කරු පරණවිතාන විසින් රචිත මෙම ලිපිය, 1971 ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ල ශ්‍රී ලංකාවේ
අභ්‍යන්තර දේශපාලන ස්ථාවරත්වයට පමණක් නොව, රාජ්‍යයේ උත්තරීතර විදේශ ප්‍රතිපත්තියට එල්ල කළ දරුණු බලපෑම පිළිබඳව ඔහු විසින් කෙරෙන දේශපාලනික කියවීමකි. ධනවාදයට එරෙහිව සමාජවාදය ස්ථාපිත කිරීමේ පරමාදර්ශී අරමුණින් දියත් වූ මෙම නැගීසිටීම නිමා වූයේ, එවකට පැවති සමාජවාදී-නැඹුරුවක් සහිත සමගි පෙරමුණු රජයට තම කීර්තිමත් 'නොබැඳි ප්‍රතිපත්තිය' බිලිදෙමින් ලෝකයේ ප්‍රතිවිරුද්ධ බල කඳවුරු (ඇමරිකාව මෙන්ම සෝවියට් දේශය ඇතුළු) සියල්ලෙන්ම එකවර ආයුධ අයැදීමට සිදුවීමේ දේශපාලන උත්ප්‍රාසය නිර්මාණය කරමිනි. ජාතික ආරක්ෂාව පිළිබඳ අභ්‍යන්තර අර්බුදයක් හමුවේ, ස්වාධීන රාජ්‍යයක් තමන්ගේ හුදු පැවැත්ම උදෙසා 'අයැදින තත්ත්වයකට' (Supplicant state) පත්වීමේ ඛේදවාචකය සහ ඒ හරහා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මුහුණ දුන් බරපතළ කඩාවැටීම අවබෝධ කරගැනීමට මෙම විග්‍රහය ප්‍රවේශයක් සපයයි.

මාලිමා මන්ත්‍රීවරියක් පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය නිර්මාණය කිරීමට අප සමත් වු බවයි. 1971 කැරැල්ල සිදුවූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් 1970 දී බිහිවු රජය සන්නද්ධ ප්‍රහාරයකින් බිඳ දමා සමජවාදී රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින්ය. 1971 සිදුකළ එම පහර දීම තම පක්ෂයට සිදුවූ 'වැරදීමක්' බව අමාත්‍ය ලාල්කාන්ත මහතා මෑතකදී ප්‍රකාශ කළේය.
නමුත් තත්වය එතරම් සරල නැත. 1969 දශකය අවසාන කාලය්දී ආයුධ එක්රැස් කරමින් පක්ෂය සන්නද්ධ කිරීම ජවිපෙ විසින් සාධාරණය කළේ ඩඩිලි සේනානායක මහතා මැතිවරණ නොපවත්වා ඒකාධිපතියකු වනු ඇති බවත් එම ඒකාධිපතිවාදයට එරෙහිව සන්නද්ධව සටන් කිරීමට සිදුවනු ඇති බවත් බවත් පැවසීමෙනි. නමුත් ඩඩ්ලි සේනානායක මහතා මැතිවරණය පවත්වා සාමකාමී ලෙස බලය මාරුවීමකට ඉඩදී ප්‍රජාන්ත්‍රවාදියකු ලෙස විශ්‍රාම ගියේය.

නමුත් එකතු කළ තුවක්කු පත්තු කළ යුුතු විය. ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා ඇසුරින් කෙටිකතාවක ලක්ෂණ පැහැදිලි කරන විට කියන්නේ කෙටිකතාවක තුවක්කුවක් විස්තර කරන්නේ නම් එය පත්තුවීමද සිදුවිය යුතු බවය.
1960 දශකයේ ජවිපෙ බිහිවුයේ ආර්ථික හා කුල පීඩනය යන දෙයාකර පීඩනයට ලක් වූ ගැමි සිංහල බෞද්ධ තරුණයන්ගෙන් සමන්විත වාමාංශික දේශපාලන පක්ෂයක් වශයෙනි. එහි දර්ශනය වුයේ ධනපති ක්‍රමයට එරෙහිව සමාජවාදී විප්ලවය අනිවාැර්ය බවත්, නමුත් ධනපති පංතිය ස්ව කැමැත්තෙන් බලය අත්නොහරින බවත්, ඒ නිසා එය සන්නද්ධව පෙරලා දැමිය යුතු බවත්ය. සමගි පෙරමුණු රජයද ධනේෂ්වර රජයකි. ඉහත තර්කය සමගි පෙරමුණට එරෙහිවද අදාළ විය.

කැරැල්ල නිසා අස්ථාවර වන්නට ගිය රාජ්‍ය රැකගැනීම සඳහා සිරිමා බණ්ඩාරනායක මැතිනියට තමා අනුගමනය කළ නොබැඳි පිළිවෙත පසෙක දමා ලෝකයේ සියලු බල කඳවුරු වලින් ආධාර ඉල්ලන්නට සිදුවිය. එම ආධාර ලැබිණි.
එහෙත්,1971කැරැල්ලෙන් ලොකුම වෙඩි උණ්ඩයක් වැදුණේ ඇයගේ නොබැඳි ප්‍රතිපත්තියටය. ආධාර ඉල්ලු හැම රටක්ම පාහේ එදා අධාර කළද සිරිමාවෝ මැතිණිය අමෙරිකාව ආදී රටවල සහ ඒවායේ ක්‍රියාත්මක වු ජනමාධ්‍ය වල පරිහාසයට ලක්වූවාය.
1971 වන විටලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පදනම් වුයේ අධිරාජ්‍ය විරෝධය, බලකඳවුරු වලට එකතු නොවීම සදාචාරාත්මක මුලධර්ම මතය.
71 කැරැල්ලත් සමග එම සදාචාරාත්මක ස්ථාවරය පසෙක ලා තම පැවැත්ම සඳහා ඕනෑම බලවතෙකුගේ පිහිට පැතීමට රජයට සිදුවිය. මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර පෙන්වා දෙන පරිදි මෙය ශ්‍රී ලංකාව නොබැඳි රාජ්‍යයක් සිට අයැදින රාජ්‍යයක් (Supplicant state) දක්වා පරිවර්තනය වු අවස්ථාවක් ලෙසිනි.
මේ තත්ත්වය ගැන 1971 අප්‍රේල New York Times පුවත් පත පැවසුවේ
"තමන්ගේම තරූණයන් මර්දනය කිරීමට ලංකාවේ සමාජවාදී රජය අමෙරිකානු ධනවාදීන්ගෙන් සහ සෝව්යට් කොමියුනිස්ට්වාදීන්ගෙන් එකවර අවි ආයුධ ඉල්ලීම දේශපාලන උත්ප්‍රාසයක්"
වශයෙනි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව කොළඹින් යවනු ලැබු තානාපති කාර්යාල වාර්තා වල සඳහන් වුයේ, " බණ්ඩාරනායක මැතිණිය ඇගේ දෘෂ්ටිවාදී මිතුරන් පාවා දුන්නේ අමෙරිකානු හෙලිකොප්ටර් අමතර කොටස් වෙනුවෙන් ( sovereignty trade for spare parts) වශයෙනි.
නොබැඳි පිළිවෙත යනු බලවතුන්ගෙන් ස්වාධීන වීම යැයි කීවද තීරණාත්මක මෙහොතකදී එම බලවතුන්ගේම අවි ආයුධ මත යැපීමට සිදුවීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ඇති නොගැඹුරු බව (shallowness) යැයි තවත් විග්‍රහයක සඳහන් විය.
The Economist සගරාව මෙසේ සඳහන් කර තිබුණි.
" ලංකාවේ කැරැල්ල අමුතු ආකාරයේ ජාත්‍යන්තර සන්ධානයක් නිර්මාණය කර ඇත. නොබැඳි පිළිවෙතේ ප්‍රධාන පූජකවරිය වන ඇයව බලයේ තබාගෙන සිටින්නේ බ්‍රිතාන්‍ය රයිපල්, සෝවියට් මිග් යානා , ඉන්දීය හෙලිකොප්ටර් සහ ඇමෙරිකානු සැපයුම් ආධාරවල අමුතු මිශ්‍රණයකිනි."
1971 කැරැල්ලෙන් පසු බණ්ඩාරනායක මැතිණිය නොබැඳි සමුළුව ලංකාවේ පැවැත්වූවේ මේ සියලු ජාත්‍යන්තර අපහාස පරිහාස මධ්‍යයයේය.

