SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(කාටූන් චිත්‍රය අංජන ඉන්ද්‍රජිත්)

 

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම මේ දිනවල සිදු වෙමින් පවතින නිසා දේශපාලන ක්ෂේත්‍රය

ඒ සම්බන්ධයෙන් තවමත් උණුසුම්ය. පුංචි ඡන්දය ඉවර වී කාලයක් ගත වුවද, බහුතරයක් හිමි නොවූ පළාත් පාලන ආයතනවල බහුතරය සකස් කරගැනීම සඳහා ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් තරගයට කටයුතු කරන බැවින් මේ උණුසුම වැඩි වී තිබේ.

 

 

කොළඹ කාටද? තීරණය හෙට

 

පළාත් පාලන ආයතන 339ක් මෙරට තිබුණද බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත්තේ කොළඹ මහ නගර සභාව දෙසටය. එහි බලය අනිවාර්යයෙන්ම ලබා ගන්නා බව මාලිමා ආණ්ඩුව ප්‍රකාශ කරයි. සුනිල් වටගල රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ එය ‘බඩේ බත් වගේ’ ස්ථිර බවයි. දැනටමත් ස්වාධින කණ්ඩායම් මාලිමාවට සහයෝගය දීමට සූදානමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

මේ අතර සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරන්නේ 16 වැනිදාට අනිවාර්යයෙන්ම කොළඹ බලය පිහිටුවන්නේ සමඟි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් බවයි. දැනටමත් බහුතරයකගේ සහාය සමඟි ජන බලවේගය ලබාගෙන ඇති බවද මුජිබර් රහුමාන් සඳහන් කළේය.

 

 

මෙන්න බල හුවමාරු

 

මාලිමාවට තනිව බලය පිහිටුවීමට අපහසුව තිබුණු පළාත් පාලන ආයතන දෙකක බලය පිහිටුවීම හරි අපූරු විදිහකට පසුගියදා සිදු විය. පසුගියදා මඩකලපුව මහ නගර සභාව රැස් වූ අවස්ථාවේ ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට සමඟි ජන බලවේගය සහය පළ කළේය. ඒ නිසා මඩකලපුවේ නගරාධිපති තනතුර මාලිමාවෙන් ගිලිහී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට හිමි විය. උප නගරාධිපති තනතුර සමඟි ජන බලවේගයට හිමි විය.

 

 

චමින්ද විජේසිරි අවුලක

 

බණ්ඩාරවෙල නගරාධිපති ඡන්දයද පසුගියදා පැවැත්විණි. බණ්ඩාරවෙල ප්‍රබලයා වන චමින්ද විජේසිරි මුල සිටම සිටියේ අවුලකය. බණ්ඩාරවෙල මහ නගර සභාවේ සැලකිය යුතු මන්ත්‍රී ධුරයන් ප්‍රමාණයක් ස්වාධීන කණ්ඩායමට හිමි කරගෙන තිබුණ අතර, සජබට හිමිව තිබුණේ මන්ත්‍රීධුර හතරක් පමණි. නගරාධිපති ඡන්දය පිළිබඳ පැවති සාකච්ඡාවලදී ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබුණේ සජබට නගරාධිපති හා උප නගරාධිපති ධුර දෙකම දිය නොහැකි බවයි. සජබට නගරාධිපති තනතුරු අවශ්‍ය නම් තමන්ට නියෝජ්‍ය නගරාධිපතිකම අවශ්‍ය බව ඔවුන් පවසා තිබිණි.

 

අනෙක් අතට චමින්ද විජේසිරිට අවශ්‍ය වී ඇත්තේ තමන්ට හයිය තියෙනවා බණ්ඩාරවෙල ඕන දෙයක් කරන්න යනුවෙන් පක්ෂයට ඇඟවීමටය. ඒ අතරම ඔහු අපි මෙහෙම කට්ටිය එකතු කරලා සභාව හැදුවට වැඩක් නෑ. “ආණ්ඩුව මාලිමාවේ නිසා අපේ චූටි හරි අඩුපාඩුවක් වුණාම ආණ්ඩුව ඒකෙ වාසිය ගන්නවා. හොඳම දේ තමයි මාලිමාවට කරන්න දීලා මාලිමාව කෙළවා ගත්තාම අපි මිනිස්සු අතරට ගිහින් කියමු ඔන්න මාලිමාව අරගෙන කෙරුවේ නෑ කියලා,” යනුවෙන් තර්කයක් ඉදිරිපත් කර තිබේ.

 

මේ කතා නිසා සජබ මන්ත්‍රීවරුන් එදින සභාවලට පැමිණ සිටියේ නැත. ඒ අනුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති පුටුව මාලිමාව අතට පත් විය. උප නගරාධිපති තනතුර ස්වාධීන කණ්ඩායමක් සතු විය.

 

 

ආයතන 100ක බලය ඇල්ලීමට විපක්ෂය සැරසේ

 

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 100ක බලය ලබා ගැනීම සඳහා විපක්ෂය සන්ධානගත වන බව සමඟි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක සඳහන් කරයි. පසුගිය දොළොස් වැනි දා ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

 

තිස්සගේ මතය

 

ආණ්ඩුවට බහුතරය අහිමි පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ සමඟ කොන්දේසි විරහිතව කටයුතු කරන බවද තිස්ස අත්තනායක කියා සිටියේය. එහිදී සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මෙසේ පැවසීය:

 

“පළාත් පාලන මැතිවරණයෙන් දුන් ප්‍රතිඵලය අනුව විපක්ෂයට ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. එම ජනමතය ක්‍රියාත්මක කිරීම විපක්ෂයේ සියලු පක්ෂවල වගකීමයි. ජනතා තීරණය ඉටු කිරීමට පළාත් පාලන කොට්ඨාස මට්ටමින් එකට එකතු වී කටයුතු කිරීමට අප තීරණයක් ගෙන තිබෙනවා. මේ තීරණය සමඟ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් රැසක් එක්ව සිටිනවා. එතනදි අපි සියලු දෙනා එක්ව පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ විපක්ෂය විදිහට බලය පිහිටුවනවා.

 

“පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී විවෘත ඡන්ද විමසීමක් අවශ්‍යයි කියලා අපි පක්ෂ සියල්ලක්ම සභිකයන්ට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව සභාපති නගරාධිපති ඇතුළු නිලධාරීන් පත්කිරීමේදී විවෘත ඡන්දයකින් පත්කරගත යුතුයි. තනතුරු පත්කර ගැනීමේදී දේශපාලන පක්‍ෂ ගත් තීන්දු අනුව නියෝජිතයන් කටයුතු කළ යුතුයි කියලා අපි පොදු උපදෙසක් දීලා තියෙනවා. ඒ උපදේශ නොපිළිපදින සභිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.”

 

 

පොහොට්ටුව කියන්නේ මොනවාද?

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ පැවසීය:

 

“මාලිමා ආණ්ඩුවේ පත් වීමත් සමඟ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස අහිමි වෙමින් යන බවක් අපට පේන්න තියෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධ බලයක් ගොඩනඟන්න අප කටයුතු කරලා තියෙනවා. අපේ පක්ෂවල ගමනක ආරම්භය මිස ගමනාන්තය නෙමෙයි. දේශපාලන වාද භේද පසෙකලා පොදු අරමුණක් වෙනුවෙන් අපි කටයුතු කරනවා.”

 

 

තලතා එකමුතුකම ගැන කතා කරයි

 

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය මෙසේ කීවාය:

 

“පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පොදු විපක්ෂයක් විදියට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රජයට බහුතරයක් නැති පළාත් පාලන ආයතන 161ක් තිබෙනවා. අපි එකතු වෙලා පොදු විපක්ෂයක් ගොඩනඟාගත්තේ ආණ්ඩුවට පළාත් පාලන ආයතනවල බලය නොදිය යුතුයි කියන ජනතාව දුන් ස්ථාවරයේ ඉඳගෙනයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතාවගේ නිදහස මේ ආණ්ඩුව යටතේ විනාශ වෙමින් යනවා. ඒ වෙනුවෙන් අපි මේ එකමුතුව ගොඩනඟාගත්තා. පොදු විපක්‍ෂය පළාත් පාලන ආයතන තුළත් ගැටුමක් ගැටලුවක් නැතුව සාමූහිකව කටයුතු කරනවා.”

 

 

ජනපති මිහින්තලේ

 

ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා ගියේ ඉකුත් අඟහරුවාදා සන්ධ්‍යාවේය. සංචාරය ඇරඹීමට පෙර ජනාධිපතිවරයා මිහින්තලේ රාජමහා විහාරයට ගියේ පොසොන් උත්සවයට සහභාගි වීමටය. මිහින්තලේ නායක හාමුදුරුවන් සහ රජය අතර එතරම් මිතුරු බවක් තිබුණේ නැත.

 

“වසන්ත සහෝදරයා, ඔයා මිහින්තලේට ගිහිල්ල නායක හාමුදුරුවෝ හමුවෙලා කතාබහ කරලා එන්න. පොසොන් උත්සවයට මම අනිවාර්යයෙන් එනවා කියලත් කියන්න.” ජනාධිපතිවරයා එහෙම කිවුවේ ඇමැති වසන්ත සමරසිංහටය. ඒ අනුව වසන්ත මිහින්තලයට ගොස් නායක හාමුදුරුවන් බැහැදුටුවේය.

 

“නායක හාමුදුරුවනේ, ජනාධිපතිතුමා අනිවාර්යයෙන් එනවා,” වසන්ත සමරසිංහ කීවේය. “හොඳයි. ඒක රාජ්‍ය නායකයාගේ යුතුකමක් නේ,” නායක හාමුදුරුවෝ පිළිවදන් දුන්හ.

 

පොසොන් පොහොයට පෙර දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මිහින්තලාවේ නායක හාමුදුරුවන්ට දුරකතන ඇමතුමක් ලැබිණි. “නායක හාමුදුරුවනේ, හරි වැඩේ! ජනාධිපතිතුමාට ජර්මනියේ සංචාරයක් තියෙනවා. ඒක තියෙන්නේ පොසොන් පෝය දවසේ හවස. මොකද කරන්නේ?” ජනාධිපති ලේකම්වරයා විමසා සිටියේය.

 

“එතුමාට රෑට එන්න බැරි නම් උදේට එන්න කියන්න. රජා උදේ ආවත් එකයි හවස ආවත් එකයි,” මිහින්තලේ නායක හාමුදුරුවෝ ප්‍රකාශ කළහ.

 

 

ජනපතිට ජර්මනියේදී උණුසුම් පිළිගැනීමක්

 

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. බර්ලිනයේ බෙල්වීව් මන්දිරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාළිය නිරීක්ෂණයටද එක් විය.

 

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරුන් දෙපළ අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. එහිදී දෙරට අතර ආර්ථික හා අන්තර්ජාතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

 

 

ජනපති හා ජර්මානු විදේශ ඇමැති අතර හමුවක්

 

ජර්මානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා පසුගියදා (11) බර්ලින්හි වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී එරට විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල්ඩ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගිතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, විදේශ කටයුතු, විදේශ රැකියා හා වෙ‍ළෙඳ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (යුරෝපය සහ උතුරු අමෙරිකාව) සුගීෂ්වර ගුණරත්න ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

 

ජර්මනියේ ප්‍රබලතම රාජ්‍ය ලේකම් ඇමති විජිත හමු වෙයි

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා ජර්මානු සංචාරයේදී ජූනි 12 දින, ජර්මානු ෆෙඩරල් ජනරජයේ ආර්ථික කටයුතු සහ බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ආචාර්ය තෝමස් ස්ටෙෆන් මහතා හමු විය.

 

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රගතිය, වැඩිදියුණු කළ දේශපාලන ස්ථාවරත්වය සහ වඩාත් ආයෝජක හිතකාමි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජය ගෙන ඇති අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව දැනුම්වත් කිරීමට මෙම රැස්වීම අවස්ථාවක් විය. ආර්ථිකය ස්ථාවර කිරීම, විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ තිරසර ආර්ථික ප්‍රකෘතිය සඳහා පදනම ශක්තිමත් කිරීම සඳහා සිදු කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ අමාත්‍ය හේරත් මහතා ගෙනහැර දැක්වීය.

 

ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව ගැඹුරු කිරීම සඳහා ඔවුන්ගේ කැප වීම සහ ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා මාර්ග ගවේෂණය කිරීම සඳහා දෙපාර්ශ්වයම නැවත තහවුරු කළහ. තාක්ෂණික සහයෝගිතාව සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය තුළින් ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා ජර්මනියේ අඛණ්ඩ උනන්දුවද මෙම සාකච්ඡාවලදී ඉස්මතු විය.

 

දෙරට අතර දිගුකාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම සංචාරය සලකුණු වන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික දිශාව කෙරෙහි වර්ධනය වන ජාත්‍යන්තර විශ්වාසය පිළිබිඹු කරයි.

 

 

රනිල් CIDයට කීවේ මොනවාද?

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ කැඳවීමට අනුව එහි ගිය හිටපු ජනාධිපතිවරයා එහි සිටි නිලධාරීන්ගෙන් තමන්ව කැඳවූයේ මන්දැයි විමසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් ගෙන්වීමේ සිද්ධියට අදාළව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් ආකාරය පිළිබඳව විමසීම සඳහා මෙසේ කැඳවූ බවය.

 

එහිදී හිටපු ජනාධිපතිවරයා එම නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින්, මේ ආකාරයෙන් කැබිනට් මණ්ඩලය සම්බන්ධ දේවල් විමසිය නොහැකි බවත් කැබිනට් මණ්ඩලය සම්බන්ධ දෑ ගැන ප්‍රශ්න කිරීමට අධිකරණයටවත් නොහැකි බවත් සඳහන් කර ඇත.

 

කැබිනට් තීරණ සම්බන්ධ තොරතුරු කිසිවෙකුට පිටතට ලබාදිය නොහැකි බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා එසේ කැබිනට් තීරණයකට එකඟ වූ, එකඟ නොවූ අය පිළිබඳව පිටස්තර පාර්ශ්වයකට තොරතුරු ලබාදෙන්නේ නම් එකී කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ එකඟතාව මත එය සිදුකළ යුතු බවත් එසේ නොවන්නේ නම් එය නීතියට පටහැනි බවත් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

 

එමෙන්ම කැබිනට් මණ්ඩලයට අදාළ නීතිය පිළිබඳව ග්‍රන්ථයක නමක් ද පවසා ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විමර්ශන සිදු වන්නේ මේ ආකාරයට නම් තමන්ට සිදුවන්නේ එම ග්‍රන්ථයත් රැගෙනවිත් නීතිපතිවරයාට නීතිය කියාදීමට බවත් ප්‍රකාශ කර CIDයෙන් පිටව ගොස් ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

 

 

රනිල් රුසියාවට

 

මෙසේ CIDය හමුවට ගොස් කෙටි වේලාවකින් පිටතට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ රුසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් වාර්තා විය

 

 

අයථා ලෙස සිරකරුවන් නිදහස් කිරීම ගැන සොයා බැලේ

 

මේ අතර මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වී ඇති තවත් මාතෘකාවක් වන්නේ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමයි. ජනාධිපති සමාව ලබාදීමට සුදුසු නොවන සිරකරුවන්ද අයථා ආකාරයට නිදහස් කිරීම ගැන මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින්ද පරීක්ෂණයක් සිදු වන අතර, මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

 

ජනාධිපති සමාව යටතේ මීට පෙර අයථා ලෙස සිරකරුවන් නිදහස් කිරීමේ සිද්ධීන් සම්බන්ධවද සොයා බලන බවත් සිරකරුවන් නිදහස් කිරීම පමණක් නොව රජය ගන්නා ප්‍රතිපත්තිමය තීන්දුවලට මුවා වී කවර හෝ ආයතනයක වංචනික කටයුතු සිදු වී ඇත්නම් ඒ සම්බන්ධව ද ඉදිරියේදී පරීක්ෂණ සිදු කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

 

 

අනුමත කළ ලේඛනයේ නම නැහැ

 

ජනාධිපති ලේකම්වරයා සහ අධිකරණ ඇමැතිවරයා අනුමත කරන ලද කිසිම ලේඛනයක ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති රැඳවියාගේ නම සඳහන් නැති බවත්, ජනාධිපති සමාව යටතේ වැරදි ආකාරයෙන් පුද්ගලයන් නිදහස් කළ අයට නීතිය ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

 

වෙසක් පෝයට නත්තලට ජනාධිපති සමාව අනුව සිරකරුවන් නිදහස් කරන බවත් එවැනි ආකාරයෙන් සිරකරුවන් නිදහස් කිරීමේදී අයථා ක්‍රියාවක් සිදු වුණු බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් ඇමැතිවරයා කීවේය. ඒ සම්බන්ධව අමාත්‍යාංශය විසින් විමර්ශනයක් සිදු කරන බවද ඔහු පැවසීය. එම පරීක්‍ෂණවලට බාධාවක් නොවන පරිදි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය වැඩ තහනමට ලක් කළ බවද ඔහු පැවසීය. මීට පෙර මෙවැනි සිදුවීම්වලට අදාළව ද විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත්, 2024 වසරේ නත්තල් දිනයේ රැඳවියන් 332කට ජනාධිපති පොදු සමාව දී තිබුණද රැඳවියන් 389ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට තවත් පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් ඔහු කියා සිටියේය.

 

 

ඉන්දියාවට ඇමැති විජිතගේ ශෝකය

 

ඉන්දියාවේ අහමදාබාද්හි දරුණු ගුවන් අනතුර සිදු වන විට විදේශ අමාත්‍ය විජිත හේරත් සිටියේ ජර්මනියේය. ඒ, ජනාධිපතිවරයා සමග ජර්මනියේ නිල සංචාරයකට සහභාගි වෙමිනි. ගුවන් අනතුර සැල වූ වහා ඒ ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළේය. ඉන් අනතුරුව ගුවන් අනතුර සම්බන්ධයෙන් සිය X ගිණුම ඔස්සේ ඉන්දියාවට ශෝකය ප්‍රකාශ කිරීමටද විජිත හේරත් අමාත්‍යවරයා පියවර ගත්තේය.

 

 

බෝරා සමුළුවට රජයෙන් පහසුකම්

 

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපරිම සහාය දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. ජනාධිපති ලේකම්වරයා විසින් මෙසේ උපදෙස් දුන්නේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (12) පැවති සාකච්ඡාවේදීය.

 

බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුවට සමගාමිව ජූනි 27 දා සිට ජූලි 5 දක්වා බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ් තුමාගේ සහභාගිත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ බෝරා සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වේ.

 

මේ ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර, ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු පිරිසක් හා බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

ජපාන තානාපති කාර්යාලයේ ප්‍රබලයෙක් වජිර හමු වෙයි

 

මේ අතර කොළඹ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී නඔකි කමොෂිඩා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අතර විශේෂ හමුවක් පසුගිය බදාදා උදෑසන කොළඹ මල් පාර කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, දෙරට අතර පවතින ඓතිහාසික සබඳතාව පිළිබඳවද මෙහිදී සිහිපත් කර තිබිණි.

 

 

රනිල්ගේ පරපුර බුද්ධ ශාසනයට කළ සේවය වජිර පෙන්වයි

 

මේ අතර පසුගිය බදාදා දින සවස වජිර විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. ඒ හිටපු ජනාධිපති රනිල්ට පසුගිය පොහොය දිනයේ එල්ල කරන්නට යෙදුණු වැරදි ප්‍රචාරයකට පිළිතුරු දීම සඳහාය. ඒ අනුව වජිර ඒ චෝදනාවලට පිළිතුරු දී තිබිණි.

 

“පොසොන් දිනයේ අරමුණ විය යුත්තේ වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් තොරව සිත් සතන් සුවපත් වේවායි යන ප්‍රාර්ථනාවෙන් ශ්‍රී ලාංකික සහ ලෝක බෞද්ධ ජනතාව පෙළ ගැස්වීමයි. එවන් මොහොතක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේ ප්‍රධාන ආගමික වැඩසටහන් සඳහා සහභාගි නොවූ බවට ප්‍රකාශ නිකුත් කිරීම ශ්‍රී ලාංකික සමස්ත බෞද්ධ ජනතාව නොමඟ යැවීමකි.

 

“බුදුරජාණන් වහන්සේ වැඩම කළ කැලණි රාජ මහා විහාර පූජා භූමිය කැලෑවැදී තිබුණු යුගයක එය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකි වන පරිදි සකස් කොට ශාසනයට පූජා කළේ රනිල් වික්‍රමසිංහ පරපුරයි. මිහින්තලාවේ පුදබිමේ ආලෝක පූජාව පටන් ගත්තේද රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධනය. එපමණක් නොව, අනුරාධපුර නගරයේ කෙරෙන ප්‍රධාන පින්කම් ගණනාවක්ම ආරම්භ කරන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ අය විසින් බව අප අමතක නොකළ යුතුයි. එමෙන්ම එම පරම්පරාවේම සාමාජිකයකු වන උපාලි විජයවර්ධන මහතාද සිතුල්පව්වේ පොසොන් උත්සවය එදා ආරම්භ කොට එයටද නායකත්වය දුන්නා. එතැනින් නොනැවතුණු ඒ පරම්පරාවේ රංජිත් විජයවර්ධන විජය පුවත්පත් සමාගම හරහා තන්තිරිමලේ ආලෝක පූජාවද ආරම්භ කළා.

 

“ශ්‍රී ලාංකික මහජනතාව වෙනුවෙන් මෙවන් පින්කම් කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ උදවිය සහ එතුමා සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර ගෙනයෑම කනගාටුදායක කරුණක් බව සිහිපත් කළ යුතුයි. එපමණක් නොව, ඉහත සඳහන් පින්කම් මාලාවලට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබුණු සෑම අවස්ථාවකම එතුමා ඒවාට සහභාගි වූ අතර, එතුමාට කළ හැකි සෑම සේවයක්ම එතුමා ඒ වෙනුවෙන් සිදු කර තිබෙනවා. එපමණක් නොව‍, විවිධ ආණ්ඩු මාරු වුවත් බෞද්ධ ශ්‍රී ලාංකික නායකයන් විවිධ අවස්ථාවල මේ පින්කම් සඳහා දේශපාලන භේදයකින් තොරව සහභාගි වෙනවා.”

 

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිතුල්පව්ව පින්කම් මාලාවට විටින් විට සහභාගි වන අවස්ථාවද අපට සිහියට නැඟෙනවා. 2024 වසරේ පොසොන් පොහොය දිනයේදී තන්තිරිමලේ රාජමහ විහාරයේ පැවැති අලෝක පූජාව සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආරාධනය ලැබුණු වහාම එතුමා ඒ සඳහා සහභාගි වී සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙනුවෙන් ඒ කටයුතු ආලෝකවත් කිරීම සඳහා ක්‍රියා කළ බව ශ්‍රී ලාංකික මහජනතාවට මතක් කර දීමට කැමතියි.

 

“ඒ නිසා අනුරාධපුරයේ ප්‍රධාන ආගමික වැඩසටහන් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි නොවූ බවට කෙරෙන ප්‍රකාශ සියල්ල පදනම් විරහිත කරුණු බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි,” යනුවෙන්ද වජිර අබේවර්ධන තවදුරටත් ප්‍රකාශ කළේය.

 

@ රුවන් පතිරණ ගේ රාජකීය හෑල්ලෙන්..

සිළුමිණ (දේශපාලනය)

නවතම ලිපි