"විමර්ශනය පළිහක් කරන්න එපා!"
ප්රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්ය අමාත්යවරයා, ලේකම්වරයා
ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවේ විමර්ශන ක්රියාවලිය දැඩි දෝෂදර්ශනයකට ලක් කිරීමට විත්තියේ නීතිඥවරුන් සමත් විය. ප්රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පොලිස් පරීක්ෂක එරංග ප්රභාෂ් ලක්සිරි වෙත යොමු කළ හරස් ප්රශ්න හමුවේ, පැමිණිල්ලේ චෝදනා පත්රය අසම්පූර්ණ, භාෂාමය දුර්වලතා සහිත සහ පවිටු චේතනාවෙන් කළ විමර්ශනයක් මත පදනම් වූවක් බවට විත්තියේ නීතීඥවරුන් විසින් තරුණු ඉදිරිපත් කළහ.
භාෂා දුර්වලතා සහ අසම්පූර්ණ ලේඛන පරීක්ෂාව
10 වන චූදිත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්රියන්ත නාවාන සිය හරස් ප්රශ්න කිරීම් හරහා පෙන්වා දුන්නේ, CID විමර්ශන නිලධාරියා අත්යවශ්ය තොග වාර්තා, ඊමේල් පණිවිඩ සහ කැබිනට් සංදේශ නිසි පරිදි විමර්ශනය කර නොමැති බවයි. විශේෂයෙන්ම, ඉංග්රීසි භාෂාව පිළිබඳ නිසි ප්රවීණත්වයක් නොමැති වීම හේතුවෙන් 10 වන චූදිතගේ ලිඛිත සටහන් වැරදියට අර්ථකථනය කර ඇති ආකාරය මෙහිදී දැඩි ලෙස නිරාවරණය විය.
ජනාධිපති නීතිඥ ප්රියන්ත නාවාන:
"එදින වෛද්ය රත්නායක විසින් තබන ලද පසු සටහන ස්වාධීනව කියවා තේරුම් ගැනීමේ හැකියාවක් තිබුණාද?"
CID සාක්ෂිකරු:
"ඉංග්රීසි පිළිබඳව දැනුමක් ඇති නිලධාරියකු මගින් එය කියවා තේරුම් ගත්තා. ඒ පිළිබඳව සටහනක් තැබීමක් සිදු කළේ නෑ."
ජනාධිපති නීතිඥ ප්රියන්ත නාවාන:
"මේක වසර තුනකට පසුවත් නඩුවේ අවසානයට ඇවිල්ලත් දහවන චූදිතගේ සටහන කියවා ගැනීමට ඔබට හැකියාවක් නෑ."
CID සාක්ෂිකරු:
"අකුරු පැහැදිලි මදි ස්වාමීනි."
ජනාධිපති නීතිඥ ප්රියන්ත නාවාන:
"ඔබ කියවන්න උත්සාහ කළාද? ඒ බවට සටහනක් දමා ගත්තාද?"
CID සාක්ෂිකරු: "නෑ ස්වාමීනී, සටහනක් ලැබුවේ නෑ, විමර්ශනයේදී අනාවරණය වුණා."
10 වන චූදිත විසින් අත්යවශ්ය ඖෂධ සෞඛ්ය අංශයේ හදිසි ප්රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා ගෙන 'retender' (නැවත ලන්සු කැඳවීම) කිරීමට ලබාදී තිබූ උපදෙස්, විමර්ශකයා විසින් නිසි ලෙස තේරුම් ගෙන නොතිබිණි. පැමිණිල්ලේ සාක්ෂිකාරියක වූ තරින්දි දාබරේගේ සාක්ෂියට අනුව එය 're-evaluation' ලෙසද පැමිණිල්ල අර්ථකථනය කර තිබිණි.
ජනාධිපති නීතිඥ ප්රියන්ත නාවාන:
"විමර්ශනය පළිහක් විදියට පාවිච්චි කරන්න එපා මේ නඩුව වහන්න, ඔබගේ අඩුපාඩු වහන්න. ඒ බවට මම යෝජනා කරනවා. මෙහි එන කරුණු අපරාධ වරද පැවරීමේ පවිටු චේතනාවෙන් විමර්ශනය කළ බවට යෝජනා කරනවා."
CID සාක්ෂිකරු:
"ප්රතික්ෂේප කරනවා ස්වාමීනි."
එසේම, වෛද්ය සැපයුම් ඒකකයේ ප්රධාන තොග පාලක නිලධාරී නන්දන බණ්ඩාර සතිපතා ඉහළ නිලධාරීන් වෙත යැවූ ඊමේල් පරීක්ෂා නොකිරීම, කැබිනට් සංදේශය සකස් කළ ශිරන්ති දිසානායක හෝ විෂය භාර කළමනාකාර සහකාරවරයාගෙන් ප්රකාශ ලබා නොගැනීම සහ අදාළ ලේඛනයක 'visit' යන වචනය කපා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය නොකිරීම හරහා විමර්ශනයේ අසම්පූර්ණ බව තවදුරටත් තහවුරු විය.

දුරකථන වාර්තා සහ තාක්ෂණික සාක්ෂිවලට නයන්ත විජේසුන්දරගෙන් අභියෝගයක්
8 වන චූදිත (හිටපු සෞඛ්ය අමාත්යවරයා) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මතු කළ කරුණු හරහා, CIDය දුරකථන වාර්තා විශ්ලේෂණය කර ඇති ආකාරයේ පවතින දුර්වලතා හෙළි විය. පළමු චූදිත සිටින තැන අනාවරණය කර ගැනීමට දුරකථන වාර්තා භාවිතා කර ඇතත්, රැස්වීම්වලට අදාළව පුද්ගලයින් සැබැවින්ම සහභාගී වූවාද යන්න තාක්ෂණිකව තහවුරු කර නොතිබිණි.
නීතිඥ නයන්ත විජේසුන්දර:
"ඔබ විමර්ශකයෙකු ලෙස යම් රැස්වීම් වාර්තාවන් ලැබුණ විට, ඒ ඒ රැස්වීම්වල සිටි බව කියන පුද්ගලයන් එහි සිටිනවාද යන්න පිළිබඳව දුරකථන වාර්තා ලබා ගැනීමක් සිදුකළාද?"
CID සාක්ෂිකරු:
"මෙහිදී එසේ කළේ නෑ. රැස්වීමට සහභාගි වූ පුද්ගලයන්ගේ ප්රකාශ සටහන් කර ගැනීම් සිදු කළා."
අදාළ දිනවල දුරකථන වාර්තා පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා ප්රශ්න යොමු කිරීමට උත්සාහ කළද, සභාපති විනිසුරු ප්රියන්ත ලියනගේ විසින් ඊට නෛතික බාධාවක් පවතින බව පෙන්වා දෙනු ලැබීය.
සභාපති විනිසුරුවරයා:
"මෙම ප්රශ්නය යොමු කරන්නේ බැලූ බැල්මට නිශ්චිත රැස්වීමක වීමක් නොවී සහ යම්කිසි රැස්වීමක සහභාගී වූ අයෙකු එතැන නොසිටියා නම් වන බවට උපකල්පිත ප්රශ්නයක් ඉදිරිපත් කරමිනි. උපකල්පිත සිදුවීම් සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම සාක්ෂිය ආඥාපනතේ තුන්වන වගන්ති යටතේ බැහැර කරයි. අටවන චූදිත අන්යස්ථානිකභාවය (Alibi) පිළිබඳව සාක්ෂිය ඉදිරිපත් කළ නොහැකි බවට නියෝගයක් ලබාදී ඇත. සෘජුව කළ නොහැකි දේ වක්රව කළ නොහැක."
මීට අමතරව, 8 වන චූදිත 2024 පෙබරවාරි 02 දින CIDයට ප්රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී උදෑසන 9.15 සිට රාත්රී 8.00 දක්වා පැය 11කට ආසන්න කාලයක් රඳවාගෙන, ඔහුට විවේක කාලවලදී රෝල්ස්, පැටිස් සහ එළවළු රොටී පමණක් ලබා දී ඇති බවද, ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් බවද නීතිඥවරයා විසින් අධිකරණයේ අවධානයට යොමු කළේය. එසේම මෙම සම්පූර්ණ විමර්ශනයට මුල් වී ඇත්තේ අටවන චූදිතගේම උපදේශකවරයෙකු වූ සංජය රජීවි ජෙරාඩ් පෙරේරා කළ පැමිණිල්ලක් බවද මෙහිදී තහවුරු විය.
විමර්ශන නිලධාරියාගේ සාක්ෂිය හරහා විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ, මෙම සමස්ත විමර්ශනය අත්යවශ්ය ලේඛන මගහරිමින්, භාෂාමය දුර්වලතා වසාගනිමින් සහ විත්තිකරුවන් මත අපරාධමය වරදක් පැටවීමේ අරමුණින් ගොඩනැගූ අතිශය අසම්පූර්ණ එකක් බවයි.
(මූලාශ්ර නඩු වාර්තාව ද ලීඩර් වෙබ් අඩවියෙනි)

