ගෝලීය මෝටර් රථ කර්මාන්තය මේ වන විට අතිශය පරස්පර විරෝධී යුගයක් පසු කරමින් සිටී.
එක් පසෙකින් මහපොළොවේ ධාවනය වන මෝටර් රථයක රෝද හතර සහ ඇක්සලය චැසියට සවි කර තබා ගැනීමට පවා ඇතැම් නිෂ්පාදකයින් අපොහොසත් වී ඇත. අනෙක් පසින්, ඇමරිකානු ඉංජිනේරු විද්යාව ගුරුත්වාකර්ෂණයට අභියෝග කරමින් මෝටර් රථ අහසට ඔසවා තැබීමේ විප්ලවීය සන්ධිස්ථානයකට එළඹ තිබේ.
මෑතකදී මැලේසියාවේ ජොහෝර් බාරු හිදී වාර්තා වූ Chery Omoda 5 රථයේ ඛේදවාචකය චීන මහා පරිමාණ නිෂ්පාදනයේ ඇති බරපතල හිඩැස් ලොවටම අනාවරණය කළේය. මහජන මාර්ගයක ධාවනය වෙමින් තිබූ එම රථයේ පසුපස රෝද දෙකම සහිත ඇක්සලය සම්පූර්ණයෙන්ම ගැලවී යාම හුදු සුළු දෝෂයක් නොව, මාරාන්තික ව්යුහාත්මක බිඳවැටීමකි. රොබෝ වෙල්ඩින් තාක්ෂණයේ අවම ප්රමිතියක් හෝ පවත්වා ගැනීමට අපොහොසත් වීමෙන්, එම රථයේ ටෝර්ෂන්-බීම් සස්පෙන්ෂන් පද්ධතිය පුපුරා ගොස් තිබුණි.

මෙම මාරාන්තික දෝෂය පිළිබඳව ලොව පුරා ප්රකම්පන ඇති වෙද්දී, අදාළ වාහන මාදිලිය ශ්රී ලංකාවට ආනයනය කරන හේලීස් මොබිලිටි සමාගම තවමත් අනුගමනය කරන්නේ බිහිරි අලියෙකුගේ න්යායයි. වාහනයක මූලිකම ආරක්ෂාව වන චැසියේ ශක්තිමත්භාවය පිළිබඳව පාරිභෝගිකයින් දැඩි බියකින් පසුවෙද්දී, නිල තාක්ෂණික විගණනයක් හෝ ආරක්ෂක සහතිකයක් ලබා නොදී මාරාන්තික නිහඬතාවයක ගිලී සිටීම අතිශයින්ම කනගාටුදායකය.
චීන වාහන හිමිකරුවන් තම වාහනයේ රෝද ගැලවී යාදැයි බියෙන් පසුවන මොහොතක, ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයෙන් වාර්තා වූයේ ඊට හාත්පසින්ම වෙනස් පුවතකි. සුප්රකට ටෙස්ලා සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් විසින් සිය නවතම විද්යුත් ක්රීඩා මෝටර් රථය වන ටෙස්ලා රෝඩ්ස්ටර් (Tesla Roadster) මාදිලියේ නවතම සංස්කරණය එළිදක්වන ලදී. එය හුදෙක් මහාමාර්ගයේ වේගයෙන් ධාවනය වන රථයක් නොව, ගුවනේ සැරිසැරීමට සහ හැරවීමට ඉඩ සලසන තෙරපුම් (thrusters) වලින් සමන්විත සැබෑම පියාඹන මෝටර් රථයකි.
මෝටර් රථය සංවර්ධනය කිරීම සඳහා සිය අභ්යවකාශ ගවේෂණ ආයතනය වන SpaceX හි තාක්ෂණයද මුසු කළ බව මස්ක් මෙහිදී ආඩම්බරයෙන් අනාවරණය කළේය. "අද රෑ ඔයාට පිස්සු හැදෙන දේවල් ටිකක් දකින්න ලැබෙයි" යනුවෙන් පවසමින් ඔහු මෙම අතිවිශිෂ්ට නිර්මාණය ප්රේක්ෂකයින් ඉදිරියට ගෙන ආවේය. මෙය කිසිදු කෘත්රිම බුද්ධියකින් (AI) හෝ පරිගණක සජීවීකරණයකින් මැවූ මායාවක් නොවන බව ඔප්පු කිරීම සඳහා ඔහු සජීවී ප්රේක්ෂක පිරිසක්ම ඒ සඳහා යොදා ගත්තේය.
එහිදී රෝඩ්ස්ටර් මෝටර් රථය බෑවුම් සහිත මාර්ගයක ඉහළට සහ පහළට ධාවනය වන ආකාරයත්, ඉන්පසුව ගුවනේ කැරකෙන ආකාරයත්, ගුවන් ජෙට් (aero jets) තාක්ෂණය භාවිතා කරමින් ඉතා සුමටව ගොඩබසින ආකාරයත් ප්රායෝගිකව නිරූපණය කරන ලදී. එය මෝටර් රථ කර්මාන්තයේ සීමාවන් පුළුල් කළ ඓතිහාසික මොහොතක් විය.
කෙසේ වෙතත්, බීබීසීයේ තාක්ෂණික කර්තෘ සෝයි ක්ලයින්මන් පැහැදිලි කරන පරිදි, මෙම තාක්ෂණය අද හෙටම අපගේ සාමාන්ය මාර්ගවල දැකගැනීම තරමක් අපහසුය. ගුවන් ගමන් රෙගුලාසි, යටිතල පහසුකම් සහ නාගරික ආරක්ෂාව වැනි ප්රායෝගික හේතු කිහිපයක් නිසා පියාඹන මෝටර් රථයක් එදිනෙදා භාවිතයට පැමිණීමට තවත් කාලයක් ගතවනු ඇත.

නමුත් මෙහි ඇති සැබෑ ඛේදවාචකය සහ හාස්යය එය නොවේ. ලෝකයේ එක් පසෙක ඉංජිනේරුවන් රථයකට අහස ජයගැනීමට අවශ්ය ජෙට් තෙරපුම් නිර්මාණය කරමින් සිටී. එහෙත් ලෝකයේ තවත් පසෙක, වෙළඳපොළ ආක්රමණය කිරීමේ හදිස්සියෙන් යුතුව නිපදවන මෝටර් රථවලට තවමත් තම පසුපස ඇක්සලය සහ රෝද දෙක මහපොළොව මතදී හෝ ගලවා නොගෙන යෑමට නොහැකි වී ඇත. පාරිභෝගිකයින් ලෙස අප විශ්වාසය තැබිය යුත්තේ කුමක් මතද? මිනිසුන් ලෙස අප විශ්වාසය තැබිය යුත්තේ කුමක් මතද යන්න තීරණය කිරීමට මෙය වඩා කදිම උදාහරණයකි.
# සමාරා

