SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයවිසින් කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව

ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ, මෙම යෝජනාවේ අඩංගු ඇතැම් තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත යුතු බවයි.

 

 

 

නීතිපති උපදෙස් ලබා ගැනීමට යම් කාලයක් ගතවන බැවින් එළඹෙන පාර්ලිමේන්තු සතිය තුළ මෙම විවාදය පැවැත්වීමට නොහැකි වනු ඇත. ප්‍රධාන විපක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක ද පවසා ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු විවාදය සඳහා දිනයක් තීරණය කරන බවයි.

 

 

කෙසේ වෙතත්, මෙය හුදෙක් නීතිමය හෝ තාක්ෂණික ගැටලුවක් මතම පදනම් වූ කල් දැමීමක් ද යන්න පිළිබඳව දේශපාලන විශ්ලේෂකයින් තුළ පවතින්නේ වෙනත් මතයකි.

 

 

ඔවුන්ගේ දැඩි විශ්වාසය වී ඇත්තේ, මෙම යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන තුරු නොසිට, බොහෝ දුරට කතානායකවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්න යැයි රජයේ ඉහළ පාර්ශ්වයන්ගෙන් බලපෑමක් එල්ල වනු ඇති බවයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ, විශ්වාසභංග යෝජනාව මගින් කතානායකවරයාට එරෙහිව එල්ල කර ඇති චෝදනාවලින් බහුතරයක් ම ඔහු අතින් සැබැවින්ම සිදු වූ වැරදි බවට මේ වන විටත් තහවුරු වී තිබීමයි. එබැවින් විවාදයක් දක්වා ගොස් ආණ්ඩුව තවදුරටත් අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

 

 

මේ අතර, නියෝජ්‍ය කතානායක ආචාර්ය රිස්වි සාලිහ් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (16) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එළඹෙන සතියේ (ඔක්තෝබර් 20 සිට 23 දක්වා) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර නිවේදනය කළාය.

 

 

සෑම සභා වාරයක්ම උදෑසන 9.30 ට ආරම්භ වන අතර 10.00 දක්වා ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා වන අයිතම යටතේ පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කෙරේ. උදෑසන 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර ඇත. එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පෙළගැසී ඇත්තේ පහත පරිදිය.

 

  • ඔක්තෝබර් 20 (අඟහරුවාදා): පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනේ.

  • ඔක්තෝබර් 21 (බදාදා): රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ වන යෝජනාවක් සහ පරිපූරක ඇස්තමේන්තුවක් පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය. ඉන් අනතුරුව ව්‍යවස්ථාපිත ආයතන පහක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කිරීමට ඉදිරිපත් කරන අතර, පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

  • ඔක්තෝබර් 22 (බ්‍රහස්පතින්දා): වස, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් දෙකක් (බිල්පත් අංක 79 සහ 80) පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා දෙවන වර කියවීමේ විවාදයට ගනු ලැබේ. ඉන්පසු ව්‍යවස්ථාපිත ආයතන පහක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කිරීමත්, පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂයේ සභාව කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමත් සිදු කෙරේ.

  • ඔක්තෝබර් 23 (සිකුරාදා): ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ. සතියේ අවසන් සභා වාරයේ අවසන් පැය භාගය වන පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එන සභාව කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනෙනු ඇත.

 

 

 

නවතම ලිපි