති බරපතල තර්ජනයකි. කෝවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය යළි නඟා සිටුවීමට චීනය දරන උත්සාහය සාර්ථක කර ගැනීමට නම්, මෙම ණය අර්බුදයට කඩිනම් සහ විනිවිදභාවයෙන් යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත්, මෙම නිහඬ ව්‍යසනය චීන ආර්ථිකය පමණක් නොව, ඔවුන් මත යැපෙන ගෝලීය සැපයුම් දාමයන්ද අඩාල කිරීමට සමත් වනු ඇත.

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි