ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්ත සලකුණකි. එහෙත් මෑතකාලීනව
එම පක්ෂය තුළ හටගත් අභ්‍යන්තර අර්බුද සහ නිලතල කොල්ලකෑම් හේතුවෙන් පක්ෂයේ සාමාජිකයින් මෙන්ම සමස්ත ජනතාව ද දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටියහ. කෙසේ වෙතත්, කොළඹ අතිරේක දිසා විනිසුරු ජනක කැකිරිදෙනිය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද අතුරු තහනම් නියෝගය (DSP-00407-24) හුදෙක් නඩු තීන්දුවක් පමණක් නොව, ශ්‍රීලනිපයේ නීත්‍යානුකූල හිමිකාරීත්වය පිළිබඳ පැහැදිලි නෛතික සිතියමක් රට හමුවේ දිගහැරීමකි.
එම නියෝගයේ අන්තර්ගතය සහ විනිසුරුවරයා විසින් මතුකර ඇති ප්‍රබල නෛතික තර්කයන් අධිකරණ වාර්තාවෙන් තහවුරු කරගනිමින් ගැඹුරින් කියවා බැලීමේදී, පක්ෂයේ මහලේකම් ධූරයේ නිත්‍යනුකූල හිමිකාරීත්වය අන් කිසිවෙකුටත් නොව දයාසිරි ජයසේකර ටම හිමි බව කිසිදු සැකයකින් තොරව පැහැදිලි වේ.
ව්‍යවස්ථාවට පටහැනි 'වැඩබලන' පත්වීම් සහ බලශූන්‍ය තීරණ
මෙම අර්බුදයේ කේන්ද්‍රීය ගැටලුවක් වූයේ වර්තමානයේ පක්ෂයේ බලය අත්පත් කරගෙන සිටින බව පවසන 'වැඩබලන' පාර්ශවයේ නීත්‍යානුකූලභාවයයි. අතිරේක දිසා විනිසුරුවරයා සිය නියෝගය හරහා එම පදනම සහමුලින්ම ප්‍රශ්න කර ඇත. විශේෂයෙන්ම 2024 අප්‍රේල් 08 වන දින පවත්වන ලදැයි කියන දේශපාලන මණ්ඩල රැස්වීම නීතිය ඉදිරියේ වලංගු නොවන බව අධිකරණය තර්කානුකූලව පෙන්වා දෙයි. පක්ෂ ව්‍යවස්ථාවේ 16(x) වගන්තිය ප්‍රකාරව, සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව දේශපාලන මණ්ඩලයේ කිසිදු රැස්වීමක් නොපැවැත්විය යුතුය.
එම නීති විරෝධී රැස්වීමෙන් පත් කරගත් 'වැඩ බලන' නිලධාරීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අතිරේක දිසා විනිසුරුවරයා ලබා දෙන්නේ ඉතා තීරණාත්මක නිරීක්ෂණයකි. නඩු වාර්තාවේ නීතිමය උධෘතයක් ලෙස එය මෙසේ සටහන්ව ඇත.
"1 වන විත්තිකරු එකී රැස්වීම මඟින් එම පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත්වුයේ යැයි සහ 17 වන විත්තිකරු වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස පත් වූයේ යැයි සලකා එම වැඩ බලන සභාපතිවරයා ලෙස සහ වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස යම් තීන්දු තීරණ ගන්නා ලද්දේ නම් ඒවා ද බල ශුන්‍ය බව පෙනී යන තත්ත්වයකි."
මෙයින් ගම්‍ය වන පරම සත්‍යය නම්, වත්මන් වැඩබලන සභාපති හා ලේකම් පාර්ශවය ගන්නා ලද සියලු තීරණ නීතිය ඉදිරියේ කිසිදු වලංගුභාවයක් නොමැති 'බල ශුන්‍ය' (Null and Void) තීරණ බවයි.
විධිමත් විනය පරීක්ෂණයක් නැතිව නෙරපීම නීති විරෝධියි
මෙම නෛතික පසුබිම මත, දයාසිරි ජයසේකර මහතා මහලේකම් ධුරයෙන් නෙරපීමේ ක්‍රියාවලිය ද නිරායාසයෙන්ම අභියෝගයට ලක් වේ. පක්ෂයක ප්‍රධාන නිලධාරියෙකුගේ තනතුරු අහිමි කිරීමේදී පක්ෂ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන දැඩිව අනුගමනය කළ යුතුය. ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ 16(ix) වගන්තියට අනුව, යම් සාමාජිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පෙර, නිදහසට කරුණු විමසා විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුම වේ. එහෙත්, නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. විනිසුරුවරයා සිය නියෝගයේදී පැහැදිලිවම දක්වන්නේ මෙවැන්නකි.
"විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා ගෙන එම තැනැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට දේශපාලන මණ්ඩලයට බලය තිබේ. එහෙත් මෙතෙක් එකී පියවර ගෙන දේශපාලන මණ්ඩලය විසින් පැමිණිලිකරුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම හෝ ඔහු එම පක්ෂයෙන් නෙරපා හැරීම සිදුකර ඇති බවට සාධක නැත."
ව්‍යාජ නිලධාරීන්ගේ ලිපිවලට නීතියෙන් පිළිගැනීමක් නෑ
තවද, බල රහිත පුද්ගලයින් විසින් ගනු ලබන තීරණවලට නෛතික පැවැත්මක් නොමැති බව තහවුරු කරමින්, දයාසිරි ජයසේකර මහතාට යොමු කළ අත්හිටුවීමේ ලිපිවල වලංගුතාවය ද අධිකරණය විසින් නිශ්චිතවම ප්‍රතික්ෂේප කර ඇත. විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් තබන සටහන පහත පරිදි වේ.
"මෙම නියෝගයේ පෙර සඳහන් කළ කරුණු අනුව 1 වන විත්තිකරුගේ වැඩ බලන සභාපති ධුරය හෝ සභාපති ධුරය නීත්‍යානුකූල බවට සෑහීමකට පත්විය නොහැකි බැවින්, 1 වන විත්තිකරු විසින් පැමිණිලිකරුට යොමු කර ඇති 2024.07.03 දිනැති එම P දරණ ලිපියේ වලංගුතාවයක්ද පෙනී නොයයි."
මේ අනුව ඉතා පැහැදිලි වන්නේ, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපා හැරීම සඳහා ගෙන ඇති සියලු පියවරයන් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, නීත්‍යානුකූල බලයක් නොමැති පුද්ගලයින් විසින් සිදු කර ඇති අත්තනෝමතික ක්‍රියාවන් බවයි. සාධාරණත්වයේ සහ යුක්තියේ මූලධර්ම අනුව බැලූ බැල්මට පෙනෙන ජයගත හැකි නඩුකරයක් දයාසිරි ජයසේකර සතු බව අධිකරණය පිළිගෙන ඇත්තේ එබැවිනි.
එළැඹෙන නඩු තීන්දුව සහ ශ්‍රීලනිපය යළි ගොඩනැගීමේ ඓතිහාසික වගකීම
මෙම ගැඹුරු නෛතික විශ්ලේෂණය සහ විනිසුරුවරයාගේ පැහැදිලි නිරීක්ෂණයන් දෙස බැලීමේදී, එළැඹෙන නඩු දිනය දා කොළඹ සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණයේදී ලබාදීමට නියමිත තීරණාත්මක අධිකරණ තීන්දුව මගින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ගේ නෛතික අයිතිය ස්ථිරසාර ලෙස තහවුරු වනු ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඒකමතික මතය වී තිබේ.
අත්තනෝමතික සහ ව්‍යවස්ථා විරෝධී පාලනයක් යටතේ ඛණ්ඩනය වී, දේශපාලනිකව අතරමං වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි නඟා සිටුවීමේ දැවැන්ත වගකීම දැන් ඉතිරිව පවතී. එළැඹෙන 30 දින ප්‍රකාශයට පත්වන අධිකරණ තීන්දුවත් සමග පක්ෂය වෙලාගෙන තිබූ මෙම කෘත්‍රිම නෛතික ගැටගැහීම් ලිහී යනු ඇත. ඉන්පසුව, දැඩි පසුබෑමකට ලක්ව ඇති ශ්‍රීලනිපය යළි ප්‍රතිසංවිධානය කිරීමේ සහ ගොඩනැගීමේ ඓතිහාසික හා භාරදූර කාර්යභාරය නිතැතින්ම පැවරෙන්නේ නීත්‍යානුකූල මහලේකම්වරයා වන දයාසිරි ජයසේකරගේ කරමතටය. එය හුදෙක් එක් පුද්ගලයෙකුගේ නීතිමය ජයග්‍රහණයක් පමණක් නොව, මෙරට ප්‍රබල දේශපාලන පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය යළි ස්ථාපිත කරමින්, පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු දල්වන තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු නිසැකය.
#නිරෝමි සුබ්‍රමනියම්

