මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර විසින් රචිත පහත ලිපිය, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා
මූල්‍ය අර්බුදයේ යථා ස්වභාවය සහ ආණ්ඩුවේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය තීරණවල ප්‍රායෝගික බලපෑම පිළිබඳව සිදුකළ ගැඹුරු විවරණයකි. විශේෂයෙන්ම 2026 අංක 02 දරන මූල්‍ය නියෝග හරහා අපනයනකරුවන්ට පනවා ඇති දින 30ක විදේශ විනිමය පරිවර්තන සීමාව සහ ඒ හරහා සමස්ත ආර්ථිකයට එල්ල වන කෙටිකාලීන මෙන්ම දිගුකාලීන අහිතකර ප්‍රතිවිපාක මෙහිදී කේන්ද්‍රීයව සාකච්ඡාවට ලක්වේ.
අපනයනකරුවන්ට තම විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා ලබාදී තිබූ දින 90ක කාලය දින 30 දක්වා හදිසියේ අඩු කිරීම මගින්, දේශීය මූල්‍ය අස්ථාවරත්වය මෙන්ම විදේශ ආයෝජකයන්ට ඉන් ලැබෙන සෘණාත්මක පණිවිඩය පිළිබඳව මෙහිදී මැනවින් පෙන්වා දෙයි. එසේම, අමුද්‍රව්‍ය ආනයනය සඳහා විදේශ විනිමය අවශ්‍ය වන ඇඟලුම් වැනි ප්‍රමුඛ කර්මාන්තවලට මෙම සීමාවන් මගින් එල්ල වන දැඩි පීඩනයද ලිපිය හරහා සාකච්ඡා කෙරේ. මීට අමතරව, ආර්ථිකය ස්ථාවර බවට දේශපාලන අධිකාරිය සිදුකරන ප්‍රකාශ සහ කෝවිඩ් සමයටත් වඩා දැඩි මූල්‍ය නීති පැනවීමට මහ බැංකුවට සිදුවීම අතර ඇති පරස්පරතාව විවරණය කරන කතුවරයා, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත ඉහළ දැමීම සහ රන් උකස් සීමා කිරීම හරහා මධ්‍යම පන්තියට සහ ගොවි ජනතාවට එල්ල වී ඇති සමාජ-ආර්ථික පීඩනය පිළිබඳවද අවධාරණය කරයි.
සමස්තයක් ලෙස ගත් කල, ආර්ථික අර්බුදයකට පිළියම් සෙවීමේදී තාවකාලික පැලැස්තර විසඳුම් මත යැපීම වෙනුවට දීර්ඝකාලීන දැක්මකින් යුත් සහ ජනතා පීඩනය අවම කරන විධිමත් ප්‍රතිපත්තිවල අවශ්‍යතාව මෙම ලිපිය මගින් පැහැදිලිව ගෙනහැර දක්වා තිබේ.

ආර්ථික අර්බුදය දරුණු අතට! - මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
ආණ්ඩුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර ගනු ලබන තීරණ සහ ප්‍රකාශයට පත් කරනු ලබන නිවේදන හේතුවෙන් රටේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව බරපතළ අවිනිශ්චිතතාවක් ගොඩනැගෙමින් පවතින බව පෙනී යයි. ජූනි 10 වැනිදා නිකුත් කළ 2026 අංක 02 දරන මූල්‍ය නියෝග මගින් ශ්‍රී මහ බැංකුව විසින් රටේ අපනයනකරුවන් විසින් රට තුළට ගෙන එනු ලබන විදේශ විනිමය සම්බන්ධයෙන් නව නීති පනවා තිබේ.
ඊට පෙර අපනයනකරුවන්ට තම අපනයන වෙනුවෙන් ලැබෙන විදේශ විනිමය ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දින 90ක කාලයක් ලබා දී තිබුණි. එසේ වුව ද ඉහත නිවේදනය මගින් එම කාලය දින 30ක් දක්වා සීමා කර තිබේ. එහි සරල අදහස වන්නේ අපනයනකරුවන් විසින් භාණ්ඩ හෝ සේවා අපනයනය කර රටට ගෙනෙනු ලබන ඩොලර්, එසේ ගෙනැවිත් දින 30ක් ඉක්මවීමට පෙර ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමට ගනු ලැබූ උත්සාහය පිළිබඳව මීට පෙර මෙම ලිපි මගින් සාකච්ඡා කරනු ලැබීය. ශ්‍රී මහ බැංකුව මෙරට විනිමය නියෝජිත ආයතන සමග රැස්වීමක් පවත්වා ඩොලරයේ වටිනාකම සම්බන්ධයෙන් බලපෑම් කළ ආකාරය එහි දී සාකච්ඡා විය. පැවැතිය යුතු විනිමය අනුපාතය සම්බන්ධයෙන් එහිදී මහ බැංකුව මෙම ආයතනවලට දන්වනු ලැබුව ද, එම නියමයට අනුව විනිමය වෙළෙඳපොළ ක්‍රියාත්මක වූයේ ඉතා කෙටි කාලයක් පමණි. නැවත වරක් රුපියල කඩා වැටෙන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහත කී දින තිහේ රෙගුලාසිය පැනවීමට කටයුතු කළ බව පෙනී යයි.
කෝවිඩ් ව්‍යසනය අවස්ථාවේදී ද අපනයන ආදායම රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා නිශ්චිත කාලයක් නියම කරමින් රෙගුලාසි පැනවූ අවස්ථා තිබුණි. එසේ වුව ද එම අවස්ථාවලදී සියයට 25ක විදේශ විනිමය ප්‍රමාණයක් තමන් ළඟ රඳවා ගැනීමට අපනයනකරුවන්ට අවස්ථාව සලසා දී තිබුණි. එහෙත් මෙවර නිකුත් කර ඇති නිවේදනය මගින් මහ බැංකුව නියම කර ඇති කරුණුවලට වියදම් කරන මුදල් හැර අනෙකුත් සියලු විදේශ මුදල් රුපියල්වලට පරිවර්තනය කළ යුතු වේ.
අපනයනකරුවන් විසින් තමන් රටට ගෙන එනු ලබන ඩොලර් පිළිබඳව තීරණ ගනු ලබන්නේ විනිමය වෙළෙඳපොළ හැසිරෙන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කරමිනි. ඔවුන් බලාපොරොත්තු වනුයේ තමන් සතු විදේශ විනිමයට ඉහළම මිලක් ලැබෙන ආකාරයෙන් ඒවා රුපියල්වලට පරිවර්තනය කර ගැනීමටය. එසේ වුව ද මේ ආකාරයට එම අවස්ථාව කෙටි කිරීමෙන් අනපේක්ෂිත ලෙස පාඩු ලැබීමට අපනයන ආයතනවලට සිදුවේ.
රටට වැඩියෙන්ම විදේශ විනිමය ලැබෙන අපනයන අංශය වන්නේ ඇඟලුම් කර්මාන්තයයි. එහි නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් සියයට 80ක් පමණ ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කිරීමට සිදුවේ. එම යෙදවුම් ආනයනය කිරීම සඳහා අපනයනකරුවන් විසින් බොහෝ විට භාවිත කරනු ලබන්නේ අපනයන ආදායම මගින් එකතු කරගෙන ඇති විදේශ විනිමය වේ. එසේ වුව ද පනවා ඇති සීමා නිසා අමුද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා විදේශ විනිමය ලබා ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත යෑමට අපනයනකරුවන්ට සිදුවන තත්වයක් ඇතිවේ.
රටේ විදේශ විනිමය සම්බන්ධ අර්බුදයක් නැතැයි රජයේ ඇමැතිවරු ප්‍රකාශ කරති. රුපියල අවප්‍රමාණය වීම ආර්ථිකයට අහිතකර නොවන බව ද මූල්‍ය කටයුතු පිළිබඳ වගකීම පැවැරී ඇති රජයේ ඇමැතිවරයෙක් මෑතක දී ප්‍රකාශ කළේය. මේ වසරේ මුල් කාල පරිච්ඡේදය තුළ අපනයන ආදායම වැඩිවී ඇති බව ද, විදේශ ප්‍රේෂණ විශාල ලෙස වැඩි වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වැනි හා හයවැනි ණය වාරික මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එසේ නම් කොවිඩ් වසංගතය හා බැඳුණු ආර්ථික අර්බුද අවස්ථාවේදීවත් ක්‍රියාත්මක නොකළ ආකාරයේ මූල්‍ය නීති දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුව ඇත්තේ කුමක් නිසාද? එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාව විදේශ විනිමය පිළිබඳ දැඩි අර්බුදයකට ගොදුරු වී තිබීම නිසා නොවේද?
අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම පිළිබඳ පනවා ඇති නව රෙගුලාසි හේතුවෙන් අපනයනකරුවන්ට තමන් සතු විදේශ විනිමය බැංකුවලට දී රුපියල් ලබා ගැනීමට සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේ විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලර් සැපයුම ඉහළ යෑමයි. අපනයනකරුවන් සතු ඩොලර් වෙළෙඳපොළට ගලා එන බැවිනි. එවැනි තත්වයක් තුළ වෙළෙඳපොළේ ඩොලර් සැපයුම ඉහළ ගොස් රුපියල අවප්‍රමාණ වීම තාවකාලිකව නතර වීමටත්, රුපියලේ අගය ශක්තිමත් වීමටත් ඉඩ තිබේ. එසේ වුව ද එවැනි රෙගුලාසියක දිගු කාලීන ප්‍රතිඵල අතිශයින්ම රටට අහිතකරය. පෙර පැවැති දින 90 වෙනුවට දින 30ක් නියම කර තිබීමෙන් විදේශ ආයෝජකයන්ට සහ ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කරන පුද්ගලයන්ට ගම්‍ය වන මූලික කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ පවත්නා අවිනිශ්චිතතාවයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශීය ආයෝජකයන්ට සහ කොටස් වෙළෙඳපොළ ආදියේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නන්ට එම නීතියෙන් ලැබෙන්නේ අහිතකර පණිවිඩයකි. තමන් විසින් එවනු ලබන විදේශ විනිමය පිළිබඳ අවදානමක් ඇතිවන බව එවැනි නීති මගින් අවධාරණය කිරීමක් සිදුවේ. එවැනි වටපිටාවක් තුළ ආයෝජන සම්බන්ධයෙන් දැඩි අවාසි සහගත තත්වයක් ඇතිවන බව පෙන්වා දිය යුතුව තිබේ. මෑතක දී කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශිකයන්ගේ මිලදී ගැනීම් විශාල ලෙස අඩුවීම කෙරෙහි වැඩි වශයෙන්ම බලපා ඇත්තේ මේ ආකාරයට ආණ්ඩුව සහ මහ බැංකුව ආර්ථික අර්බුදයට තාවකාලික පැලැස්තර මගින් පිළියම් යෙදීමට දරන උත්සාහය බව පෙනී යයි.
වත්මන් විදේශ විනිමය අර්බුදය ඇතිවීම කෙරෙහි බොහෝ දුරට කරුණු තුනක් බලපා ඇති බව පෙනී යයි. බාල ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයේ දී සිදුවූ අඩුව පිරිමසා ගැනීමට ඉන්ධන වැඩි වශයෙන් ආනයනය කිරීමට සිදුවීම එක් හේතුවකි. අධික මිලක් ගෙවා ඉන්ධන ආනයනය කිරීම දෙවැනි හේතුව වේ. තුන්වැනි හේතුව වන්නේ විදේශ විනිමය වෙළෙඳපොළ කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මහ බැංකුව සතු විදේශ සංචිත විනිමය වෙළෙඳපොළට නිකුත් කිරීමයි. විශේෂයෙන්ම ඉන්ධන ආනයනය කිරීමේ දී වෙළෙඳපොළෙන් ඩොලර් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මහ බැංකුවෙන් ඩොලර් ලබා ගැනීමට සිදුවූ බව පසුගියදා පාර්ලිමේන්තු කාරක සභාවක දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීහු ප්‍රකාශ කළහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ණය ගිවිසුම අනුව රටේ නිල සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක විය යුතුව ඇත. එසේ වුව ද දැන් සිදුවන්නේ දැනට රැස් කරගෙන ඇති නිල සංචිතවලින් ඩොලර් භාවිත කරමින් රුපියල් ආරක්ෂා කිරීම සහ ආනයනකරුවන් මුහුණ දී සිටින ඩොලර් හිඟය අඩු කර ගැනීම සඳහා කටයුතු කිරීමයි.
ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ මහ බැංකුව ඒකමතික පිළිවෙතක් අනුගමනය කරන බවක් දක්නට නොලැබේ. පොලී අනුපාතය වැඩි කිරීම රුපියල ශක්තිමත් කිරීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙතක් වුව ද ආර්ථිකයට සිදුවන හානිය අවම කර ගනිමින් එය ක්‍රියාත්මක කළ යුතුව තිබේ. උදාහරණයක් ලෙස ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතය සියයට 2කින් ඉහළ දමා තිබේ. දැන් ඒවායේ පොලී අනුපාත නියම කරනු ලබන්නේ මහ බැංකුව විසිනි. ක්‍රෙඩිට් කාඩ් භාවිතය වැඩිකර මුදල් භාවිතය අඩු කිරීම රජයේ ප්‍රතිපත්තියක් වී තිබුණ ද මෙම අවස්ථාවේදීත් ඒවායේ පොලී අනුපාත වැඩි කර ඇත්තේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිවය.
දැනට ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු වෙනුවෙන් ඉහළම පොලී අනුපාතයක් ගෙවීමට එම කාඩ්පත් හිමිකරුවන්ට සිදුව ඇත. එය පොලී මුදලාලිලා අය කරන පොලියට ද වඩා ඉහළය. එසේ තිබියදී ඒවායේ පොලී අනුපාත ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා කර ඇත්තේ රටේ මධ්‍යම පන්තිය බලවත් පීඩාවකට ලක් කරමිනි. තව නොබෝ දිනකින් මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ වේ. ගොවීන්ගෙන් වැඩි දෙනකු තම මූල්‍ය අවශ්‍යතා ඉටු කරගන්නේ තමන් සතු රන් භාණ්ඩ උකසට තැබීමෙනි. ඇපකරුවන් අවශ්‍ය කෙරෙන ගොවි ණය ලබා ගැනීම වෙනුවට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට රන් භාණ්ඩ උකස් තැබීමෙන් වඩාත් පහසුවෙන් හැකියාව ලැබේ. එසේ වුව ද රන් උකස් ණය ප්‍රමාණය සියයට 70 දක්වා සීමා කිරීමෙන් ගොවීන් ඇතුළු බොහෝ දෙනෙක් පීඩාවට ලක්ව සිටිති.
මෙම අවස්ථාව වනවිට ශ්‍රී ලංකාව දරුණුම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව සැඟවිය නොහැකි කරුණකි. එයට පිළියම් සෙවීමේ දී සමහර දැඩි තීරණ ගැනීමට සිදුවේ. එසේ වුව ද එය සිදුවිය යුත්තේ ජනතාවට එල්ල වන පීඩනය අවම කර ගන්නා අන්දමිනි. එසේ නොවුණහොත් එකක් කඩතොලු වසා ගන්නට ගිය ඉඳුරුවේ ආචාරියාට සිදුවූ දෙය ආණ්ඩුවට ද සිදුවීමට ඉඩ තිබේ.
උපුටාගැනීම - ලංකාදීප

