ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ ඉල්ලා තරුණ ප්‍රජාව ආරම්භ කළ විරෝධතා
මේ වනවිට එරට දේශපාලනය උඩුයටිකුරු කරන දැවැන්ත මහජන අරගලයක් බවට පත්ව තිබේ. 'කැරපොතු ජනතා පක්ෂය' (CJP) නමින් අන්තර්ජාලය හරහා උපහාසාත්මකව ඇරඹි මෙම ව්‍යාපාරය, අද වනවිට දහස් ගණනක් සිසුන් සහ ක්‍රියාකාරීන් වීදි බස්සවා ඇත.

මෙම අර්බුදයට මූලික හේතුව වූයේ වෛද්‍ය ප්‍රවේශ විභාගය ඇතුළු ප්‍රධාන ජාතික විභාග කිහිපයකම ප්‍රශ්න පත්‍ර කාන්දු වීමයි. මේ හරහා මිලියන දෙකකට අධික සිසුන් පිරිසකගේ අනාගතය අඳුරු වූ අතර, සිසුන් විස්සකට වැඩි පිරිසක් සියදිවි නසාගැනීම මෙම ඛේදවාචකයේ බරපතලකම මනාව කියා පායි.
මෙම අසාධාරණයට එරෙහිව ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වංචුක් දින 21ක උපවාසයක් ආරම්භ කළේය. එහෙත් පසුගියදා අලුයම පොලීසිය විසින් ඔහුව බලහත්කාරයෙන් රෝහල්ගත කිරීමත් සමඟ විරෝධතාවල ස්වභාවය මුළුමනින්ම වෙනස් විය.

ආරම්භයේදී විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම පමණි. නමුත් රාජ්‍ය මර්දනය සහ ආණ්ඩුවේ නිහඬතාවය හමුවේ, දැන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලා අස්වීමයි.
දිල්ලියේ ජන්තර් මන්තර් වෙතින් ඇරඹි මෙම විරෝධතා දැන් මුම්බායි, බැංගලෝර් සහ හයිද්‍රාබාද් වැනි ප්‍රධාන නගර කරාද පැතිර ගොස් ඇත. රජය මාර්ග බාධක යොදමින් සහ දැඩි ආරක්ෂක විධිවිධාන මගින් මෙම සාමකාමී විරෝධතා මර්දනය කිරීමට උත්සාහ කරමින් සිටී.

මෙම තත්ත්වය ඉන්දියාවේ භූ-දේශපාලනික ප්‍රතිරූපයටද දැඩි ප්‍රහාරයකි. ලෝකයේ 'විශ්වගුරු' මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මෑණියන් ලෙස පෙනී සිටීමට මෝදි රජය දරන උත්සාහය, මෙවැනි මර්දනයන් හමුවේ ජාත්‍යන්තරය ඉදිරියේ දැඩි ලෙස ප්‍රශ්න කෙරෙමින් පවතී.
එමෙන්ම, සෝනම් වංචුක් නියෝජනය කරන්නේ චීන දේශසීමාවට ආසන්න සංවේදී කලාපයක් වන ලඩාක් ප්‍රදේශයයි. එහි ජනතා නැගිටීම් මර්දනය කිරීම හරහා දිල්ලි පාලනය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වීම, චීනය වැනි ප්‍රතිවාදීන්ට උපායමාර්ගික වාසියක් ගෙන දිය හැකිය.
ලංකාවේ ගෝල් ෆේස් අරගලය

ඉන්දියාවේ වත්මන් CJP අරගලය, 2022 වසරේ ශ්‍රී ලංකාවේ පැනනැගුණු ගෝල් ෆේස් ජනතා අරගලයට බොහෝ සෙයින් සමානකම් දක්වයි. අරගල දෙකම නිර්මාණය වූයේ දූෂිත පද්ධතීන් සහ අකාර්යක්ෂම පාලනයන් කෙරෙහි තරුණ පරපුර තුළ ගොඩනැගුණු දැඩි කලකිරීම සහ පීඩනය පුපුරා යාමෙනි.
ශ්‍රී ලංකාවේ අරගලය මුලින්ම ආරම්භ වූයේ විදුලිය, ගෑස් සහ ඉන්ධන වැනි මූලික අවශ්‍යතා මුල්කරගත් ඉල්ලීම් වලිනි. එහෙත් ආණ්ඩුවේ පැවති පරිපාලනමය දුර්වලතාවන් මෙන්ම දෙස් විදෙස් බලවේග මත එය ජනාධිපතිවරයා පන්නා දැමීමේ අරගලයක් දක්වා වර්ධනය විය. ඉන්දියාවේද අද සිදුවෙමින් පවතින්නේ එයයි. අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීමෙන් ඇරඹි සටන, රාජ්‍ය මර්දනය හමුවේ අද සමස්ත රජයම ගෙදර යැවීමේ සටනක් බවට පරිවර්තනය වී ඇත.
සාමකාමී අරගලකරුවන්ට එරෙහිව රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරයද රටවල් දෙකෙහිම එක හා සමාන තත්වයක් ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම අරගල දෙකෙහි විචාරාත්මක වෙනසක් ද පවතී. ශ්‍රී ලංකාවේ අරගලයට සමස්ත ආර්ථිකයේම බිඳවැටීම හේතු වූ අතර, රාජ්‍ය නායකයාට ඉවත් වීමට තරම් එම ජනතා රැල්ල ප්‍රබල විය. ඉන්දියාවේ මෝදි රජය සතුව ඉතා ශක්තිමත් රාජ්‍ය සහ ආරක්ෂක යන්ත්‍රණයක් පවතින බැවින්, ආණ්ඩුවක් මුළුමනින්ම පෙරළා දැමීම ශ්‍රී ලංකාවට වඩා අතිශය දුෂ්කර වනු ඇත.
නමුත් ශ්‍රී ලංකාවේ ගෝල් ෆේස් අරගලයෙන් ඉන්දීය තරුණ ප්‍රජාවට උගත හැකි වැදගත්ම පාඩමක් ඇත. එනම්, හුදෙක් පුද්ගලයින් හෝ නායකයින් වෙනස් කිරීමෙන් පමණක් අර්බුද විසඳෙන්නේ නැති බවයි. පද්ධතිය විනාශ නොකර, අධ්‍යාපනයේ හෝ රාජ්‍ය යන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ වලින් පලක් නැත. ඉන්දීය අරගලයද හුදෙක් දේශපාලන බල පෙරළියකට එහා ගිය, පද්ධතිමය පවිත්‍රකරණයක් දක්වා දිගු විය යුත්තේ එබැවිනි.
# සමාරා පරණවිතාන

