SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලන සන්දර්භය තුළ, විශේෂයෙන්ම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

සංශෝධනය සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ විපක්ෂය සහ විරෝධතාකරුවන් දක්වන ප්‍රතිචාරය පිළිබඳව මෙම "ස්පාටකස්" ලිපිය ඉතා ගැඹුරු විචාරයක් ඉදිරිපත් කරයි. ලකානියානු මනෝවිශ්ලේෂණ න්‍යාය සහ දේශපාලන දර්ශනය පදනම් කරගනිමින් රචිත මෙම ලිපිය, ප්‍රජාතන්ත්‍රවාදය යනු සදාචාරාත්මක සුසංයෝගයක් නොව, බලය සහ ප්‍රචණ්ඩත්වය නීත්‍යානුකූලව කළමනාකරණය කරන ව්‍යුහයක් බව පෙන්වා දෙයි. නීතිමය වශයෙන් අභියෝග කිරීමට නොහැකි වූ විට, විරෝධතාකරුවන් "සදාචාරාත්මක භූමියකට" පසුබසින්නේ කෙසේද යන්නත්, එමඟින් ඔවුන් නොදැනුවත්වම පවතින පද්ධතියම තහවුරු කරන ආකාරයත් මෙමඟින් මැනවින් විග්‍රහ කෙරේ. සැබෑ දේශපාලන විමුක්තිය යනු සදාචාරය අයැදීම නොව, පවතින සංකේතීය රටාව බිඳ දමන රැඩිකල් ක්‍රියාවක් බව ලිපිය අවධාරණය කරයි.

 

 

ප්‍රජාතන්ත්‍රවාදය යනු "ආචාරධාර්මික එකඟතා" මත පවතින සුසංයෝගී ව්‍යුහයකි - (ස්පාටකස් ලිපි)

 

 

22 වන සංශෝධනය ඇතුළු වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී බව පෙරකදෝරු සංගමය, විපක්ෂය මෙන්ම අනෙකුත් විමතික කණ්ඩායම් සහ පුද්ගලයින් පවසති. එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදය තුළ කළ යුතුව ඇත්තේ එම ප්‍රජාතන්ත්‍ර විරෝධයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. නමුත් ඔවුන් එවැනි ක්‍රියාමාර්ගවලට යොමු නොවන්නේ එය කළ නොහැකි බැවිනි.

 

 

ඔවුන් අධිකරණමය ක්‍රියාමාර්ග නොගන්නේ නීතිය විසින්ම ජවිපෙ ක්‍රියාවන්ට තාක්ෂණික වලංගුභාවයක් ලබා දී ඇති බැවිනි (ලිඛිත නීතිය කිසිවිටෙකත් ස්වාධීන හෝ සදාචාරාත්මක සංස්ථාපිතයක් නොවේ; සෑම නීතිමය පද්ධතියක් තුළම, එහි පැවැත්ම තහවුරු කරන අසභ්‍ය සුපර් ඊගෝ අතිරික්තයක් (obscene superego injunction) පවතී).

 

 

පාලක බලය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ (ක්‍රියාත්මක වීමට හැකි අනිවාර්ය ආකාරය) නීතිය උල්ලංඝනය කරමින් නොව, නීතියේ ඇති හිඩැස් සහ ව්‍යවස්ථාපිත බලතල උපයෝගී කරගනිමින් තමන්ගේ අභිමතය (jouissance / power) සාක්ෂාත් කරගනිමිනි.

 

එම නිසා, විරෝධතාකරුවන් නීතිය ඉදිරියේ අසරණ වන්නේ පද්ධතියේ ඇති "අනීතික බව" පද්ධතියේම නීතිය තුළ කාවැදී ඇති බැවිනි.

 

නීතිමය මාවතක් නොමැති කල විරෝධය පෑම සහ මොර දීම යනු 'හිස්ටීරියානු කතිකාවට' (hysteric's discourse) තුළ ස්ථානගත වීමයි.

 

 

ආණ්ඩුව හෝ බලය ක්‍රියාත්මක වන්නේ ස්වාමි සංඥාකාරකය ලෙසයි (ස්වාමියාගේ කතිකාව/master's discourse). ඔවුන් නීතිය සම්පාදනය කරන්නේ තම බලය පවත්වා ගැනීමටය (අනිවාර්ය ලෙසම කළ යුතු වීම). එවිට විරෝධතාකරුවන් ස්වාමියා ඉදිරියේ කෑගසමින් පෙන්වන්නේ ස්වාමියාගේ නොහැකියාව, වංචාව සහ අසම්පූර්ණත්වයයි (හිස්ටීරිකයාගේ කාර්යභාරය). ඔවුන් එවිට ආණ්ඩුව විසින් මෙහෙයවන රාජ්‍යය/ප්‍රජාතන්ත්‍රවාදය අභියෝග කරමින් පවසන්නේ, "ඔබ කියන ප්‍රජාතන්ත්‍රවාදය සැබෑවක් නොවේ... ඔබ වංචා සහගතය!" යනුවෙනි. නමුත් එහි පරස්පරය වන්නේ හිස්ටීරිකයා ස්වාමියාට අභියෝග කළද, රහසින් බලාපොරොත්තු වන්නේ වඩාත් පරමාදර්ශී, සදාචාරාත්මක "යහපත් ස්වාමියෙකු" බිහිවීම බවයි.

 

 

ලිබරල් සම්ප්‍රදාය තුළ ප්‍රජාතන්ත්‍රවාදය යනු සැබවින්ම "ආචාරධාර්මික එකඟතා" මත පවතින සුසංයෝගී ව්‍යුහයකි. එසේම එය නීතිය පාලනය කරන බාහිර "මානුෂීය මූලධර්මයකි". එවිට එය විශ්වාස කරන්නන්ට අනුව "සදාචාරාත්මක සාධාරණත්වය සහතික කරන" ස්ථාවර අවසාන ආයතනයක් පවතින බව ඔවුන්ගේ පිළිගැනීමයි.

 

 

ජී.එල්. පීරිස් ප්‍රමුඛ නඩය එක්සත් ජාතීන්ගේ සංවිධානයට, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්ට සහ තවත් විදෙස් ආයතනයන්ට මෙන්ම මහා නාහිමිවරුන්ට පැමිණිලි කිරීම සඳහා බැරි මරගාතේ බඩගාන්නේ එබැවිනි. එවිට එම ආයතන විමසා බලන්නේ ආණ්ඩුවේ ක්‍රියාව ධනේශ්වර ප්‍රාග්ධන තර්කනයට එකඟ ද නැද්ද යන්න සහ ද්විපක්ෂ යාන්ත්‍රණයේ පැවැත්මට එකඟද නැද්ද යන්නයි. එසේ විමසා බලන එම ආයතන ඔවුන්ගේ නිර්ණායකවලට එකඟ නොවේ නම් රටේ ආර්ථික අර්බුද ඇති කළ හැකි ක්‍රියාමාර්ග කරා අවතීර්ණ වේ. එසේ වන්නේ සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු පද්ධතිය තුළම විසඳිය නොහැකි අභ්‍යන්තර 'ප්‍රතීඝතා' (antagonism in the REAL) සහිත ව්‍යුහයක් බැවිනි.

 

 

ප්‍රජාතන්ත්‍රවාදය යනුම බලය, ප්‍රචණ්ඩත්වය සහ 'ප්‍රතීඝතා' නීත්‍යානුකූලව කළමනාකරණය කරන 'ස්වාමි හැඟවුම්කාරකයකි'. ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් නීතියේ අකුරටම ගරු කරමින් පවා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම උල්ලංඝනය කළ හැකිය.

 

 

විරෝධතාකරුවන් "ආචාරධර්ම" ඉල්ලා කෑගසන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය යනු ස්වභාවයෙන්ම සදාචාරාත්මක පද්ධතියක් නොවන බව පිළිගැනීමට ඇති බිය නිසාය. ඔවුන් උත්සාහ කරන්නේ පද්ධතියේ ඇති 'අඩුව' (the lack) සදාචාරය නමැති පරිකල්පිතයෙන් වසා දැමීමටය.

 

 

22 වන සංශෝධනයට අදාළව විරෝධතාකරුවන් තම සටන "නීතිමය භූමියේ" සිට "සදාචාරමය භූමියට" රැගෙන ගොස් ඇති බව පැහැදිලිය. අපට අනුව නම් මෙම "සදාචාරමය භූමිකාව" (moral ground) යනු සැබෑ විමුක්තිදායක දේශපාලන ක්‍රියාවක් නොව, පද්ධතිය විසින්ම පවත්වාගෙන යන තවත් එක් 'දෘෂ්ටිවාදීමය' උගුලකි.

 

 

පද්ධතියක සැබෑ ව්‍යුහාත්මක හෝ දේශපාලන ප්‍රතීඝතා විසඳීමට හෝ ඒවාට මුහුණ දීමට නොහැකි වූ විට, දේශපාලනය "සදාචාරාත්මක ගැටලුවක්" බවට ඌනනය කරනු ලැබේ.

 

දේශපාලන බල අරගලය "හොඳ සහ නරක" හෝ "දූෂිතයන් සහ අවංකයන්" අතර ගැටුමක් ලෙස සදාචාරාත්මක භාෂාවකින් ප්‍රතිනිර්මාණය වේ (චම්පික රණවක මේ වන විට උත්සාහ දරනුයේ ඒ සඳහාය).

 

 

නීතිමය හෝ ව්‍යුහාත්මක ලෙස ආණ්ඩුව පරාජය කළ නොහැකි වූ විට, "ආණ්ඩුවට ලැජ්ජාවක් නැත", "ඔවුන් සදාචාර විරෝධී ය" යනුවෙන් කෑගැසීම යනු සැබෑ දේශපාලන බෙලහීනතාවය වසා ගැනීමට කරන උපක්‍රමයකි.

 

 

විරෝධතාකරුවන් පෙනී සිටින්නේ හේගල් සහ ලකාන් විස්තර කරන "උදාර භාවය" (the beautiful soul) නම් මනෝභාවයෙනි. "උදාර භාවය" සෑම විටම පවතින පද්ධතියේ දුෂ්ටකම, දූෂණය සහ සදාචාර විරෝධී බව හෙළා දකී. තමන් පිරිසිදු, සදාචාරාත්මක සහ කිලිටි නොවූ පාර්ශ්වය ලෙස ස්ථානගත කර ගනී.

 

නමුත් මෙහි පරස්පරය, එනම්, "උදාර භාවය" වටහා නොගන්නා කරුණ නම්, ඔවුන් හෙළා දකින පද්ධතියේ පැවැත්ම තහවුරු කිරීමට ඔවුන්ගේම මෙම නිෂ්ක්‍රීය සදාචාරාත්මක විරෝධය උදව් වන බවයි. පද්ධතියට මෙවැනි සදාචාරාත්මක විවේචන දිරවා ගැනීම ඉතා පහසුය. ඒ ඒවායින් පවතින බල ව්‍යුහයට කිසිදු තර්ජනයක් එල්ල නොවන බැවිනි.

 

 

සාම්ප්‍රදායික ලිබරල් සදාචාරමය පදනම වන්නේ "යහපත", සමාජ සම්මුතීන් සහ මානව හිමිකම් පිළිබඳ සංකල්ප මත පදනම් වීමයි. ඒ අනුව එහි ස්වභාවය වන්නේ ස්වාමියා ඉදිරියේ වැළපීම සහ සදාචාරමය යුක්තිය අයැදීමයි (දිගින් දිගටම සැමදා සිදු වූයේ මෙයයි). අවසානයේ සිදු වන්නේ නීතියේ සීමාවෙන් පිටත (නීතිමය වශයෙන් ප්‍රශ්න කළ නොහැකි බැවින්) සිට ආණ්ඩුවට ශාප කරන විරෝධතාකරුවන් ලෙස රඟ දක්වන පිරිස ක්‍රමයෙන් වැඩි වීමයි. නමුත් සැබෑ විමුක්ති දේශපාලන ක්‍රියාව වන්නේ තම 'ආශාව' පාවා නොදීම, පවතින 'සංකේත රටාව' (symbolic order) බිඳ දමන "රැඩිකල් ක්‍රියාවකි".

 

 

ක්‍රියොන් රජුගේ නීතියට පමණක් නොව, මුළු සමාජ එකඟතාවටම එරෙහිව තම 'ආශාව' වෙනුවෙන් දිවි පිදූයේ සොෆොක්ලීස්ගේ ඇන්ටිගනිය.

 

 

විරෝධතාකරුවන්ගේ සටන පවතින්නේ ඇන්ටිගනි වැනි "රැඩිකල් ආචාරධාර්මික ක්‍රියාවක්" තුළ නොව, පද්ධතිය ඇතුළේම සුරක්ෂිතව සිටිමින් කරන "ලිබරල් සදාචාර කෝපය" තුළය.

 

 

විරෝධතාකරුවන් සදාචාරාත්මකව මොර දෙන්නේ කාට ඇසෙන්නටද? ඔවුන් අමතන්නේ පරිකල්පිත 'මහා අනෙකාටය' (the big Other). එනම්, ජාත්‍යන්තර ප්‍රජාව, ශිෂ්ටසම්පන්න ලෝකය හෝ ඉතිහාසයේ විනිශ්චයයි.

 

ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ සදාචාරාත්මක නිවැරදිභාවය කොතැනක හෝ ලියවෙනු ඇතැයි කියාය. එහෙත් 'මහා අනෙකා නොපවතී'. සදාචාරය ක්‍රියාත්මක කර දෙන විශ්වීය විනිසුරුවරයෙකු නොමැත.

 

 

සදාචාරමය සීමාව තුළ සටන් කිරීම යනු සැබෑ දේශපාලන අරගලය මඟහරිමින්, පරාජය කලින්ම භාරගෙන තමන්ගේ "හෘද සාක්ෂිය පිරිසිදුව තබාගැනීමට" දරන උත්සාහයකි.

 

 

ස්පාටකස් ලිපි

නවතම ලිපි