පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අතිශය වැදගත් තීන්දුවක් මගින් මෙරට මූල්‍ය හා
බැංකු ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ. එම නඩු තීන්දුවට අනුව, ණයක් වෙනුවෙන් ඇපකරුවෙකු වන පුද්ගලයෙකු ගිවිසුමේ කොන්දේසි කඩ කරන්නේ නම්, ප්‍රධාන ණයකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමකින් තොරව සෘජුවම ඇපකරුට එරෙහිව නඩු පැවරීමට බැංකුවකට නීත්‍යානුකූල අයිතියක් පවතී.
ඩී.එෆ්.සී.සී. (DFCC) බැංකුවෙන් ලබාගත් ණය පහසුකමක් නොගෙවීම සම්බන්ධයෙන්, ප්‍රධාන ඇපකරුවෙකුට එරෙහිව වාණිජ මහාධිකරණය මගින් ලබා දී තිබූ නියෝගයක් වළක්වාලන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණාත්මක තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
නීතිමය පසුබිම සහ ඇපකරුවාගේ වගකීම
මෙම නඩුවේදී විත්තියේ නීතිඥවරුන් ප්‍රබලව තර්ක කර තිබුණේ, අදාළ සමාගම ප්‍රධාන ණයකරු හා ප්‍රතිලාභියා වන බැවින් පළමුව නඩු පැවරිය යුත්තේ ඔවුන්ට බවයි. රෝම ලන්දේසි නීතිය යටතේ ප්‍රධාන ණය ගැතියාට පළමුව නඩු පැවරිය යුතු බවට අවධාරණය කිරීමට ඇපකරුවෙකුට සාමාන්‍යයෙන් අයිතියක් ඇතත්, ණය ගිවිසුමක් හරහා එම අයිතිය අත්හැරීමට (waive off) එකඟ වී ඇත්නම් එය නීත්‍යානුකූල වන බව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී පෙන්වා දුන්නේය.
තවද, "තමන් හිස් කඩදාසිවලට අත්සන් කළ බවත්, ලේඛනවල අන්තර්ගතය නොදැන සිටි බවත්" විත්තිකරු කළ ප්‍රකාශය ද අධිකරණය දැඩිව ප්‍රතික්ෂේප කළේය. අදාළ පුද්ගලයා නූගත්, අන්ධ හෝ ගනුදෙනුව තේරුම් ගැනීමට නොහැකි අයෙකු නම් මිස, එවැනි තර්කයක් මත නීතියෙන් ගැලවිය නොහැකි බව අධිකරණය අවධාරණය කළේය. බැංකු සහ මූල්‍ය ආයතනවල සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙය නීතිමය වශයෙන් අතිශය නිවැරදි තීන්දුවකි.
නෛතික යථාර්ථය හමුවේ මතු වන සමාජ ඛේදවාචකය
කෙසේ වෙතත්, නීතියේ අකුර කොතරම් නිවැරදි වුවද, මෙම තීන්දුව හරහා අනාගතයේදී නිර්මාණය විය හැකි සමාජීය සහ ආර්ථික ප්‍රතිවිපාක ඉතා බරපතළය.
මින් ඉදිරියට, කෙතරම් සමීප හිතවතෙකුගේ හෝ ඥාතියෙකුගේ ණයකට වුවද ඇපකරුවෙකු ලෙස අත්සන් තැබීමට ඕනෑම අයෙකු දැඩි බියක් දක්වනු ඇත. මන්දයත්, ඇපයකට අත්සන් කිරීම යනු හුදු උපකාරයක් නොව, තම මුළු ජීවිතයත් දේපළත් බරපතළ අවදානමකට ලක් කරගැනීමක් බවට දැන් සමාජය තුළ තහවුරු වී හමාරය. අර්බුදයකදී බැංකුව මුලින්ම පැමිණෙන්නේ ණයකරු සොයා නොව, පහසුවෙන්ම අල්ලා ගත හැකි ඇපකරු සොයා බව මෙමගින් තහවුරු වේ.
අවිධිමත් මූල්‍ය ජාවාරම්වලට රතු පලසක්!
ඇපකරුවන් සොයාගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් සාමාන්‍ය ජනතාවට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙන්ම හදිසි අවශ්‍යතාවක් ඇති පුද්ගලයින්ට විධිමත් මූල්‍ය ආයතන හරහා ණය ලබාගැනීමේ අවස්ථා ශීඝ්‍රයෙන් අවහිර වනු ඇත. බැංකුවක දොරටු වැසී යද්දී, සමාජයට විකල්ප සොයා යාමට සිදුවේ.
එහි සෘජු සහ ඛේදනීය ප්‍රතිඵලය වන්නේ, "ඇපකරුවන් අවශ්‍ය නැත" යන ආකර්ශනීය සටන් පාඨය යටතේ ක්‍රියාත්මක වන, එහෙත් ගෙල සිරකරන පොලී අනුපාත අය කරන අදෘශ්‍යමාන මූල්‍ය ජාවාරම්කරුවන් සහ ණය මෝරුන් වෙත ජනතාව ගොදුරු වීමයි. නීත්‍යානුකූල මූල්‍ය පද්ධතියෙන් විසිවන බහුතරයක් ජනතාව අවසානයේ නැවතෙන්නේ මෙම කූට ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේය.
පාතාල බලහත්කාරය සහ ප්‍රචණ්ඩත්වය සමාජගත වීම
මෙම අවිධිමත් මූල්‍ය ජාවාරම් සඳහා සමාජයේ ඉල්ලුම වැඩි වෙද්දී, ඒවායේ මුදල් අයකර ගැනීමේ අමානුෂික ක්‍රමවේදයන් ද සමාජය තුළ සාමාන්‍යකරණය වීම වැළැක්විය නොහැක. කූට ණය දෙන ආයතන හෝ පුද්ගලයින් ණය අයකර ගැනීමට අධිකරණ වෙත යන්නේ නැත. ඔවුන්ගේ එකම නීතිය වන්නේ "බලහත්කාරය සහ ප්‍රචණ්ඩත්වයයි".
ණය අයකර ගැනීම සඳහා මැර කණ්ඩායම් සහ පාතාල සාමාජිකයින් යොදාගැනීමේ ප්‍රවණතාව මේ හරහා තවදුරටත් වර්ධනය වනු ඇත. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ, මුදල් මත පදනම් වූ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ශක්තිමත් වීම සහ සමාජය තුළ ප්‍රචණ්ඩත්වය රජයන භීෂණකාරී පරිසරයක් නිර්මාණය වීමයි.
නීතියේ ආධිපත්‍යය මගින් ගිවිසුම්ගත බැඳීම් සුරක්ෂිත කළ යුතුය. එහෙත්, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා මතුකර පෙන්වන සමාජ දෘෂ්ටාන්තය නම්, පවතින ආර්ථික පීඩනය හමුවේ විධිමත් මූල්‍ය පද්ධතියෙන් මිනිසුන් ඈත් වී, සමස්ත සමාජයම ප්‍රචණ්ඩකාරී "මූල්‍ය පාතාලයකට" තල්ලු වීමේ බරපතළ අවදානමක් නිර්මාණය වී ඇති බවයි. ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහ නියාමන ආයතනවල අවධානය මෙම සමාජ ඛේදවාචකය කෙරෙහි වහා යොමු විය යුතුව ඇත.
#සමාරා පරණවිතාන

