දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය යනු මගීන්ට අතිශය පීඩාකාරී
අත්දැකීමක් විය. ප්‍රමිතියෙන් තොර වාහන, අනාරක්ෂිත බව සහ පාරිසරික දූෂණය හේතුවෙන් මහජනතාව පොදු ප්‍රවාහනයෙන් ඈත් වී පෞද්ගලික වාහන වෙත යොමුව සිටියහ. එම නිදන්ගත අර්බුදයට තිරසාර විසඳුම් ගෙන ඒමට පැවති රජයන් පවා විවිධ ව්‍යාපෘති කළද ඒවා සියල්ල කෙටි කලකින්ම නිමවී සුපුරුදු ප්‍රවාහනයටම පැමිණුනි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වැඩි සද්දයකින් තොරව ආණ්ඩුවේ සියලු නාටක අභියස නිහඩව වැඩ කොටසක් කරමින් සිටින බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත. එහි තවත් පියවරක් ගෙන එමින් ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහනයේ අලුත්ම සන්ධිස්ථානයකට ආරම්භයක් ඊයේ(02) දින සනිටුහන් කෙරිනි.

ඒ, ජපන් රජය සහ යොකොහාමා නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වූ නවීකරණය කරන ලද, පහත් පත්ල සහිත (Low-floor) විශාල මෙට්‍රෝ බස් රථ 07 ක් නිල වශයෙන් රජය වෙත භාරදීමත් සමගිනි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක ගේ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා ගේ ප්‍රධානත්වයෙන් තලංගම පිහිටි ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) ඒකාබද්ධ ඩිපෝවේදී මෙම ඓතිහාසික භාරදීම සිදු කෙරුණි.

අපේ සල්ලි අපිටම පෙරළා ගන්න හැටි..
කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලෙස ගෙන ආ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය පෙර රජය විසින් හදිසියේ අවලංගු කිරීම නිසා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 840 කට අධික වන්දියක් ගෙවීමට සිදුවිය. එම පසුබිම යටතේ කොළඹ නාගරික ප්‍රවාහනය සඳහා වඩාත් පිරිවැය-ඵලදායී කඩිනම් විසඳුමක් ලෙස මෙම මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත. ඊට සහය පළ කරමින් ජපන් රජය සිය GGP වැඩසටහන යටතේ රුපියල් මිලියන 112 ක (ඇ.ඩො. 362,476) ප්‍රදානයක් මේ සඳහා ලබා දී තිබේ.
මෙම බස් රථවල ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහි පවතින "නිහඬ බවයි". සාමාන්‍ය බස් රථයක ඇති ඝෝෂාකාරී එන්ජින් ශබ්ද හෝ කන් බිහිරි කරවන සංගීතය මෙහි නැත. යුරෝපීය හා ජපන් ප්‍රමිතීන්ට අනුකූල නිහඬ වැඩ කොටසක් සහිත මෙම සම්පූර්ණ වායු සමනය කළ කුටිය තුළ මගීන්ට ඉතා සුවපහසුවෙන් ගමන් කළ හැක. මීට අමතරව රියදුරන්ට අධික වේගයෙන් ධාවනය කිරීමට අවශ්‍යතාවක් නොවන පරිදි වේග පාලක (Speed limiters) සහ ජීපීඑස් පද්ධති ද මීට එක්කර තිබේ.

පොදු ප්‍රවාහනයක් සැබවින්ම පොදු වන්නේ එය සැමට භෞතික බාධාවකින් තොරව භාවිත කළ හැකි වූ විටය. මෙම නව බස් රථ සතු "පහත් පත්ල" (Low-floor) තාක්ෂණය නිසා පදික වේදිකාවේ සිට කිසිදු පියගැටපෙළක් නොමැතිව රථයට ගොඩවිය හැක. ගර්භනී මව්වරුන්ට, කුඩා දරුවන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙය මහත් සහනයකි. විශේෂයෙන්ම ආබාධිත ප්‍රජාවට බස් රථයට ඇතුළු වීමට විශේෂිත ආනත තලයක් (Ramps) සහ ආරක්ෂිතව ගමන් කිරීමට විශේෂිත ඉඩකඩක් (Wheelchair Bays) වෙන් කර ඇත. රියදුරන්ට සහ සහයකයින්ට මූලික සංඥා භාෂාව (Sign Language) පුහුණු කර තිබීමද සුවිශේෂී ප්‍රවේශයකි.
නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වූ මෙම සේවාව සඳහා "LMT-GO" නමින් පූර්ණ ඩිජිටල් ජංගම යෙදුමක් ද හඳුන්වා දී තිබේ. මේ හරහා මගීන්ට බස් රථය පැමිණෙන වේලාව සජීවීව බලාගත හැකි අතර (Live GPS Radar), ගමන් ගාස්තුව මුදල් රහිතව QR කේතයක් හරහා ස්වයංක්‍රීයව ගෙවීමටද හැකියාව පවතී. කොන්දොස්තරවරුන් සමග ඉතිරි මුදල් සම්බන්ධයෙන් ඇතිවන ගැටුම් මෙයින් මුළුමනින්ම නිමාවට පත්වේ.
වර්තමානය වන විට CM01 සිට CM08 දක්වා විධිමත් මාර්ග ජාලයක් ඔස්සේ කොළඹ ජාතික රෝහල, මහරගම අපේක්ෂා රෝහල වැනි ප්‍රධාන මධ්‍යස්ථාන ආවරණය කරමින් මෙම බස් රථ ධාවනය වේ. ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වන නිවේදන පද්ධති සහ ඩිජිටල් ගෙවීම් පහසුකම් හේතුවෙන් විදේශිකයින්ට ද කිසිදු බියකින් තොරව කොළඹ නගරයේ ගමන් කිරීමට අවකාශ සැලසී ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද ඉමහත් පිටිවහලකි.

මගී ප්‍රතිචාර ඉහළ මට්ටමක පැවතියද පෞද්ගලික බස් කර්මාන්තය විසින් මෙම ව්‍යාපෘතිය දැඩිව විවේචනය කරනු ලබයි. එහෙත් පෞද්ගලික වාහන භාවිතය අවම වීමෙන් රටට ඉතිරි වන ඉන්ධන වියදම සහ මගීන්ට ඉතිරි වන ඵලදායී කාලය සැලකූ විට මෙහි ජාතික සාර්ව ආර්ථික ප්‍රතිලාභය අතිමහත්ය. අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන පරිදි, නාගරීකරණයත් සමග කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් යනු තවදුරටත් සුඛෝපභෝගී අංගයක් නොව මූලික මහජන අයිතිවාසිකමකි.
ජපානයෙන් හිමිවූ මෙම බස් රථ 07 න් සහ "ක්ලීන් ශ්‍රීලංකා" වැඩසටහනෙන් මිලදී ගත් බස් රථ 100 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම ව්‍යාපෘතිය නුදුරේදීම මහනුවර, ගාල්ල, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රධාන නගර කරා ද ව්‍යාප්ත වනු ඇත.
මූලාශ්‍ර සහ උපුටා ගැනීම්:
- ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු දත්ත
- ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා (Akio Isomata) මහතාගේ ප්‍රකාශ
- ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) නිල මාර්ග ප්‍රකාශන සහ දත්ත තොරතුරු

