ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අස්සන් කළ ඉන්දු ලංකා
ගිවිසුම් 7 ඉන්දීය රජයේ එකඟතාව ලැබුණු පසු ශ්‍රී ලංකා රජය විසින් ප්‍රසිද්ධියට පත්කරනු ලබනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් ‘ඉරිදා මව්බිම’ට වාර්තා විය.
ඉන්දු ලංකා ගිවිසුම් තුන් වැනි පාර්ශ්වකට පත්කිරීමේදී ද්විපාර්ශ්වීය එකඟතාව අවශ්‍ය බවට එම ගිවිසුමේ අන්තර්ගත කොන්දේසිය ඊට හේතු වී ඇත.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත හරහා අදාළ පනත් ලබාගැනීමට උත්සාහ කළ පිරිස්වලට පවා එම තොරතුරු මුදාහැරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසා බව රජයේ ප්‍රකාශකයෙක් ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.
ඉරිදා මව්බිම ද මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ ඒකකය මගින් තොරතුරු දැනගැනීමේ පනත හරහා විමසීමක් කළ අතර ඊට ප්‍රතිචාරය වූයේ අදාළ ගිවිසුම්වල පිටපත් ජනාධිපති කාර්යාලයේ නොමැති බවය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.ජී.එස්.සී රෝෂන් මහතාගේ අස්සනින් යුතුව එවූ එම පිළිතුරු ලිපියේ ඊට හේතු ලෙස දක්වා තිබුණේ ජනාධිපතිවරයා විසින් එම ගිවිසුම්වලට අස්සන් කරනු නොලැබීමයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණේ පසුගිය අප්‍රේල් 5 වැනිදාය.
බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සහ ප්‍රදාන ආධාර පිළිබඳ මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු විය.
විදුලිබලය ආනයනය/අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා අන්තර්සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතාව, ඖෂධ සංග්‍රහ සහයෝගීතාව හා නැගෙනහිර පළාතේ බහු-ආංශික ප්‍රදාන සහාය ඒවායේ තේමාව ලෙස සඳහන් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
තවද එකී ගිවිසුම් හුවමාරුවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම් උදයංග හේමපාල, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත හා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් දේශීය නියෝජිතයන් වශයෙන් ද ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි, ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අලමෙරි, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විදෙස් නියෝජිතයන් වශයෙන් ද සහභාගී වූ බව ද එම නිවේදනයේම සඳහන් විය.
ඉන්පසුව මෙම ගිවිසුම් ප්‍රසිද්ධියට පත්කරන ලෙසට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලීම් කළ අතර ඒවා අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයට හෝ නීතිපතිවරයාට යොමු කර නොමැති බවට ද විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල විණි.
අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි අතර එහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත හරහා ඕනෑම අයකුට ඒවා ලබාගැනීමට ඉල්ලුම් කළ හැකි බවයි.
බී.බී.සී සිංහල සේවය ඇතුළු ජනමාධ්‍ය හා විවිධ පාර්ශ්ව ඒ සඳහා පොදු අධිකාරින් වෙත ඉල්ලුම් කර තිබූ නමුත් එම තොරතුරු මුදාහැරි බවක් වාර්තා නොවේ.
විදේශ කටයුතු අමත්‍යංශයේ තොරතුරු නිලධාරියා එක් එක් ගිවිසුමේ විෂය පථයට අදාළ අමාත්‍යංශවලට නැවත එම තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසට ඇතැමුන්ට දන්වා ඇතත් තොරතුරු පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ කාල රාමුව තුළ එම තොරතුරු මෙතෙක් කිසිවෙකුට ලැබී නැත.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගිවිසුම් පිටපත් ලබාගත හැකි බවට අමාත්‍ය විජිත හේරත් කළ ප්‍රකාශයම ගිවිසුම් අන්තර්ගතයන් ජනගතවීම ප්‍රමාද කිරීමට යෙදූ උපක්‍රමයක් යැයි හිටපු ජනාධිපති ලේකම්වරයකු මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යට කරුණු දක්වා තිබිණ.
තොරතුරු දැනගැනීමේ පනතේ 5 වැනි වගන්තිය යටතේ 1 හා 2 යටතේ සඳහන් රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව හා අන්තර්ජාතික නීතිට ගැනෙන ගිවිසුම් යටතේ අදාළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට පොදු අධිකාරීන්ට අවස්ථාව ලැබීම ඊට හේතුව ලෙස ඔස්ටින් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළ අවස්ථාවේත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සටන් විරාම ගිවිසුම අස්සන් කළ අවස්ථාවේත් එම ගිවිසුම් හෙළිදරව් නොකිරීම රාජ්‍ය ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් ලෙසට එවකට ජනතා විමුක්ති පෙරමුණම චෝදනා කළ පසුබිමක මෙසේ ගිවිසුම් ප්‍රමාද කිරීම ගැන විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටී.
ගිවිසුම් ප්‍රසිද්ධ කිරීම සඳහා ද්විපාර්ශ්වීය එකඟතාව අවශ්‍ය බව මේ සම්බන්ධයෙන් කෙරුණු ප්‍රශ්න කිරීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා වරක් ප්‍රකාශ කළේය.
ඒ අනුව මේ වනවිට ඉන්දු ලංකා ගිවිසුම් ප්‍රසිද්ධ කිරීම සඳහා ලංකා රජය පාර්ශ්වයෙන් ඉන්දීය රජයට ඉල්ලීමක් කර ඇති අතර ඒ සඳහා එකඟතාව ලැබුණු පසු අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
@ බිඟුන් මේනක ගමගේ