SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය (SJB)

ප්‍රමුඛ විපක්ෂය විසින් අද (සැප්තැම්බර් 24) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දියත් කළ විරෝධතාවය, ශ්‍රී ලාංකේය දේශපාලන වේදිකාවේ දිගහැරෙන තවත් එක් ඵල රහිත, ශෝචනීය දේශපාලන රංගනයකි. ජනතාවගේ පරමාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසමින්, දියත උයන සහ පාර්ලිමේන්තු සංකීර්ණය අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය කරමින් අශ්වයා පැන යනතෙක් බලාසිට ඉස්තාලය වැසූ අස්ගාල් හිමියාගේ භූමිකාවට විපක්ෂ නායකවරයා පත්වීම මෙම විරෝධතාවයේ ඇති හිස්බව මනාව පැහැදිලි වන්නකි.

 

 

 

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව පවසමින් මහමඟ අවහිර කිරීම තරම් තවත් විකාරරූපී දේශපාලන භාවිතාවක් නොමැත. මෙම ක්‍රියාදාමයේ ඇති අවස්ථාවාදීත්වය කොතරම්ද යත්, මුලින් සියලු විපක්ෂ කණ්ඩායම් එක්ව සැලසුම් කළ මෙම අරගලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ පක්ෂය විසින් හුදකලා දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කර ගනු ලැබීය.

 

 

image_5272439a9c.jpeg

 

 

ඒ හේතුවෙන්ම "ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ නිදහස් ක්‍රියාකාරී මධ්‍යස්ථානය" අද දින මෙම විරෝධතාවය වර්ජනය කිරීමෙන් පැහැදිලි වන්නේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ සටනක් නොව, හුදෙක් ඊළඟ මැතිවරණය ඉලක්ක කරගත් පටු දේශපාලන සංදර්ශනයක් පමණක්ම බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවා මේ වන විට මෙම වීදි සටන් ප්‍රතික්ෂේප කර ඇත.

 

 

 

මෙම විරෝධතාවයේ පදනම් විරහිත බව වඩාත් තහවුරු වන්නේ මීට අදාළ නෛතික ක්‍රියාවලිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විටත් නිමාවී ඇති පසුබිමකය. 22 වැනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. සැප්තැම්බර් 24 සහ 25 දෙදින තුළ පාර්ලිමේන්තුවේදී විවාද කර ඡන්දය විමසීමට නියමිතව තිබියදී, නීතිමය පරාජය වසාගැනීම උදෙසා මෙලෙස මහමඟට බැසීම විපක්ෂයේ බංකොලොත්භාවය සනාථ කරන්නකි.

 

 

බත්තරමුලලේ වාහන තදබදයක්

 

 

වත්මන් ආණ්ඩුව මෙම 22 වැනි සංශෝධනය ගෙන එන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමටය. ඊට ප්‍රායෝගික හේතුවක් ඔවුන් පවසති. එනම් ලංකාවේ අධිකරණ 293 ක මේ වන විට ගොඩගැසී ඇති ලක්ෂ 11 කට අධික නඩු කන්දරාව විසඳීමට සහ IMF කොන්දේසි මත දූෂණ විරෝධී පනත බලාත්මක කිරීමට පළපුරුදු විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවයයි. නීති ක්ෂේත්‍රයෙන් ඊට විවේචන එල්ල වුවද, ඊට එරෙහිව සටන් කළ යුත්තේ තර්කානුකූලව පාර්ලිමේන්තුව තුළ මිස ජනතාව පාරේ රස්තියාදු කරමින් නොවේ.

 

 

 

කෙසේ වෙතත්, මෙම සමස්ත ක්‍රියාවලිය හරහා නැවත වරක් ඉස්මතු වන්නේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ පවතින ගැඹුරු න්‍යායික ඛේදවාචකයයි. ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් යන දෙපාර්ශවයම "ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය" නමැති සංකල්පය දඩමීමා කරගනිමින් අඛණ්ඩව ජනතාව රවටමින් සිටිති. 18, 19, 20 සහ 21 යන ව්‍යවස්ථා සංශෝධන දෙස හැරී බලන විට පෙනී යන්නේ, සෑම ආණ්ඩුවක්ම තමන්ගේ බලය තහවුරු කරගැනීමට ව්‍යවස්ථාව අතකොළුවක් කරගත් බවයි. එදා ප්‍රජාතන්ත්‍රවාදය කෙළසමින් ඒකාධිපති බලතල ගොඩනගා ගත් පිරිස්ම, අද විපක්ෂයේ සිට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් වීදි බැසීම දේශපාලන කුහකත්වයේ කූටප්‍රාප්තියකි.

 

 

 

සැබෑ න්‍යායික අරුතින් ගත් කල, අද ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට භුක්ති විඳීමට තරම් 'ප්‍රජාතන්ත්‍රවාදයක්' ඉතිරිව නැත. පවතින්නේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය විසින් තම තමන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් නඩත්තු කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මායාවක් පමණි. පාරේ යන ජනතාවට හිරිහැර කරමින්, ඡන්ද පදනම තරකර ගැනීම වෙනුවෙන් විපක්ෂය අද බත්තරමුල්ලේ සිදුකරන මෙම විරෝධතාවය, අනාගත දේශපාලන ඉතිහාසයේ ලියවෙනු ඇත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පත්තු කළ තවත් එක් නිසරු "පුස් වෙඩිල්ලක්" ලෙස පමණි.

 

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි