සියලුම ශ්‍රී ලාංකිකයින්ට Starlink චන්ද්‍රිකා අන්තර්ජාල ප්‍රවේශය සක්‍රීය කිරීම සම්බන්ධයෙන්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලොන් මස්ක් වෙත ස්තූතිය පළ කර තිබේ.
X හි සටහනක ඔහු මෙසේ පැවසීය,
"මෙය අපේ ජාතියේ ඩිජිටල් පරිවර්තනයේ සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරයි."
ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය සඳහා තවදුරටත් දියුණුව ගවේෂණය කිරීම සඳහා ඉක්මනින් එලොන් මස්ක් හමුවීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.
2024 දී ස්පේස්එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් සමඟ පැවති හමුවකදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.
ඒ ඉන්දුනීසියාවේ බාලි හි පැවති 10 වන ‘ලෝක ජල සමුළුවට’ සහභාගී වූ අවස්ථාවේදීය.
රනිල් වික්‍රමසිංහ ඊලොන් මස්ක් හමුවීමත් සමඟ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලිය ආරම්භ විය.
ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක්, ඔහුගේ ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, Starlink අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවයි.
2024 වසරේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) විසින් Starlink සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා ‘විදුලි සංදේශ සේවා සැපයුම්කරු’ බලපත්‍රයක් නිකුත් කරන ලදී.
Starlink අන්තර්ජාල සේවාව, ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාවට වඩා කිහිප ගුණයකින් වේගවත් බව සඳහන් වේ. මෙය දිවයිනේ අන්තර්ජාල පරිශීලකයින්ට නව සහ වැඩිදියුණු කළ අත්දැකීමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.