දේශීය ආදායම් සංශෝධන පනතට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී සිටින
ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කෙරෙන බවත්, ඔවුන් බදු ගෙවීමට යටත් වන බවත් නීතිපතිවරයා අද (මැයි 22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ගොනුකර තිබෙන පෙත්සම අද අභියාචනාධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මෙම දැනුම් දීම සිදුකළේ ය.
මෙම පෙත්සම අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන බව සඳහන් කළේ ය.
2022 අංක 45 දරන දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අර්ථකථනය කරනු ලැබ තිබෙන බවත් එය වැරදිසහගත බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
සිය සේවාදායකයින් සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු දීමනාවලට හිමිකම් නොකියන අතර කිසිදු සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය සේවා දායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩගත කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන අතර ඔවුන් ස්වාධීන සේවා සපයන්නන් යැයි පෙන්වා දුන්නේ ය.
2022 වසරේ සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් 2023 වසරේ ජනවාරි මස පළමු වන දා සිට රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
මෙම ගැටලුව හේතුවෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
ඒ අනුව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වලට තමන් සහය පළ කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.
ඉන් අනතුරුව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් එහි සේවකයින් වශයෙන් අර්ථකථනය කෙරෙන බව සඳහන් කළේ ය.
ඒ අනුව ඔවුන් බදු ගෙවීමට යටත් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ ය.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම ලබන 28 වන දා දක්වා කල් තැබුණු අතර එදින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුර කරුණු දැක්වීමට නියමිත ය.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බද්දක් (withholding tax) අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ පසුගිය මාර්තු මාසයේදී ය.
ඔවුන් පෙත්සමෙන් දන්වා ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවාගැනීමේ බද්දක් අය කර ගැනීමට තීරණය කර ඇති බව ය.
මෙම පෙත්සම මාර්තු 18 වන දා කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
'නීතියට පටහැනි යි'
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, 1983 වසරේ ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතික තලයේ ක්‍රීඩකයින් සමග ලිඛිත ගිවිසුම් අත්සන් කිරීම සිදුවුණේ, 1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව බව ය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් ජනවාරි මස 17 වන දා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව ජාතික තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එම ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් වශයෙන් වර්ගීකරණය කිරීමට තීරණය කළ බව ය.
එම තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, ජාතික තලයේ ක්‍රීඩකයින් කිසිදු අවස්ථාවක සේවක අර්ථ සාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇතුළු අරමුදල්වල සාමාජිකයින් නොවන බවත් කියා සිටියහ.
ඔවුන්ට එවැනි හිමිකම් නොමැති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
මීට අදාළව තමන් නීති විශාරදයින්ගෙන් නීති උපදෙස් ලබාගත් බවත්, තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව සේවා සපයන්නන් මිස එහි සේවකයින් නොවන බවට තමන්ට නීති උපදෙස් ලැබුණු බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
එම තත්ත්වය යටතේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවත්, මේ හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
ඒ අනුව, ජාතික තලයේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය හා ඒ මත ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥා නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
ඊට අමතරව, මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
@BBC