ශ්‍රී ලංකා දේශපාලනයේ 'නුගේගොඩ හංදියෙන්' නව සුළඟක් ආරම්භ වුවද, එම සුළඟට රටේ දේශපාලන භූමිය සැබවින්ම වෙනස් කළ හැකිද?
ජනක වංසපුර විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ පලකරන ලද මෙම විග්‍රහය, වත්මන් දේශපාලන සන්ධාන ගොඩනැගීම්, විශේෂයෙන් 'ඒකාබද්ධ විපක්‍ෂයේ' නැගීම සහ ඊට බලපාන විදේශ ආධාර පිළිබඳව සැක පහළ කරයි.
එසේම, වසරක් පුරා පැවති ජවිපෙ හි අසාමාන්‍ය ලෙස දීර්ඝ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් සැපයූ ආකාරය පිළිබඳව ප්‍රශ්න කරන මෙම ලිපිය, සමස්තයක් ලෙස ආණ්ඩුව සහ විපක්ෂය යන දෙපාර්ශවයම විදේශ බලවේගවල අතකොළු බවට පත්වීමේ අවදානම පෙන්වා දෙයි.
'රනිල් - රනිල්දාස' යුගලයේ කපටි දේශපාලන උපක්‍රම සහ එහි අරමුණු විග්‍රහයට ලක් කරන අතර, රනිල් වික්‍රමසිංහ නොමැතිව රට ගොඩනැගිය නොහැකි බවට සමාජයේ පැතිරී ඇති 'මිත්‍යාව' තරයේ ප්‍රතික්ෂේප කරයි.
අවසානයේදී, මෙම අවිනිශ්චිත තත්ත්වය හමුවේ ජාතිකවාදීන්ගේ සැබෑ කාර්යභාරය පිළිබඳව උපායමාර්ගික මඟ පෙන්වීමක් සපයන මෙම ලිපිය, ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රධාන බෙදීම 'ජාතිකවාදී - ජාතික විරෝධී' ලෙස වෙනස් විය යුතු බවට තර්ක කරයි. දේශපාලන ආකෘතිය තුළ 'තුන්වන බලවේගයකට' ඉඩක් නොමැති බැවින්, ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණය වීම වෙනුවට ශක්තිමත් වීම අත්‍යවශ්‍ය බවට මෙම ලිපිය මඟින් අවධාරණය කරයි.
නුගේගොඩ සුලං (ජනක වංසපුර)
නුගේගොඩ හංදියේ තියෙනවා හුලං කඩේ කියා කඩයක්. එකල ඊට ඒ නම හැදුනේ හුලං හැර අන් සියලු දේ එහි විකිණුව නිසාලු. මේ හැදෙන ඒකාබද්ධ විපක්‍ෂෙත් හැම දේම තියෙනවා. නමුත් නුගේගොඩින් පටන් ගත් පලියටම හැම සුලඟක්ම සුලි සුලඟක් වෙන්නේ නෑ. සමහර සුලි සුලං අනර්ථකාරීයි. නොබෝදිනකින් නුගේගොඩ පවත්වන්නට යෙදෙන ඒකාබද්ධ රැලිය එතරම් ප්‍රබල රැල්ලක් වේ යැයි සිතිය නොහැකියි. මෙරට මධ්‍යම පංතිය ලෙහෙසියෙන් සොලවන්න බැහැ. ඒ නිසා සුලඟ ඊලඟ ඡන්දය දක්වාම ඇදගෙන යන්නට නම් බොහෝ විදේශ ආධාර අවශ්‍ය වෙිවි.
ජවිපෙත් අවුරුද්දක් පමණ කාලයක් තිස්සේ විශාල ඡන්ද ව්‍යාපාරයක් කලා. මට මතක ඇති කාලයක කිසිම පක්‍ෂයක් විසින් ඡන්ද ව්‍යාපාරයක් නොකඩවා එතරම් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිහින් නැහැ. හෙට අනිද්දා වයස අවුරුදු හැටක් ලබන නිසා මට මතක ඇති කාලය බොහෝ දිග බව කිව යුතුයි. ඡන්ද කරන අය පවසන්නේ එවැනි ව්‍යාපෘති සඳහා ඉතා විශාල වියදමක් දැරිය යුතු බවයි. රනිල් බලයට පැමිණි වහාම මහ බැංකුව කොල්ල කෑවේ ඊලඟ ඡන්ද ව්‍යාපාරය සඳහා මුදල් උපයා ගන්නැයි කියා තිබෙනවා. නමුත් රනිල්ගේ 2015 ඡන්ද ව්‍යාපාරයවත් ජවිපේ ව්‍යාපාරය තරම් දිග එකක් වුනේ නැහැ. එවැනි විශාල ව්‍යාපෘතියක් කිරීම සඳහා ජවිපෙට මුදල් ලැබුන ආකාරය සහ එහි ප්‍රමාණයන් ගැන මහජනයාට දැන ගන්න විදිහක් නැහැ.
මේ හැදෙන විපක්‍ෂයත් විදේශ ආධාර මත හැදෙන විපක්‍ෂයක් නම් ඉදිරියේදී ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම විදේශ බලවලින් මෙහෙය වේවි. පරගලයේ සැලැස්ම නම් රනිලුත් රනිල් දාසත් මාරුවෙන් මාරුවට ආණ්ඩුව කිරීම විය යුතුයි. නමුත් මීට වසර පහකට පමණ පෙර තිබූ සැලැස්ම අනාගතයට කෙතරම් දුරට ගැලපෙනවාද යන්න ප්‍රශ්ණයක්.
රනිල් මොනවා කලත් සිංහල මිනිස්සු ඔහුට ජනාධිපතිවරණයක් දිනන්න තරම් ඡන්දය ලබා දෙන්නේ නැහැ. ඒබව රනිලුත් ඔහුගේ ආධාර කරුවනුත් දන්නවා. පරගලයෙන් පසු රනිල්දාස ලෑස්ති කෙරුනේ රනිල්ගෙන් පසු කරත්තය ඇදගෙන යෑමටයි. ඒ සඳහා විරුද්ධවාදීන් විනාශ කර පරිසරය සකසා දුන්නේ රනිල්මයි. අද මේ ඊනියා ඒකාබද්ධයට එක්වෙන බොහෝ දේශපාලකයින්ට ඉන්න හිටින්න තැනක් නැතිවෙන ලෙසට එවකට තිබුන දේශපාලන සංධාන විනාශ කර හැරියේ රනිල්දාසගේ දක්‍ෂකමකින් නොවෙයි. ඒ කපටි වැඩ කලේ රනිල්මයි. ඒ කලේ රනිල්දාස බලයේ පිහිටුවීමට නොවෙයි නම් වෙන කුමකටද? රනිලුත් රනිල්දාසත් එකම කාසියේ දෙපැත්තක් බව පැහැදිලි විය යුතුයි.
රනිල් නැතිව මේ රට ගොඩගත නොහැකියැයි සිතීම මිත්‍යාවක්. ඒ මිත්‍යාව ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකියැයි කීමට නොදෙවෙනි නැහැ. නමුත් අද රනිල්දාසත් ආණ්ඩුවේ හිඳිමින්ම ඒ මිත්‍යාව ප්‍රවර්ධනය කරමින් සිටිනවා. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපුන හර්ශ ද සිල්වා වැනි උගතුනුත් ඒ මිත්‍යාව තහවුරු කරනවා. රනිල් අසමත් පුද්ගලයෙක්. ඔහු කලේ ආර්ථිකය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ග්‍රහණයට නතු කිරීමයි. එය පරගලයේ උවමණාව සහ සැලැස්ම.
මිට වසර පහකට පෙර පරගලයේ සැලැස්ම හැදුනේ එවකට තිබූ දේශපාලන වාතාවරණය පදනම් කරගෙනයි. නමුත් ඒ වාතාවරණය අද වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. අද වෙනකොට චීනය ලෝක දේශපාලන සහ ආර්ථික බලයක් ගොඩනඟාගෙන තියෙනවා. එක්සත් රාජ්‍ය ඇතුළු බටහිර රටවල් ඉන්නේ විශාල ආර්ථික අර්බුදයක් ඉදිරියේ. ඒ නිසා පරගලය සැලසුම් කල බලවේග වලට එකල මොන උවමණාවක් තිබනද අනාගත සිද්ධීන් සමඟ ඒවා වෙනස් විය හැකියි. ඒ අනුව රනිල් රනිල්දාස සුසංයෝගයත් ජාත්‍යන්තර උවමණාවන්ට අනුව අනාගතයේදී වෙනස් විය හැකියි.
මේ අවිනිශ්චිත තත්ව හමුවේ ජාතිකවාදීන් කල යුත්තේ ජාතික ව්‍යාපාරය ශක්තිමත් කිරීම මිස ඊට නායකයින් සෙවීම හෝ අළුතින් පක්‍ෂ හැදීමට හෝ මේ හැදෙන ඒකාබද්ධ විපක්‍ෂයට විරුද්ධවීම හෝ පක්‍ෂවීම නොවේ. ජාතික ව්‍යාපාරය ප්‍රබල වුවොත් පමණයි මෙරට දේශපාලනයේ ප්‍රධාන බෙදීම ජාතිකවාදීද ජාතික විරෝධීද ලෙස බෙදෙන්නේ. ඒ බෙදීම ජනතාව පිළිගත් විටෙක ජාතික ව්‍යාපාරයට හැකිවේවි සුදුසු නායකයෙක් සහ පක්‍ෂයක් බලයට ගෙනෙන්න. එසේ නොවෙනතාක් කල් නායකයින් හෝ නව පක්‍ෂ ඉදිරියට ගෙන ඒමෙන් සිදුවෙන්නේ ජාතික ව්‍යාපාරය අනවශ්‍ය ලෙස දේශපාලනීකරනය වීමයි. වත්මන් දේශපාලන ආකෘතිය තුල තුන්වෙනි බලවේගයකට ඉඩක් නැහැ. ජවිපෙ තුන් වෙනි බලවේගයක් ලෙස පැවති කාලයේ ඊට ලැබුණේ 3% ඡන්දයක් පමණයි. ජාතික ව්‍යාපාරය තුන් වෙනි බලවේගයක් විය යුතු නැහැ.
(Janaka Wansapura fb page)

