ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
(IMF) සමග ඇතිකරගත් එකඟතා මත දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් පවතින තීරණාත්මක වකවානුවකි. මෙහිදී රජයේ පැවැත්ම උදෙසා ආදායම් ඉහළ නැංවීම අතිශය වැදගත් වී ඇත.
රජයේ සමස්ත මූල්‍ය ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව යන ප්‍රධාන ආයතන ත්‍රිත්වය මතය. එහෙත්, මේ වන විට සුරාබදු ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන මත්පැන් බෝතල් සඳහා වූ ආරක්ෂිත ස්ටිකර් සහ ඩිජිටල් සලකුණු පද්ධතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආශ්‍රිතව සිදුවෙමින් පවතින අක්‍රමිකතා හේතුවෙන් සමස්ත ජාතික ආර්ථිකයම දැඩි අවදානමකට ලක්ව තිබේ.
ටෙන්ඩරය කල් දැමීමේ සැඟවුණු අරමුණ
මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කිරීමේ කාලය එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා දක්වා දීර්ඝ කරමින් මෑතකදී පුවත්පත්වල දැන්වීමක් පළ විය. මෙය මතුපිටින් බලන කල "නව ලංසුකරුවන්ට අවස්ථාව ලබාදීම" වැනි සාමාන්‍ය පරිපාලනමය ක්‍රියාවක් ලෙස පෙනුණද, මෙහි අභ්‍යන්තරයේ ඇත්තේ අතිශය සංකීර්ණ ආයතනික ග්‍රහණය කරගැනීමකි.
සුරාබදු කොමසාරිස් ජනරාල් විශ්‍රාමික නාවික කොමදෝරු එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න සහ ආදායම් අධිකාරියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රේමලාල් යන නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීම මත මෙම කාලය දීර්ඝ කිරීම සිදුකර ඇති බවට ප්‍රබල සාක්ෂි පවතින බව පසුගියදා මාධ්‍යයන්හි පළ වී තිබුණි. මෙහි සැබෑ අරමුණ වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් ආයුධයක් කරගනිමින්, දැනටමත් කොන්ත්‍රාත්තුව හොබවන ඉන්දියාවේ Madras Security Printers (MSP) සමාගමට තවත් වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත්තුව නීත්‍යානුකූලවම තහවුරු කර දීම බවත්, මෙය අදාළ සමාගමේ දේශීය නියෝජිතයෙකුගේ උපායමාර්ගික මෙහෙයවීමක් මත සිදුවන්නක් බවටද එකී මාධ්‍යවලින් කරුණු ඉදිරිපත් කර තිබුණී. කෙසේ වුවද මේවා සත්‍ය වුවත් කටකතා වුවත් අදාළ ටෙන්ඩර් පරිපාටීන් නියමිත ලෙස ක්‍රියාත්මක නොවීම තුළ ජනතාව තුළ සැක සංකා පහළවීම සාධාරණය.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදයන් සහ ඊළඟ වසරට ඇදෙන ටෙන්ඩරය
මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය කල්දැමීම තුළින් නිර්මාණය වන වාසිය තේරුම් ගැනීමට නම් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පියවරයන් වටහා ගත යුතුය. ලංසු භාරගැනීම සැප්තැම්බර් 22 අවසන් වූ පසු, නව සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය ප්‍රදානය කිරීම දක්වා දීර්ඝ ක්‍රියාවලියක් පසුකළ යුතුව ඇත.


පළමුව, දින 1ත් 3ත් අතර කාලයකදී ලංසු විවෘත කිරීම සිදුකරන අතර, ඉන්පසුව සති 1ත් 2ත් අතර කාලයක් පුරා ලංසුකරුවන්ගේ මූලික තොරතුරු සහ ලේඛන පිළිබඳව මූලික පරීක්ෂාවක් සිදුකරයි. ඉන් අනතුරුව එළඹෙන තාක්ෂණික ඇගයීම අතිශය සංකීර්ණ අවධියක් වන අතර, එහිදී ආරක්ෂක පියවර, නිෂ්පාදන ධාරිතාව, මුද්‍රණ තාක්ෂණය සහ මෘදුකාංග පද්ධති පිළිබඳව පරීක්ෂා කිරීමට මාස 1ත් 2ත් අතර කාලයක් ගතවේ. ඉන්පසුව සමාගමේ ජාත්‍යන්තර පළපුරුද්ද සහ මූල්‍ය හැකියාවන් ඇගයෙන සුදුසුකම් පරීක්ෂාවට සති 2 සිට 3 දක්වා කාලයක් ද, මිල ලංසු ඇගයීම සඳහා තවත් සති 2 සිට 3 දක්වා කාලයක් ද ගතවනු ඇත.
මෙම ඇගයීම් අවසානයේ කමිටු නිර්දේශය ඉදිරිපත් කිරීමට සතියක පමණ කාලයක් ගතවන අතර, ප්‍රසම්පාදන කමිටුවේ අවසන් තීරණය සඳහා සති 2 සිට 4 දක්වා කාලයක් වැය වේ. අවසානයේ කැබිනට් අනුමැතිය සහ ප්‍රදාන ලිපිය නිකුත් කිරීමට තවත් සති 2ත් 4ත් අතර කාලයක්ද, කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට සති 2ක්ද, නිසි පරිදි භාණ්ඩ නිෂ්පාදනය කර භාරදීමට තවත් මාස 1ත් 2ත් අතර කාලයක්ද අවශ්‍ය වේ.
මෙතරම් දීර්ඝ ක්‍රියාවලියක් සැප්තැම්බර් අග භාගයේ ආරම්භ වූ විට එය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දක්වා ඇදී යයි. අදාළ මාස ද්විත්වය යනු මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ජාතික අයවැය සකස් කිරීමේ අතිශය කාර්යබහුල ක්‍රියාවලියක නිරත වන කාලසීමාවයි. එබැවින් මෙම ටෙන්ඩරය 2027 ජනවාරි මාසයට පෙර කිසිසේත්ම අවසන් කළ නොහැක. රජයට ස්ටිකර් නොමැතිව මත්පැන් අලෙවි කළ නොහැකි බැවින්, නව ටෙන්ඩරය අවසන් වනතුරු දැනට සිටින MSP සමාගමෙන්ම තවදුරටත් අනිවාර්යයෙන්ම සේවා ලබාගැනීමට රජයට සිදුවේ. සුරාබදු බලධාරීන් විසින් සූක්ෂම ලෙස නිර්මාණය කර ඇත්තේ මෙම වාතාවරණය තුළය යන මතය ඇතිවීමට ඇති සාධාරණ හේතු මේවාය.
Madras Security Printers (MSP) හි කළු පැල්ලම්

සුරාබදු බලධාරීන් මෙලෙස ආරක්ෂා කරන ඉන්දියාවේ චෙන්නායි නුවර මූලස්ථානය කරගත් MSP සමාගම යනු ගෝලීය වශයෙන් අතිශය දූෂිත ඉතිහාසයක් ඇති සමාගමකි. කෙන්යාවේ ප්‍රමිතියෙන් තොර විෂ සහිත සීනි සහ පොහොර සඳහා ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කිරීමේ ජාවාරමක් හේතුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 9 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර පොලිස් වරෙන්තු (Interpol Red Notices) පවා නිකුත් වී ඇති බවට වාර්තාවන්හි සඳහන්ය. ලයිබීරියාවේ සහ දකුණු සුඩානයේ බදු මුද්දර මුද්‍රණය කිරීමේදී ද මෙම සමාගමට මෙවැනිම චෝදනා එල්ල වී ඇති අතර, මොරිෂස් රාජ්‍යය විසින් සිය බැංකු පද්ධතිය සඳහා මොවුන්ට ලබා දී තිබූ අනුමැතිය ද අවලංගු කර ඇත.
ශ්‍රී ලංකාවේ යෝජිත ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ලංසු ඉදිරිපත් කළ අවස්ථාවේදී ද ටෙන්ඩරය තමන්ට වාසිදායක වන අයුරින් හසුරුවා ගැනීමට උත්සාහ කිරීම නිසා ශ්‍රී ලංකා රජය විසින් මොවුන්ව නුසුදුසුකම් කර (Disqualified) ටෙන්ඩරය අවලංගු කරන ලදී. වඩාත්ම බරපතල කරුණ වන්නේ, MSP සමාගමේ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් හේතුවෙන් ශ්‍රී ලංකා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 60ක පමණ දැවැන්ත ආදායමක් අහිමි වන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කමිටුව විසින් මෑතකදී අනාවරණය කිරීමයි.
බදු න්‍යාය බිඳවැටීම සහ ජනතාව පිට බර පැටවීම
ආර්ථික විද්‍යාවට අනුව මත්පැන් වැනි සමාජයට අහිතකර භාණ්ඩ මත පනවන බදු හඳුන්වන්නේ "පිගූවියානු බදු" ලෙසිනි. මෙහි අරමුණ වන්නේ මත්පැන් පානය කිරීමෙන් සමාජයට හා සෞඛ්‍ය පද්ධතියට සිදුවන පිරිවැය, එය පරිභෝජනය කරන පුද්ගලයාගෙන්ම අයකර ගැනීමයි. එහෙත් ව්‍යාජ ස්ටිකර් හරහා සිදුවන වංචාව නිසා මෙම න්‍යාය මුළුමනින්ම කඩා වැටේ. පාරිභෝගිකයා බදු මුදලද සහිතව බෝතලය මිලදී ගත්තද, එම බද්ද රජයට නොගොස් ජාවාරම්කරුවන්ගේ සාක්කුවලට යයි. සමාජ හානිය එලෙසම පවතිද්දී රජයට ආදායම අහිමි වේ.
බොන නොබොන හැමෝටම බදු
මෙම වංචාව හේතුවෙන් භාණ්ඩාගාරයට අහිමි වන රුපියල් බිලියන 60ක දැවැන්ත මූල්‍ය හිඩැස පියවා ගැනීමට රජයට සිදුවන්නේ වක්‍ර බදු හරහාය. ශ්‍රී ලංකාවේ බදු ආදායමෙන් 77.4% ක්ම උපයන්නේ භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු හරහාය. මෙම බිලියන 60ක පාඩුව පියවීම සඳහා 2024 ජනවාරි සිට එකතු කළ අගය මත බද්ද (VAT) 15% සිට 18% දක්වා ඉහළ නංවන ලද අතර, ළදරු කිරිපිටි, පාසල් උපකරණ, පෙට්‍රල්, ඩීසල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ 97කට පමණ වැට් බද්ද අලුතින් පනවන ලදී.
මත්පැන් පානය නොකරන සාමාන්‍ය මවක් තම දරුවාට කිරිපිටි හෝ පාසල් පොත් මිලදී ගැනීමේදී මේ 18% ක බද්ද ගෙවන්නේ අන් කිසිවකටත් නොව, සුරාබදු නිලධාරීන් සහ MSP සමාගම එක්ව ව්‍යාජ ස්ටිකර් හරහා රජයට අහිමි කළ බදු මුදල පියවීම සඳහාය. මෙය ආර්ථික විද්‍යාවේදී "බදු බර විස්ථාපනය වීමක්" ලෙස හැඳින්වේ. නිසි ස්ටිකරයක් ඇලවුණේ නම් බොන පුද්ගලයා විසින් ගෙවන බද්ද, මේ වන විට සමාජයේ සිටින දුප්පත්ම සහ මත්පැන් පානය නොකරන ජනතාව මත වක්‍ර බදු ලෙස පතිත වී ඇත.

කෝප් (CoPF) කමිටු අනාවරණය
පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අනාවරණය වූයේද මීට අදාළ තවත් මූල්‍ය අපරාධයකි. සාම්ප්‍රදායික කඩදාසි ස්ටිකර් 1000ක් මුද්‍රණය කිරීමට අමෙරිකානු ඩොලර් 5.99ක් ගෙවන රජය, කඩදාසි හෝ ප්‍රවාහන පිරිවැයක් නොමැති ඩිජිටල් ඉන්ක්ජෙට් (Digital inkjet) කේත 1000ක් මුද්‍රණය කිරීමටද එම සමාගමටම ඩොලර් 5.99ක මුදලක්ම ගෙවයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ස්ටිකරයේ සත්‍යතාව පරීක්ෂා කළ හැකි ජංගම යෙදුමක් (Mobile App) හඳුන්වා දෙන ලෙස කමිටුව නිර්දේශ කළද, සුරාබදු බලධාරීන් ඒ වෙනුවට සිදුකර ඇත්තේ ටෙන්ඩර් කාලය කල්දමමින් මෙම වංචාවට තවත් වසරක් කල් ලබා දීමයි.
මේ අනුව අපගේ අදහස වන්නේ ස්ටිකර් ටෙන්ඩරය දීර්ඝ කිරීම හුදු පරිපාලන තීරණයක් නොව රාජ්‍ය ආදායම් කඩාකප්පල් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් බවය. පරිපාලන ප්‍රමාදයන් සහ අයවැය කාර්යබහුලත්වය දඩමීමා කරගනිමින් අතිශය දූෂිතයැයි වාර්තා තබා ඇති MSP සමාගමට 2027 තෙක් ඒකාධිකාරිය පවත්වාගෙන යාමට මෙයින් ඉඩ සැලසේ. මෙයින් අහිමි වන බිලියන 60ක පාඩුව පියවන්නේ මත්පැන් බිඳක් හෝ පානය නොකරන රටේ අහිංසක පුරවැසියන්ගේ දෛනික ජීවන වියදමට එකතු වූ 18% ක වැට් බද්දෙනි. රාජ්‍ය ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ අපරාධ විමර්ශන ආයතන වහාම මෙයට මැදිහත් නොවුණහොත්, බොන නොබොන සමස්ත ජාතියටම මෙම දූෂණයේ වින්දිතයින් වීමට අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.
# සමාරා පරණවිතාන
මූලාශ්‍ර: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභා (CoPF) වාර්තා සහ ක්‍රම සහ විධි පිළිබඳ කමිටු වාර්තා.
Right to Reply
As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.
Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]
Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

