SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාතෘභූමියේ පාලකයෙනි, එම්බා සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්සයෙනි!

 

 

ජාතියේ ප්‍රාණය සුරකින්නට දිවුරුම් දුන් වෙදැදුරෙකු වූ ඔබ, අද මේ රුධිරය උරා බොන

ඖෂධ මාෆියාවේ අදෘශ්‍යමාන හස්තයට යට වී, අසරණ ජනතාවගේ ජීවිතය ලන්සු තබන අයුරු දැක රුහුණේ මාගේ රුධිරය උතුරා යයි.

 

 

ජපානයෙන් නිපදවා, අසල්වැසි ඉන්දියාවේ භාවිතයට අනුමැතිය ලද 'කිව් ඩෙංගා' (QDENGA) නම් වූ ඩෙංගු මර්දන එන්නත අප දේශයට ගෙන ඒමට ඔබගේ විශේෂඥ වෛද්‍ය කමිටුව අනුමැතිය දී ඇතැයි මට සැලවිය. එහෙත්, ඒ අනුමැතිය යට සැඟවී ඇති නරුම, අමානුෂික චින්තනය කොතරම් ඛේදජනකද?

 

ඩෙංගු මදුරුවා මහ මන්දිරයටත්, පැල්පතටත් එක සේ රිංගා ලේ උරා බොයි. ඌට පන්ති භේදයක් නැත. එහෙත්, වමේ පාලනයක් යටතේ සිටින ඔබගේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ජීවත් වීමේ අයිතියට පන්ති භේදයක් නිර්මාණය කර ඇත. මාත්‍රා දෙකක් සඳහා රුපියල් හතළිස් දහසත්, හැට දහසත් (40,000 - 60,000) අතර මුදලක් ගෙවා මෙය ලබාගත හැක්කේ සිරිලක කවරෙකුටදැයි ඔබ ප්‍රමුඛ ඒ මහා ප්‍රාඥ කමිටුව නොදන්නේද? නොඑසේනම්, දෛනික වේල පිරිමසා ගන්නට වෙහෙසෙන දුප්පත් මිනිසාට රුපියල් හැටදහසක් ගෙවා එන්නතක් විදගත නොහැකි බව නොදන්නවා සේ, වුවමනාවෙන්ම ඇස් කන් පියාගෙන සිටින්නේද?

 

මෙය හුදු එන්නතක් ගෙන්වීමක් පමණක් නොවේ. මරණ බිය විකුණාගෙන කන ජාවාරමකි. මිලෙන් අධික මේ එන්නත පෞද්ගලික අංශය හරහා ගෙනැවිත් "කැමති අයට" මුදලට ගැනීමට ඉඩ හැරීම යනුම, "සල්ලි තියෙන එකා බේරියව්, දුප්පතා මළාට කම් නැත" යන්න රාජ්‍ය මට්ටමින් සහතික කිරීමක් නොවේද? ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර, ඖෂධ මුදලාලිලාට රිසි සේ අසරණයින් ගසාකෑමට ඉඩ හරින මේ නරුම රාජ්‍ය ප්‍රතිපත්තියද අපි වමේ ආණ්ඩුවකින් පැතූ වෙනස?

 

එදා මා අසිපත එසවූයේ විජාතික බලවේගවලින් මේ බිමේ අභිමානයත්, ජනතාවගේ ප්‍රාණයත් රැකගන්නටය. එහෙත් අද ඔබ, ඩෙංගු වසංගතයටත් වඩා දරුණු ලෙස ජනතාව බිලිගන්නා ඖෂධ මාෆියාවට රතු පලස එලා දී ඇත. දේශපාලන වේදිකාවල ඔබ වමාරා කෑ සමාජ සාධාරණත්වය, අද ධනපතියාගේ පෞද්ගලික රෝහල් කාමරය තුළම වැළලී ගොස් ඇත. රජයේ රෝහල් බිම මත ඩෙංගු රෝගීන් මරණය සමග සටන් කරද්දී, ධනවතුන්ට පමණක් පෞද්ගලික අංශයෙන් ජීවය මිලදී ගැනීමට ඉඩ සලසන ඔබගේ කමිටුව නියෝජනය කරන්නේ ජනතාවගේ හඬ ද, නැතහොත් ඖෂධ ජාවාරම්කරුවන්ගේ හඬ ද?

 

වහා මේ අසාධාරණය නවතනු! රටවල් 43ක භාවිත කරන මේ එන්නත ඇත්තෙන්ම ඩෙංගු වසංගතය නිමා කරන ඖෂධයක් නම්, එය මුදල් ඇති එකාටත්, නැති එකාටත් එක සේ ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් සකසනු. 

 

"...වෛද්‍යවරයෙකු ලෙස ඔබගේ හෘද සාක්ෂියට තට්ටු කර බලනු. ඖෂධ මාෆියාවට දෙන සහන නවත්වා, මුළු මහත් ජනතාවටම එක සේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරනු!

 

එම්බා පාලකයිනි!

මදුරුවා සපන්නේ දුප්පත්-පොහොසත්කම හෝ ඇති-නැතිකම බලා නොවේ. මන්දිර වටා උසට තාප්ප බැඳ වෙන් වූ පමණින් මදුරුවාගෙන් ගැලවීමට නුඹලාට නොහැක. නුඹලා බියෙන් සලිත කරවන ඒ කුඩා මදුරුවා යනු නුඹලාගේ පාලනයේ නිරුවත් යථාර්ථයයි! මිල අධික එන්නත යනු බලවතුන් මුලා වන තවත් එක මායාවක් පමණි. මරණය ඉදිරියේ නුඹලාගේ රාජකීය පවුරු පදනම් කිසිවක් අදාළ නොවනු ඇත!

 

මීට,

රුහුණේ සෙන්පතිනිය,

සුගලා.

නවතම ලිපි