SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අභාවයට පත් රංගන ශිල්පිනිය, මාලිනී ෆොන්සේකාට අවසන් ගෞරව දක්වන්න අද දහවල් හැකි වුණා.

සිනමා තිරයේදීත්, රූපවාහිනී තිරයේදීත්, ඩිජිටල් තිර මතත්, අවස්ථා කිහිපයකදී සජීව ලෙස භෞතිකවත් මා ඇය දැක තිබෙනවා. නමුත් අද නැවත ඇය බලන්නට ගියේ ඇයගේ භෞතික ශරීරය අදින් පසු බැලීමට නොලැබෙන නිසා. කොහොමටත් අප ප්‍රිය කරන කෙනෙකුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැක ගන්නට සිදුවීම එතරම් පහසු දෙයක් නෙවෙයි.

 

 nidhanaya

 

 

මාලිනීව මුලින් මතකයට එන්නෙ පැරණි කළුසුදු සිංහල චිත්‍රප‍ටිවල රදළ හාමුගේ අකටයුතුකම් වලට එරෙහිව වලව්වෙන් එළියට එන, ගමේ දුප්පත් රැකියා විරහිත තරුණයාට පෙම් බඳින අහිංසක - එහෙත් යුක්තිය වෙනුවෙන් නොබියව පෙනී සිටින තරුණිය ලෙස. සිය පියාගෙත් සොහොයුරාගේත් හොර මැරකම් වලට විරෝධය පාන එම තරුණිය 'යුක්තියට චණ්ඩියා' වන දුප්පත් තරුණයාගේ අතගෙන පේරාදෙණිය මල් වත්තේත්, දුන්හිඳ දිය ඇල්ල ළඟත්, ගල්කිස්ස වෙරළේත් ගීත ගයන විට ළමා වියේදී සහ නවයොවුන් වියේදී අපේ සිත් සතුටින් පිරී ගියා. එම චිත්‍රපට නැරඹුවේ එක්කෝ රූපවාහිනියෙන්, නැතිනම් ඒ කාලයේ ජනප්‍රියව තිබූ VHS කැසට් වලින්. මාලිනී අඳුරු කළ ශාලාවක, විශාල තිරයක් මත මුලින්ම දුටුවේ තාත්තා මාව 'ආරාධනා' බැලීමට මහනුවර ඕඩියන් සිනමාහලට රැගෙන ගිය දවසේ.

 

 

පසුකාලීනව උසස්පෙළ හදාරන සමයේ සහ විශ්ව විද්‍යාලයේදී එවැනි රොමැන්ටික් චිත්‍රපට ගැන ඇති ඇල්ම ක්‍රමයෙන් පහව යද්දීත් මාලිනී නැවත හමුවුණා. ඒ 'නිධානය' සහ 'බඹරු ඇවිත්' වැනි කෘති තුළ විශිෂ්ට රංගන ප්‍රතිභාවක් පෙන්වූ මාලිනීගේ භූමිකා තුළින්.

 

 babaru awith movie

 

 

විශේෂයෙන් 1987-89 මහා ලේවැකි මර්දනයෙන් අනතුරුව අප නැරඹූ 'ස්ත්‍රී' චිත්‍රපටය තුළ මාලිනී නිරූපණය කළේ රාජ්‍ය මර්දනය විසින් බිලිගත් සිය දරුවන් වෙනුවෙන් යුක්තිය සොයා යමින් සිටින සියලු අම්මාවරුන් පිලිබඳ සංකේතීය භූමිකාවක්. උසස්පෙළ උපකාරක පන්තියකට සහභාගි වීමෙන් පසුව, අප 'ස්ත්‍රී' නැරඹුවේ (මතක හැටියට 1991දී හෝ 1992දී විය යුතුයි), මහනුවර රීගල් සිනමාහලේදී.

 

 

අවසානයට ඇයව තිරයක් මත දුටුවේ සති තුනකට පමණ පෙර ඇය රෝගාතුරව සිටියදී ඇයට ගෞරව පිණිස 'ආකාස කුසුම්' නැවත තිරගත කිරීමකදී, කොළඹ PVR සිනමාහලේදී. ‍එහිදී ඇය නිරූපණය කළ, සිනමාව වෙනුවෙන් ශරීරය පමණක් නොව සිය පවුල හා ආත්මයද පරිත්‍යාග කර, මහලු වයසට එළඹ, කිසිදු හව්හරණක් හෝ සමාජ ආරක්ෂණයක් නොමැතිව අසරණ වන කලාකාරියගේ භූමිකාව අපව කම්පනය කළා. අවසාන වරට මාලිනී දුටුවේ කලා ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ වැඩිහිටි වියේ ඛේදනීය ඉරණම සංකේතවත් වන භූමිකාවක් තුළින්. ඒ නිසාම මේ දිනවල සමාජ මාධ්‍යයේ ඇය ගැන සිදුවන සංවාදයට මැදිහත් වීමට හිත හදාගන්න අමාරුයි. මාලිනීගේ පමණක් නොව, ලංකාව වැනි පසුගාමී ධනේෂ්වර රටක අප කාගේත් ඉරණම ඊට වෙනස් නෑ.

 Malani 02 20131226

 

මාලිනී ෆොන්සේකා රංගනවේදිනියගේ භෞතික ශරීරය අදින් පසු අප ඉදිරියේ නැතත් ඇය අපේ ජීවිත කාලය පුරාම සිනමාව තුළින් අප සමග හිඳීවි. අපෙන් පසුව පරම්පරාවලටත් ඇය සිනමාවෙන් ලබා දුන් දේ ලැබේවි. මාලිනී අපේ පරම්පරාවේ චරිත හැඩගස්වා ගැනීමේදී අපට බොහෝ දේ දුන්නා.

ඒ සියල්ලට ස්තූතියි.

 

@පුබුදු ජයගොඩ Fb page

නවතම ලිපි