හුදෙකලා වූ කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස බොහෝ දෙනෙකු චීනය දෙස බැලුවද, අද වන විට
ලෝකයේ ඉහළම තාක්ෂණික හා ඩිජිටල් සංවර්ධනයක් අත්පත් කරගත් රාජ්‍යයක් බවට චීනය පත්ව ඇත. බුලට් දුම්රියේ වේගයේ සිට ඩිජිටල් ආර්ථිකය දක්වා ඔවුන් පැමිණි ගමන ශ්‍රී ලංකාවට කියා දෙන්නේ විශාල පාඩමකි.
කොවිඩ් වසංගතයෙන් පසුව චීනයට ගිය ප්‍රථම ශ්‍රී ලාංකික මාධ්‍යවේදියා වන 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ සහ සම හිමිකරු කැළුම් ශිවන්ත රොද්‍රිගූ, මෑතකදී 'සියනෙත රූ' (Siya netha Roo) යූටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් චීනයේ සංවර්ධනය සහ එරට මාධ්‍ය භාවිතාව පිළිබඳව සිය පුළුල් අත්දැකීම් බෙදා ගත්තේය. එහිදී ඔහු අවධාරණය කළේ, ශ්‍රී ලාංකීය මාධ්‍ය නිතරම සමාජයේ අඩුපාඩු හෙළිදරව් කිරීමට පමණක් සීමා වී ඇති පසුබිමක, චීන මාධ්‍ය කලාව සිය රටේ සංවර්ධනය සහ අනාගත දැක්ම කෙරෙහි ජනතාව මෙහෙයවන ආකාරය අපට විශාල ආදර්ශයක් බවයි.
CCTV+ සහ WCIC වැනි ජාත්‍යන්තර චීන මාධ්‍ය ජාලයන් සමඟ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ඇති කරගෙන තිබෙන නවතම මාධ්‍ය සහයෝගීතාවයන් පිළිබඳවත්, චීනයේ විවිධ පළාත්වල සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් සිදු කර ඇති දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී පුළුල්ව අවධානය යොමු කෙරේ.
"අපි කොපි කරනවා නම්, කොපි කළ යුත්තේ චීනයේ සංවර්ධන ආකෘතියයි. එතකොට අපිට අඩියක් හරි ඉස්සරහට යන්න පුළුවන්," යනුවෙන් ඔහු ලාංකීය තරුණ පරපුරට දෙන පණිවිඩයද මෙම සාකච්ඡාවේ ඇතුළත් වේ.
සංස්කරණය කරන ලද සම්පූර්ණ වීඩියෝ සාකච්ඡාව පහතින් සම්මුඛ සාකච්ඡා සටහන පහත පළවේ.
සියනෙත රූ: 'සියනෙත රූ' යූටියුබ් නාලිකාව හරහා අද අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ ජාත්‍යන්තර මාධ්‍යකරණය සහ සංවර්ධනය පිළිබඳව පුළුල් අත්දැකීම් ලැබූ මාධ්‍යවේදියෙකු සමඟයි. ඔහු 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ සහ සම හිමිකරු කැළුම් ශිවන්ත රොද්‍රිගූ මහතායි. ආයුබෝවන් ඔබතුමාට!
සියනෙත රූ: වෘත්තීය මාධ්‍යවේදියෙක් විදිහට මේ දවස්වල මොනවද කරන්නේ?
කැළුම් ශිවන්ත: මේ දවස්වල දේශපාලන ක්ෂේත්‍රයේ තියෙන අර්බුද, විශේෂයෙන්ම බන්ධනාගාර ප්‍රශ්න වගේ කාරණා නිසා මාධ්‍ය කටයුතු තරමක් කාර්යබහුලයි. ඊට අමතරව චීනය සමඟ අපි කරන අලුත් වැඩසටහනකට අදාළව කණ්ඩායමක් මේ මාසේ 14 වෙනිදා ඉඳලා 18 වෙනිදා දක්වා ලංකාවේ සංචාරයක නිරත වෙන්න නියමිතයි. ඒ වෙනස් මාධ්‍ය අත්දැකීම සඳහාත් අපි සූදානම් වෙනවා.
සියනෙත රූ: 2016 වසරේදී ඔබ චීනයට ගියා. එහිදී බුලට් දුම්රියක (Bullet Train) ගමන් කිරීමේ අත්දැකීමක් ලැබුවා. ඒ පළමු අත්දැකීම කොයි වගේද?
කැළුම් ශිවන්ත: මම 2016 චීනයට යන අවස්ථාවේ මට චීනය ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ලංකාවේ බොහෝ දෙනෙකුට තිබුණේ චීනය කියන්නේ ආවෘත රටක්, එහෙමත් නැත්නම් හුදෙකලා වූ කොමියුනිස්ට් රටක් කියන සංකල්පය. නමුත් චීනයට ගිහින් බීජිං ඉඳලා ෂැංහයි දක්වා බුලට් කෝච්චියක ගමන් කරනකොට මට ලොකු වෙනසක් දැනුණා. ඒ කෝච්චියට නැග්ගට පස්සේ ඊළඟ ස්ටේෂන් එකට එනකන් ඒක හෙල්ලෙන්නෙවත් නැහැ. ස්ටේෂන් ඇතුළේ ජනතාවගේ තිබුණු හික්මීම සහ ඒ නව තාක්ෂණය අදටත් අපිට ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මම නැවත නැවත යනකොට ඒ තාක්ෂණය තවත් දියුණු වෙලා. චීනය කොයි තරම් ඉස්සරහෙන්ද ඉන්නේ කියන එක එතකොට අපිට දැනෙනවා.
සියනෙත රූ: කොවිඩ් වසංගතයෙන් පසුව චීනයට ගිය පළමු මාධ්‍යවේදියා වන්නේ ඔබයි. මේ පිළිබඳව විස්තර කළොත්?
කැළුම් ශිවන්ත: ඔව්, 2022 දී මම චීනයට යනවා. ඒ කාලේ කොරෝනා ආරක්ෂිත ඇඳුම් (PPE Kits) පවා ඇඳගෙන තමයි යන්න වුණේ. CIPCC (China International Press Communication Center) ආයතනය සංවිධානය කරපු මාස හයක නේවාසික වැඩසටහනකට මට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒක චීනය ගැන හොඳ හැදෑරීමක් කරන්න ලැබුණු විශාල අවස්ථාවක්. චීන ජනතාවගේ ආහාර රටාව, සංස්කෘතිය, ක්‍රීඩාව වගේ සෑම අංශයක්ම නිරීක්ෂණය කරන්න මට අවස්ථාව ලැබුණා.
සියනෙත රූ: ඒ අත්දැකීම ලංකාවේදී ඔබේ වෘත්තීය ජීවිතයට කොහොමද බලපෑවේ?
කැළුම් ශිවන්ත: ලංකාව ඇතුළේ චීනය ගැන විවිධ මත නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අපි දැක්කා චීන රූපවාහිනී සහ පුවත්පත් සෑමවිටම කතා කරන්නේ 'සංවර්ධනය' ගැනයි. ඔවුන් ළඟා කරගත යුතු අනාගත සංවර්ධනය ගැන ඔවුන් නිතර කතා කරනවා. හැබැයි ලංකාවේ මාධ්‍ය ඇතුළේ අපි දකින්නේ නිතරම අඩුපාඩු ගැන කතා කරන එක විතරයි. ඒ අඩුපාඩු වලින් පසුව අපි කොතැනටද යන්න ඕනේ කියන සාකච්ඡාව අපේ මාධ්‍ය තුළ නැහැ. චීනය අවුරුදු 10ක් ඇතුළත ලබාගත්ත අති දැවැන්ත සංවර්ධනයට හේතුව ඔවුන්ගේ ඒ දීර්ඝකාලීන සැලසුම් සහ තාක්ෂණය කෙරෙහි තැබූ දැඩි විශ්වාසයයි. ලංකාවට චීනයෙන් ගන්න තියෙන්නේ අන්න ඒ සංවර්ධන ආකෘතියයි. වෙන කිසිවක් නෙවෙයි.
සියනෙත රූ: චීනයේ විවිධාංගීකරණය වූ සංස්කෘතිය පළාතෙන් පළාතට ඔබ දුටුවේ කොහොමද?
කැළුම් ශිවන්ත: මම බීජිං, ෂැංහයි, චොංචිං (Chongqing), ටියැන්ජින් (Tianjin), චෙන්දූ (Chengdu), හංජෝ (Hangzhou), ෂියාන් (Xi'an), කුන්මිං (Kunming) සහ උරුම්චි (Urumqi) වගේ නගර ගණනාවකට ගියා. නගරයෙන් නගරයට දියුණුවේ සහ සංස්කෘතියේ වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට මුස්ලිම් ජනතාව වෙසෙන උරුම්චි ප්‍රදේශයේ ඔවුන්ගේ පැරණි සංස්කෘතිය සහ නිවාස ඒ විදිහටම ආරක්ෂා කරමින් තමයි සංවර්ධනය කරලා තියෙන්නේ. පැරණි කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය එකතු කරලා තියෙනවා. ෂැන්ඩොං (Shandong) වගේ ධීවර කර්මාන්තය බහුල ප්‍රදේශයක දැවැන්ත සුළං විදුලි බලාගාර නිර්මාණය කරලා තියෙනවා. බීජිං ගත්තම ඒකේ තියෙන කාර්යබහුලත්වයට හරියන විදිහට කෑම ගෙන්වා ගන්න, භාණ්ඩ ප්‍රවාහනයට සම්පූර්ණයෙන්ම ඇප් (Apps) සහ ඩිජිටල් ක්‍රමවේද භාවිතා වෙනවා.
සියනෙත රූ: චීනයේ තිබෙන මාධ්‍ය නාලිකා සමඟ සම්බන්ධ වෙලා වැඩ කරන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අත්දැකීම කොහොමද?
කැළුම් ශිවන්ත: අදට අවුරුදු හතකට විතර කලින් චීනයේ CCTV+ නාලිකාව සමඟ සහයෝගීතා වැඩසටහනකට යන්න අපිට අවස්ථාව ලැබුණා. ජාත්‍යන්තර දියුණු මාධ්‍ය ආයතන සමඟ සම්බන්ධතාවක් ඇතිකර ගැනීමේ පූර්වාදර්ශය අපි 'ශ්‍රී ලංකා මිරර්' හරහා ලබා දුන්නා. අද අපේ වෙබ් අඩවියේ CCTV+ වෙනුවෙන් වෙනම පිටුවක් තියෙනවා. ඒ වීඩියෝ අපි සිංහල භාෂාවෙන් හඬකවලා (Narration) ලංකාවේ ජනතාවට ලබා දෙනවා. ඒ වගේම චොංචිං වල WCIC (Western China International Communication Organization) එකත් එක්කත් අපි වැඩසටහනක් කරනවා. චීනයේ ජාතික රූපවාහිනිය සහ ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් වෙනුවෙන් පිටු දෙකක් වෙන් කරපු ලංකාවේ තියෙන එකම වෙබ් නාලිකාව අපියි කියන එක මම ආඩම්බරයෙන් කියනවා.
සියනෙත රූ: මේ අත්දැකීම් ගොන්න පිටුපස ඔබට උදව් උපකාර කළ පිරිසක් ඇති. ඒ අයව කොහොමද මතක් කරන්නේ?
කැළුම් ශිවන්ත: මුලින්ම මේ අවස්ථාව සලකා දුන් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති නලින් අපොන්සු මහතා ඇතුළු කණ්ඩායමට මම ස්තූතිවන්ත වෙනවා. ඊටපස්සේ CIPCC ප්‍රධානී යු ලෙයි (Mr. Yu Lei) මහතාට බොහොම ස්තූතියි, මේ සම්බන්ධතා ගොඩනඟා ගන්න ඔහු විශාල සහයෝගයක් දුන්නා. ඒ වගේම අවුරුදු හතක් පුරා මාත් එක්ක හිටපු CCTV+ කණ්ඩායමට සහ දැන් අපිත් එක්ක වැඩ කරන WCIC කණ්ඩායමටත් මම ස්තූතිවන්ත වෙනවා.
සියනෙත රූ: ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට, විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වෙන අයට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
කැළුම් ශිවන්ත: ලංකාව කියන්නේ කුඩා දිවයිනක්. අපිට ජාත්‍යන්තර අත්දැකීම් ගන්න නම් වෙනත් රටකට පියාසර කරන්නම වෙනවා. අපිට දිගුකාලීන සැලසුම් හැදෙන බවක් පේන්නේ නැහැ. ඒ නිසා මම තරුණ පරපුරට දෙන උපදේශය තමයි, අපි කොපි කරනවා නම් කොපි කළ යුත්තේ චීනයයි. එහෙම කළොත් අපිට අඩියක් හරි ඉස්සරහට යන්න පුළුවන්.

