අනාගත ලෝක බල තුලනය සහ භූ දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යයන් පිළිබඳව කියවීමක්
ගෙන එන පාඨලී චම්පික රණවක ගේ නවතම කෘතිය වන "එකට ගැටුම" එළිදැක්වීමේ විචාර සහ සංවාද මණ්ඩපය 2026 සැප්තැම්බර් 26 වන දින පස්වරු 3.30 සිට 5.00 දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම කෘතියේ ප්‍රධාන කෘති විචාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන විසින් සිදු කරනු ලබයි.

අතීත යුරෝපය, එක්සත් ජනපදය සහ අනාගත ආසියාව පිළිබඳව පුළුල් විවරණයක් සපයන මෙම ග්‍රන්ථයේ මුල් කවරය මත ඇමරිකානු සහ චීන ජාතික කොඩි සහිත චෙස් පුවරුවක් නිරූපණය කර ඇත. එමඟින් වර්තමාන ලෝක බලවතුන් අතර පවතින භූ දේශපාලනික තරගය සහ එහි ගැටුම්කාරී ස්වභාවය මනාව පිළිඹිබු කරයි.
කතුවරයා සිය අදහස් හරහා පෙන්වා දෙන්නේ බලශක්තිය, නවීන තාක්‍ෂණය සහ දේශපාලනික බලය අතර සබඳතාව අද වන විට මූලික පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවයි. අතීතයේදී ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි පොසිල ඉන්ධන මත පදනම් වූ ලෝක බලය, අද වන විට කෘත්‍රිම බුද්ධිය (AI), අර්ධ සන්නායක සහ අභ්‍යවකාශ තාක්‍ෂණය වැනි නවීන අංශ වෙත විතැන් වී ඇත. කතුවරයා මීට පෙර රචනා කළ "බලය සහ බලය" කෘතියෙන්ද බලශක්තිය සහ දේශපාලන බලය අතර ඇති මෙම අන්තර් රඳාපැවැත්ම පිළිබඳව සිය අත්දැකීම් ඇසුරෙන් පැහැදිලි කර තිබේ. හුදෙක් බලශක්ති සම්පත් හිමිකර ගැනීම පමණක් නොව, එය ගබඩා කිරීම, බෙදාහැරීම සහ තාක්‍ෂණිකව කළමනාකරණය කිරීම අනාගත ලෝක බලය තීරණය කරන ප්‍රධාන සාධකය බව ඔහුගේ මතයයි.
මීට අමතරව, වර්තමාන යුධ බලය තවදුරටත් සාම්ප්‍රදායික ගොඩබිම, ගුවන් හෝ නාවික මානයන් මත පමණක් රඳා නොපවතින අතර, එය සයිබර්, ඩ්‍රෝන සහ අභ්‍යවකාශය ද ඇතුළත් මානයන් 6ක් දක්වා ව්‍යාප්ත වූ දෙමුහුන් යුධ (hybrid warfare) තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති ආකාරයද මෙහිදී අවධාරණය කෙරේ. ගෝලීය බලශක්ති සහ තාක්‍ෂණික තරගයේ මෙම නව පරිවර්තනය චීනයට, සමස්ත ආසියාවට සහ ගෝලීය දකුණට දැඩි බලපෑමක් එල්ල කරන බව ඔහු විශ්වාස කරයි.
සමස්තයක් ලෙස ගත් කල, ලෝක බලවතුන්ගේ ඊළඟ යුගයේ ගැටුම හුදෙක් යුධමය හෝ සම්පත් අත්පත් කරගැනීමේ ගැටුමක් නොව, තාක්‍ෂණය සහ බලශක්ති කළමනාකරණය මුල් කරගත් බුද්ධිමය ගැටුමක් බව මෙම කෘතිය හරහා සමාජගත කෙරේ. ජාත්‍යන්තර සබඳතා සහ ගෝලීය දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන පාඨකයන්ට මෙය කදිම අවස්ථාවක් වන අතර, උත්සවයට සහභාගී වන පිරිසට එදිනට මෙම කෘතිය මිලදී ගැනීමටද අවස්ථාව සලසා දී තිබේ.

