SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදා බිඳවැටෙන පක්ෂයක් නොවන බවත්, වත්මන් මාලිමා රජය බලයට පත්වීමට පෙර

ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අවධාරණය කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (මැයි 01) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය අමතමිනි.

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්. පීරිස්, ප්‍රසන්න රණතුංග ඇතුළු ආරාධිතයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ඉදිරියේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ බොහෝ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා වැටී ඇතැයි සිතුවද එය කිසිදා කළ නොහැක්කක් බවයි.

 

 

සිය කතාවේදී පක්ෂයේ අභිමානය සහ ශක්තිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය;

"මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සැලොන් දොරක් වගේ කියලා. මිනිස්සු එනවා යනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වට්ටන්න බෑ. ඒ වගේම මේ අවස්ථාවේදී අපේ නායකතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕන. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිය අවුරුදු දෙක තුනේ රැකුවා. නිමල් සිරිපාල සිල්වා මැතිතුමා හිටියේ නැත්නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑ."

 

පාර්ලිමේන්තුව තුළ පක්ෂයට ඇත්තේ සුළු නියෝජනයක් වුවද, විපක්ෂයේ සැබෑ කාර්යභාරය ඉටු කරන්නේ තම පක්ෂය බවත්, ඊට ජාතික සංවිධායක චාමර සම්පත්  ලබාදෙන නායකත්වය සුවිශේෂී බවත් ඔහු සඳහන් කළේය. අනාගත ශ්‍රීලනිප ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ අත්තිවාරම දමමින් මෙවර මැයි දිනය දිස්ත්‍රික්ක මට්ටමින් සාර්ථකව සංවිධානය කිරීම සම්බන්ධයෙන්ද ඔහු ජාතික සංවිධායකවරයාට සිය ස්තූතිය පුද කළේය.

 

 

වත්මන් රජයට දැඩි විවේචනයක්

වත්මන් මාලිමා රජය දැඩි විවේචනයකට ලක් කළ ෆයිසර් මුස්තාපා, රජය ජනතාව මත අධික බදු බරක් පටවා ඇති බවත්, ජීවන වියදම හමුවේ ජනතාව දැඩි සටනක නිරත වී සිටින බවත් ප්‍රකාශ කළේය.

 

"සාමාන්‍යයෙන් දේශපාලනය කරනකොට විපක්ෂය තමයි හතුරා. හැබැයි අද ආණ්ඩුවේ හතුරා කවුද? මම ආණ්ඩුවෙන් අහනවා තමුන්නාන්සේලා හෘද සාක්ෂියට එකඟව උත්තර දෙන්න. තමුන්නාන්සේලා ආණ්ඩුව බාරගන්න කලින් එදා කියපු එක දෙයක් හරි කරලා තියෙනවාද? කම්කරු පංතිය ගැන කතා කරා, බලය ආවට පස්සේ ජනතාවට මොනවද කරේ?"

 

රජයේ බදු ප්‍රතිපත්තිය සහ සහන ලබා නොදීම පිළිබඳවද ඔහු මෙහිදී ප්‍රබල ප්‍රශ්න කිරීමක් සිදු කළේය.

 

"අද ලොකුවට කියනවා බදු එකතු කරා කියලා. ආදායම් බදු, අරක්කු වලින්, රේගුවෙන් වැඩියෙන්ම එකතු කරලා තියෙනවා. හැබැයි එකතු කරලා වැඩක් නෑ සහෝදර සහෝදරයිනි, ජනතාවට ඒ සහන දෙන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. කිව්ව නේද බෙහෙත් වල මිල, බඩු වල මිල, ජීවන වියදම අඩු කරනවා කියලා? සහනාධාර, පොහොර දෙනවා කිව්වා, අද වෙනකන් දීලා නෑ."

 

අවසාන වශයෙන්, පක්ෂයේ පවතින අඩුපාඩු සකසා ගනිමින් ඉදිරි මැයි දින රැලියේදී සියලු දෙනා එක්ව එකම හඬකින් කතා කළ යුතු බව පැවසූ ඔහු, පක්ෂය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමා සූදානම් බව ප්‍රකාශ කළේය. රටේ දුගී සහ පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැවින් තමන් ගැන නොසිතා පංච මහා බලවේගය ගැන සිතා පක්ෂය වටා රොද බඳින ලෙසත් ඔහු සියලු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

 

 

(ෆයිසර් මුස්තාපා සිදුකළ සම්පූර්ණ අදහස් දැක්වීම පහත පළවේ...)

 

"ගෞරවනීය ආගමික නායකයන්ගෙන් අවසරයි. මගේ නායක නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයෙන් අවසරයි. ජී.එල්. පීරිස් මැතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයිනි, ප්‍රසන්න රණතුංග මැතිතුමා ඇතුළු අනෙකුත් පක්ෂවලින් පැමිණි ආරාධිත අමුත්තනි,

 

බොහෝ දෙනෙක් සිතා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳවැටී ඇති බවයි. නමුත් මම අවධාරණය කරනවා, අපි කිසිදා වැටෙන්නේ නැති බව. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා පැවසූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු 'සැලූන් දොරක්' වැනි ය. මිනිසුන් ඒ තුළින් පැමිණිය හැකිය, පිටව යා හැකිය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවෙකුටත් වට්ටන්නට බැහැ.

 

මෙම අවස්ථාවේදී අපේ නායකතුමාට මම විශේෂයෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. පසුගිය වසර දෙක තුන පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළේ එතුමායි. එදා නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා මැදිහත් නොවූයේ නම්, අද වන විට මෙවැනි පක්ෂයක් ඉතිරි නොවන්නට ඉඩ තිබූ බව මම සිහිපත් කරනවා. ඒ වගේම අපේ ජාතික සංවිධායක චාමර සම්පත් මැතිතුමා ගැනත් කිව යුතුමයි. අද පාර්ලිමේන්තුව තුළ අපට සිටින්නේ සාමාජිකයන් දෙදෙනෙකු පමණක් වුවත්, විපක්ෂයේ සැබෑ හඬ නියෝජනය කරන්නේ එතුමායි. සංඛ්‍යාත්මකව අඩු වුවද, විපක්ෂයේ සැබෑ කාර්යභාරය ඉටු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා.

 

අද මෙම මැයි දින රැලිය ඉතා සාර්ථකව සංවිධානය කිරීම සම්බන්ධයෙන් ජාතික සංවිධායකතුමාට අපගේ ගෞරවය හිමිවිය යුතුයි. එතුමා සෑම දිස්ත්‍රික්කයකටම ගොස් කළ කැපවීමේ ප්‍රතිඵලය තමයි අද අප මේ දකින්නේ. මෙය හුදෙක් රැස්වීමක් නොව, අනාගතයේදී අපේම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දමන ලද ශක්තිමත් අත්තිවාරමයි.

 

අද 'මාලිමාව' ආණ්ඩුවක් පවතිනවා. සාමාන්‍යයෙන් දේශපාලනයේදී හතුරා වන්නේ විපක්ෂයයි. නමුත් මම අසනවා අද ආණ්ඩුවේ සැබෑ හතුරා කවුද කියා? ඔවුන් එදා කීවේ සුරංගනා කතායි. මම රජයෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව පිළිතුරු දෙන්න කියා. බලය ලබා ගැනීමට පෙර ඔබ ජනතාවට දුන් පොරොන්දු වලින් එකක් හෝ මේ වන විට ඉටු කර තිබේද? ඔබ එදා කම්කරු පන්තිය සහ වෘත්තීය සමිති වෙනුවෙන් පෙනී සිටින බව පැවසුවා. නමුත් බලය ලැබුණු පසු මේ රටේ පොදු ජනතාවට ඉතිරි කළේ කුමක්ද?

 

සහෝදර සහෝදරියනි, අද අපේ රටේ දුගී දුප්පත් ජනතාවට සහ වැඩ කරන ජනතාවට පවතින අධික ජීවන වියදම දරාගත හැකිද? අද ජනතාව ජීවත් වීමට සටනක නිරතව සිටිනවා. රජය පවසනවා බදු ආදායම් විශාල ලෙස එකතු කළ බව. ආදායම් බදු, මත්පැන් බදු සහ රේගු බදු හරහා මුදල් රැස් කර තිබෙනවා. නමුත් එම මුදල්වලින් ජනතාවට ලැබුණු සහනය කුමක්ද? පෙට්‍රල් මිල දෙස බලන්න; මෙවැනි මිලක් යටතේ ජනතාවට ජීවත් විය හැකිද? ඖෂධ මිල, භාණ්ඩ මිල සහ ජීවන වියදම අඩු කරන බවත්, සහනාධාර සහ පොහොර ලබා දෙන බවත් එදා පැවසුවා. නමුත් අද වනතුරුත් ඒවා ඉටු වී නැහැ.

 

අපේ පක්ෂයේ යම් යම් අඩුපාඩු තිබිය හැකියි. නමුත් අප ඒ සියල්ල නිවැරදි කරගෙන මීළඟ මැයි දිනයේදී මීටත් වඩා ශක්තිමත් හඬකින් ජනතාව හමුවට එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වට්ටන්නට කිසිවෙකුට නොහැකියි. මම පක්ෂයේ සෑම සාමාජිකයෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ තමන්ගේ පෞද්ගලික වාසි ගැන නොසිතා, පොදු ජනතාව සහ පංච මහා බලවේගය වෙනුවෙන් පක්ෂය වටා එක්වන ලෙසයි. පක්ෂය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට මම සූදානම්. මම එදත් අදත් පක්ෂය වෙනුවෙන් පෙනී සිටියේ පරිත්‍යාගශීලීවයි. මේ රටේ දුගී ජනතාවට සහ පොදු ජනතාවට ඉතිරිව ඇති එකම රැකවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

 

ස්තූතියි!"

නවතම ලිපි