SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- මහාධිකරණයේදී නිරුවත් වූ සෞඛ්‍ය පද්ධතියේ ඛේදවාචකය

 

රුපියල් කෝටි 14කට අධික මහජන මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කරමින්, ප්‍රමිතියෙන් තොර

ව්‍යාජ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සැපයීම සම්බන්ධයෙන් අයිසොලෙස් බයෝටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පසුගියදා (25) යළි විභාගයට ගැනිණි.

 

 

ඊයේ දිගහැරුණු සාක්ෂි විභාගය, හුදෙක් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ වංචාවකට එහා ගිය බිහිසුණු සත්‍යයක් සමාජයට අනාවරණය කළේය. එනම්, මෙම දැවැන්ත දූෂණය සිදුව ඇත්තේ තනි පුද්ගල සාධකයක් මත නොව, සමස්ත රාජ්‍ය සෞඛ්‍ය යාන්ත්‍රණයම දූෂිතයින්ට රිසි සේ කටයුතු කළ හැකි පරිදි දුර්වලව සහ වගකීම් විරහිතව සකස් වී ඇති නිසා බවයි.

 

ජාතික තත්ත්ව රසායනාගාරයේ ඖෂධවේදිනියක වන ඉශානි සඳමාලි ගේ සාක්ෂි විභාගය ඔස්සේ මෙම පද්ධතිමය බිඳවැටීම මනාව ඔප්පු විය.

 

 Rituximab - MEpedia

මාස තුනක් ප්‍රමාද වූ පරීක්ෂණ සහ බැක්ටීරියා පිරුණු ඖෂධ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ගේ මෙහෙයවීම යටතේ අනාවරණය වූ කරුණු අනුව, ලයිව් හෙල්ත් බයෝ ෆාමා ආයතනයෙන් සැපයූ ඖෂධවල පැහැදිලිවම බැක්ටීරියා සහ එන්ඩෝටොක්සින් අඩංගු වී තිබී ඇත. එහෙත්, මෙම පරීක්ෂණ ක්‍රියාවලිය තුළ ඇති ආයතනික මන්දගාමීත්වය විනිසුරු මඩුල්ලේ දැඩි විමසිල්ලට ලක් විය.

 

විනිසුරු විරාජ් වීරසූරිය:

සාම්පල භාරගත්තේ අගෝස්තු 23. පරීක්ෂණ පටන් ගත්තේ නොවැම්බර් 9.

සාක්ෂිකාරිය:

ඔව් ස්වාමීනි.

විනිසුරු:

නොවැම්බර් නමයට පෙර කිසිදු අවස්ථාවක පරීක්ෂාවට භාජනය කළේ නැද්ද?

සාක්ෂිකාරිය:

නැහැ ස්වාමීනී.

 

 

ජීවිතාරක්ෂක ඖෂධයකට අදාළව අගෝස්තු මාසයේ ලැබුණු සාම්පලයක් පරීක්ෂා කිරීම නොවැම්බර් මාසය දක්වා ප්‍රමාද වීම යනු, එම කාලය තුළ දහස් ගණනක් රෝගීන්ගේ ශරීරවලට මෙම ව්‍යාජ ඖෂධය ඇතුළු වීමට පද්ධතිය විසින්ම ඉඩ හැරීමකි. මෙය හුදු ප්‍රමාදයක් නොව, දූෂිත සැපයුම්කරුවන්ට සිය ගනුදෙනු අවසන් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය විසින්ම ලබා දුන් කදිම 'කාලයක්' බව මෙමගින් තාර්කිකව ගම්‍ය වේ.

 

 

Intravenous Immunoglobulin (IVIg) / IVIG 5gm / 100ml | Camvitaa

පිළිකා ඖෂධ පරීක්ෂා නොකරන 'ජාතික' රසායනාගාරය

රාජ්‍ය යාන්ත්‍රණයේ සිදුරු කෙතරම් විශාලද යන්න වඩාත් තීව්‍ර ලෙස හෙළි වූයේ පිළිකා රෝගීන් සඳහා ගෙනෙන රිටක්සිමැබ් ඖෂධය සම්බන්ධයෙනි. වයල් 40ක් රසායනාගාරයට ලැබී තිබුණද ඒවා පරීක්ෂා කර නොතිබිණි.

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:

පරීක්ෂා කළාද?

සාක්ෂිකාරිය:

නැහැ ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:

ඇයි ඒ? අංශ ප්‍රධානී ඒක නොකළේ මන්ද?

සාක්ෂිකාරිය:

ඒකට අපට සේෆ්ටි ලැබ් එකක් නැහැ. ඒ නිසා පිළිකා ඖෂධ පරීක්ෂා කරන්නේ නැහැ.

 

 

ආයතනයට 'සේෆ්ටි ලැබ්' එකක් (ආරක්ෂිත රසායනාගාරයක්) නොමැති වීම නැමැති පද්ධතිමය දුර්වලතාව, ව්‍යාජ ඖෂධ ජාවාරම්කරුවන්ට රජයේ රෝහල්වලට කිසිදු බියකින් තොරව ඖෂධ සැපයීමට ඇති කදිම පාරපතක් වී ඇත. රසායනාගාරයේ පහසුකම් නැති බව දන්නා ජාවාරම්කරුවන්, පද්ධතියේ මෙම දුර්වලතාවය තම මූල්‍ය අරමුණු සඳහා සෘජුවම භාවිතා කර ඇති බව මෙයින් ඔප්පු වේ.

 

 

IVIG Infusion: Uses, Procedure, Side Effects

 

පද්ධතියේ නිරුවත ආයුධයක් කරගැනීම

පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර භාණගල විසින් සාක්ෂිකාරියගෙන් ඇසූ හරස් ප්‍රශ්න මාලාව ඉතා තියුණුය. විත්තියේ අරමුණ වූයේ ජාතික තත්ත්ව රසායනාගාරයේ ප්‍රමිතියක් නොමැති බව පෙන්වා දෙමින් එහි පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කිරීමයි. එහිදී මතු කළ සෑම තර්කයක්ම රාජ්‍ය පද්ධතියේ පවතින අතිශය ඛේදජනක තත්ත්වය මනාව නිරූපණය කළේය.

 

නීතිඥ:

NMQAL එකේ ISO සහතිකය තිබේද?

සාක්ෂිකාරිය:

නැහැ. ඒත් ඒක ගයිඩ් ලයින් අනුගමනය කරනවා.

නීතිඥ:

එහෙමනම් ජාතික තත්ව ආරක්ෂණ සහතිකයවත් තියෙනවද?

සාක්ෂිකාරිය:

මම දන්නේ නැහැ.

නීතිඥ:

එය (රසායනාගාරය) කොපමණ කාලයකට වැලිඩේට් කරනවද?

සාක්ෂිකාරිය:

වැලිඩේට් කරන්නේ නැහැ. පිරිසිදු කිරීම් WHO අනුව කරනවා.

 

 

 Ministry Of Health Sri Lanka | Contact Us

 

 

ජාතික මට්ටමේ ඖෂධ රසායනාගාරයකට ISO සහතිකයක් හෝ නොමැති වීමත්, යන්ත්‍ර සූත්‍ර නිසි පරිදි වලංගුකරණය (Validate) නොකිරීමත් විත්තියේ නීතිඥවරයා ඉතා සූක්ෂමව මතු කළේය. එමෙන්ම, ලැබිනා ෆ්ලෝ (Laminar flow) පද්ධති භාවිතය, කැබිනට් නැවත භාවිතය සහ ජීවානුහරණ ක්‍රමවේදයන් පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.

 

 

තවද, රෝහල්වලින් ලැබුණු සාම්පල 90ක් සහ මාතර රෝහලෙන් ලැබුණු සාම්පල මුද්‍රා තබා (සීල් කර) තිබුණේද යන්නත්, ඒවා රිජිෆෝම් පෙට්ටිවල ගෙන ආවේද යන්නත් විත්තිය ප්‍රශ්න කළේ සාම්පල ලබාගැනීමේ නිවැරදි ක්‍රමවේදය අභියෝගයට ලක් කරමිනි.

 

 

නීතිඥ: රෝහල් පද්ධතිය තුළ කොපමණ භාවිතා කර තිබෙනවාද ඒ කාලය තුළ... 3000 ක් පමණ භාවිතා කර තිබුණා කියා දන්නවාද?

සාක්ෂිකාරිය: නැහැ ස්වාමීනී.

නීතිඥ: මරණ සිදුව ඇතැයි වාර්තා වුණාද?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනි.

නීතිඥ: ඔබගේ අංශය විසින් ලංකාවේ ඖෂධ වලින් මරණ හෝ සංකූලතා ඇතිවුණොත් පරීක්ෂා කරන බව දන්නවද?

සාක්ෂිකාරිය: දන්නේ නැහැ ස්වාමීනී.

 

 

ඖෂධවේදිනියක් ලෙස 'Withhold' (තාවකාලිකව නැවැත්වීම) සහ 'Withdraw' (මුළුමනින්ම ඉවත් කිරීම) යන ක්‍රියාවලීන් පිළිබඳව විත්තියේ නීතිඥවරයා ඇගෙන් ප්‍රශ්න කළ අතර, රෝහල් තුළ අනිවාර්යයෙන් කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳව ඇය තුළ ඇති නොදැනුවත්කම විත්තිය විසින් තම වාසියට හරවා ගනු ලැබිණි. මෙම සියලු තර්ක මගින් ඔප්පු වන්නේ කුමක්ද? දූෂිතයින් නීතියෙන් රිංගා යන්නේ පද්ධතියේ ඇති මෙම 'ප්‍රමිතියක් නොමැතිකම' සහ 'නිලධාරීන්ගේ නොදැනුවත්කම' නැමැති හිඩැස් හරහා බවයි.

 

 සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක් – srilankantribune.com

 

වගකීමෙන් පලා යන නිලධාරීවාදය

පද්ධතියේ ඇති වගකීම් විරහිතභාවය පිළිබඳ හොඳම උදාහරණය සපයන්නේ වෙනත් ඖෂධයක් (කෝ ඇමොක්සික්ලෝව්) සම්බන්ධයෙන් විනිසුරුවරයා නැගූ ප්‍රශ්නයකදීය.

 

 

විනිසුරු: දිගින් දිගටම මරණ වාර්තා වෙලා කියලා බැලූ බැල්මටම පේනවා.

සාක්ෂිකාරිය: ඒවාට අදාළ තීරණ ඉහළ නිලධාරීන් ගන්නේ... ඒක ජීව විද්‍යා අංශය බලන්නේ. ඒ ගැන මම දන්නේ නැහැ.

 

 

සෑම නිලධාරියෙකුම තමාගේ විෂය පථයෙන් පිටතට වගකීම තල්ලු කිරීම රාජ්‍ය සේවයේ පිළිලයකි. පරීක්ෂණ සඳහා සාම්පල භාරගන්නා ඖෂධවේදිනී චමනි හෙට්ටිආරච්චිගේ සාක්ෂියේදීද, සාම්පල භාරගැනීමේ ක්‍රියාවලියේ පවතින ලිහිල් ලේඛනගත කිරීම් පිළිබඳව (උසාවි නියෝග, පොලිස් නිලධාරියාගේ විස්තර, ලොග් ශීට් ආදිය පරීක්ෂා කිරීම) සාකච්ඡාවට ලක් විය.

 

කෝටි 14 ක ඖෂධ නඩුව හුදෙක් මුදල් වංචාවක් පමණක් නොවේ. පරීක්ෂණ මාස ගණනකින් ප්‍රමාද වීම, ජාතික රසායනාගාරවලට ජාත්‍යන්තර ප්‍රමිති සහතික නොමැති වීම, පිළිකා ඖෂධ පරීක්ෂා කිරීමට පහසුකම් නොමැති වීම සහ නිලධාරීන් එකිනෙකා මත වගකීම් පැටවීම යන කරුණු ඊයේ අධිකරණයේදී මනාව සනාථ විය.

 

 

දූෂණය යනු හදිසියේ අහසින් කඩා වැටෙන්නක් නොවේ. එයට වැඩිය හැකි පරිසරයක් පද්ධතිය විසින්ම නිර්මාණය කර දී ඇත. මෙම නඩු වාර්තාවෙන් තාර්කිකව ඔප්පු වන්නේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය යනු දූෂිත ව්‍යාපාරිකයන්ට, දේශපාලඥයින්ට සහ නිළධාරීන්ට  මහජන ජීවිත සමඟ සූදු කෙළිය හැකි පරිදිම සකස් වී ඇති, ඇතුළතින් කුහර වූ ඛේදවාචකයක් බවයි.

 

 

 HC rejects revision application from accused supplier of counterfeit immunoglobulin vaccines – The Island

 

නඩු වාර්තාව

2026/08/25

 

ව්‍යාජ ලෙස සකසන ලද ඖෂධ තොගයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි 14 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි කියන චෝදනාව ඇතුළු චෝදනා 14ක් යටතේ චූදිතයින් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව ඊයේ (25) යළි විභාගයට ගැනිණි.

 

එහිදී සාක්ෂි දීම සඳහා දෙවන දිනටත් කැඳවා තිබුණේ ජාතික තත්ත්ව රසායනාගාරයේ ඖෂධවේදිනියක වන ඉශානි සඳමාලිය.

 

තවදුරටත් නියෝජ්‍ය සොලිසිටර්  ජෙනරාල් ලක්මිණි ගිරිහාගම ගේ  මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ඇය මෙසේද කීවාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ මේ සාම්පල සම්බන්ධව කළ පරීක්ෂණ සාර්ථක නම් සිදුවිය යුතු කුමක්ද?

සාක්ෂිකාරිය ; සාර්ථක නම් එහි එන්ඩොක්සීන් නැත්නම් එය දියරයක්. එන්ඩොක්සීන් තිබේ නම්  නලය අංශක 180 ක් ඇල කළත් එය පහළට වැටෙන්නේ නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; (පරීක්ෂණ සම්බන්ධ පිටු පහකින් යුත් වාර්තාව පෙන්වයි) මේ වාර්තාවේ අත් අකුරු කාගෙද?

සාක්ෂිකාරිය ; මගේ පරීක්ෂණ දෙකක වාර්තා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවදද ඇරඹුවේ?

සාක්ෂිකාරිය ; එකක් 2023/11/09

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය ඇරැඹීමට පෙර සූදානම් වුණාද?

සාක්ෂිකාරිය ; ඔව් අටවැනිදා සවස සූදානම් වුණා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මීට පාවිච්චි කළ අයිතමය කුමක්ද?

සාක්ෂිකාරිය ; 39252 සාම්පලය

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ කාණ්ඩයට අයත් භාණ්ඩ ඔබේ යටතට ගත්තද?

සාක්ෂිකාරිය ; ශුද්‍ර ජීවී අංශ ප්‍රධානියා ලේඛන සියල්ල මට බාර දුන්නා

පැ 405 Iසිට V දක්වා ලේඛන පෙන්වයි.

යෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : මේවා හඳුනාගත හැකිද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කාගෙන්ද සාම්පලය ආවේ.?

සාක්ෂිකාරිය ; ජාතික රෝහලෙන් විස්සක් ඇවිත් තිබුණා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; මේ සමග එන ලේඛන මුල් පිටපත්ද ඡායාස්ථ පිටපත්ද?

සාක්ෂිකාරිය ; ආයතනයට මුල් ලේඛන ලැබී තිබෙනවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සාම්පල රෙජිස්ටර් කිරීමට සහභාගි වුනේ ඔබ නෙවෙයි

සාක්ෂිකාරිය ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : පැ 405 VII හි ලේඛන පෙන්වයි. කවදද මේවා ලියාපදිංචි කලේ

සාක්ෂිකාරිය; 2023/09/01

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අගෝස්තු 23 ලද සාම්පල සැප්තැම්බර් එක පරීක්ෂාව ආරම්භ කළේ.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; මුලින්ම කළේ මොනවාද?

සාක්ෂිකාරිය ; මුලින් කලේ පෙරනිට් පරීක්ෂාව

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය; මේ නිෂ්පාදන කාගෙද?

සාක්ෂිකාරිය ; ලයිව් හෙල්ත් බයෝ ෆාමාගේ

යෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023/09/01 දින ලියාපදිංචි කළ බැච් අංක ලැබුණා.

සාක්ෂිකාරිය ; ඔව් ඒවා පරීක්ෂා කළා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔබ සියලු සාම්පල පරීක්ෂාවට සහභාගි වුණාද?

සාක්ෂිකාරිය; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; බෝතලයේ ඇති ක්ලික් ඕෆ් මූඩිය පොප් කර නැත්නම් ක්ලික් ඕෆ් වෙලා තිබිය හැකියි.

සාක්ෂිකාරිය ; ක්ලික් ඕෆ් කර තිබුණොත් අපි සාම්පල ගන්නේ නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඔබ අධ්‍යක්ෂවරියට කිව්වද පළමුවැනිදා සාම්පල පරීක්ෂා කරන බව

සාක්ෂිකාරිය ; ඔව් ඇයගේ අධීක්ෂණය යටතේ පරීක්ෂාව කළේ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; බැක්ටීරියා පරීක්ෂාව සඳහා සියලු දේ කළාද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සියලු පිරිසිදු කිරීම් වලින් පසු 30% ඇල්කොහොල් වලින් පිරිසිදු කළාද?

සාක්ෂිකාරිය ; ද්‍රාවන සියල්ල ඉවත් කර කටයුතු ආරම්භ කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සාම්පල් දහය සඳහාම එසේ කළාද?

සාක්ෂිකාරිය; ඔව් ස්වාමීනි, අදාළ උෂ්ණත්ව සමග සටහන් කළා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; උෂ්ණත්ව දෙකක් යටතේ ඉන්කියුබේටර් කරනවා කිව්වා. බැක්ටීරියා සඳහා කළ පරීක්ෂාවේදී ටර්බිට් කලා කීවා. ඒ ගැන කියන්න.

සාක්ෂිකාරිය ; බැක්ටීරියා වැවී තිබූ බව ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ මේ ප්‍රතිඵල ගන්න අවස්ථාවේ මාධ්‍ය තුළ හා ලැබ් එක ඇතුලේ බැක්ටීරියා වැවී නොතිබූ බව සඳහන්ද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023/11/09 දින පරීක්ෂණයේ ප්‍රතිඵල ඇතුළත්ද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි ඇති ප්‍රතිඵල බැලුවේ කවුද.?

සාක්ෂිකාරිය; අංශ ප්‍රධානී තුමිය. ඇයයි නෝට් කළේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නොවැම්බර් නමය වැනිදා ප්‍රතිඵල  බලන්න ඇය ආවද?

සාක්ෂිකාරිය ; ඇය හැකි අවස්ථාවල ආවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; To be repeted කියා ඇත්තේ ඇයි?

සාක්ෂිකාරිය ; පරීක්ෂණ යළි සිදු කිරීම සඳහා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය අවසානයේ සිදුවූයේ කුමක්ද?

සාක්ෂිකාරිය; දින දෙකක් තුළ ග්‍රෝත් එකක් තිබුණා.

යෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දෙවැනි පරීක්ෂණය කළේ කවදද?

සාක්ෂිකාරිය ; එදිනමයි. එකම පරිසරයේදී අධ්‍යක්ෂවරිය ඊට සහභාගි වුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පළමු සාම්පලයේ ප්‍රතිඵලයමද ලැබුණේ?

සාක්ෂිකාරිය ; සාම්පල පහක ශුද්‍ර ජීවීන් වැඩියෙන් ලැබුණා. පැය විසි හතරක් ඇතුළත ටර්බිට් වුනා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ සාක්ෂි දුන් කරුණ වාර්තාවේ තිබේද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පැය විසි හතරකට පසු බැක්ටීරියා වැවී තිබුනද?

සාක්ෂිකාරිය ; කොලනි වැවී තිබුණා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය බැක්ග්රොන් කොලනියක් බලන්න පුළුවන්ද?

සාක්ෂිකාරිය ; මයික්‍රස්කෝප් එකකින් පුළුවන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කුමක්ද ඔබ ඉන් දුටුවේ? ඒ ගැන පරීක්ෂණ මෙහි ඇතුලත්ද?

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබට එන්ඩෝකොෆින් පරීක්ෂා කරන්න කියලා නියෝග ලැබුනද?

සාක්ෂිකාරිය ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබලා පළමුව එක කාණ්ඩයකුත් දෙවනුව තව කාණ්ඩයකුත් කරලා තියෙනවා.

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; නොවැම්බර් 17 දින සිදු කළේ 39252 සඳහා මාධ්‍ය සූදානම් කළෙත් ඒ ආකාරයටමයි.

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ සාම්පල ගෙනාවෙ කවුද?

සාක්ෂිකාරිය ; ජාතික රෝහලෙන් වාහනයක් නැහැ කිව්වා. එවිට අධ්‍යක්ෂ තුමිය මැදිහත්ව අපේ වාහනයක් යොදවා එහි යවා සාම්පල ගෙන්වා ගත්තා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 408 බලන්න ජාතික රෝහලෙන් සාම්පල අනූවක් ලැබුණ බව සඳහන් වෙනවා. ඒවා බාරගත්තේ කවුද?

සාක්ෂිකාරිය ; මම 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; බාරගත් බවට යමක් නිකුත් වුණාද?

සාක්ෂිකාරිය ; පොතක් සමග සාම්පල් අරන් ආව අයට sample issued  ලෙසින් සඳහන් කර අපට ඔරිජිනල් පිටපත දී ඔවුන් පිටපත අරන් ගියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබට ඒ කාබන් කොපිය හඳුනාගත හැකිද?

සාක්ෂිකාරිය ; පුළුවනි ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; (පැ408 II පෙන්වා සිටි ):එදින ඔබ පැ 408 II යටතේ අධ්‍යක්ෂවරියගේ අත්සනට යොමු කළ සාම්පල එක්ක ගිහින් පෙන්නුවද?

සාක්ෂිකාරිය ; ඇයට එදිනම පෙන්නුවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ලියාපදිංචිය සඳහා ඔබත් සහභාගි වුණාද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි. මෙතන ශානිකාගේ අත්අකුරු යටතේ එන්ටර්වෙලා තියෙනවා. තාක්ෂණික අංශයට ඇය සම්බන්ධ කලේ මම සහය වීමට.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ පරීක්ෂණ සියල්ල එක දිගටමනේ  සිදුවුණේ.

සාක්ෂිකාරිය; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023/11/09 වැනිදා ටර්බිට් observation ආවේ සාම්පල දෙවැනි අවස්ථාවේ ෆේල් කියලයි. යළිත් කළේ කවදාද?

සාක්ෂිකාරිය ; නොවැම්බර් 14 වැනිදා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එන්ඩෝ ටොක්සින් පරීක්ෂණ 14දා කළාද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 408 II හා පැ 408 III කළ පරීක්ෂාවේදී මොනවද කළේ?

සාක්ෂිකාරිය ; 39355 කාණ්ඩ අංක යටතේ එන්ඩෝටොක්සින් වලට පාස් රිසල්ට් එකක් ආවා. පළමු හා දෙවන අවස්ථා දෙකේදීම එන්ඩෝටොක්සින් පාස්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ කියන්නේ එන්ඩෝටොක්සින් නැහැ.

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 408 VI හා VII හි ප්‍රතිඵල කුමක්ද ?

සාක්ෂිකාරිය ; එහි ආවේ එන්ඩෝටොක්සින්  නෙගටිව් ප්‍රතිඵලයක් .

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද ඒක ගෙන්වූයේ

සාක්ෂිකාරිය ; ලයිව් හෙල්ත් බයෝ ෆාමා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ කියන්නේ එහි එන්ඩෝටොක්සින් ඇති බව තහවුරු වුණා.

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2023/08/22 දින ජාතික රෝහලෙන් සාම්පල විස්ස පරීක්ෂා කළාද. ?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි. එතනදි අපි 39252 හා 39350 යන එකට බැච් එකේ සාම්පල ලියාපදිංචි කරලා තියෙනවා. ඒක ෆේල් කියා ඔප්පු උනා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ වාර්තා වලට අත්සන් කළාද?

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 409 II හි අත්සන් කාගෙද?

සාක්ෂිකාරිය ; ශානිකා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කවදද අත්සන් කළේ?

සාක්ෂිකාරිය ; 2023/10/22

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 409 IV හි ලියාපදිංචියට ඔබ සහභාගි වුණාද ?

සාක්ෂිකාරිය ; ශානිකා ලියාපදිංචි කළාම මමත් එහි සිටියා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ එහි සිටින අවස්ථාවේ ක්ලික් ඕෆ් එක හොඳින් තිබුණද ?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ සාම්පල ලැබුණේ කාගෙන්ද?

සාක්ෂිකාරිය ; මාතර රෝහලෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මෙය ලියාපදිංචියට අංශ ප්‍රධානී සහභාගි වුණාද? අත්සන් කර තිබේද?

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වෙරිය ; පැ 15 හඳුනාගත හැකිද?

සාක්ෂිකාරිය ; ඔව් පුළුවන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය කුමන අංකයද?

සාක්ෂිකාරිය ; පැ 415 I

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මොනවද එහි ඇත්තේ?

සාක්ෂිකාරිය ;  රිටක්සිමැබ් වයල් 40ක්. ලයිව් හෙල්ත් බයෝ ෆාමා මගින් ගෙන්වූ ඒවා.

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඒවා තිබුනේ කොහෙන්ද ?

සාක්ෂිකාරිය ; වෛද්‍ය පර්යේෂණ අංශයෙන්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ලේඛනයේ පළමු පිටපත කොහෙද?

සාක්ෂිකාරිය ; MSD එකේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ බාරගත්තේ මුල් පිටපත නෙවෙයි. ඔබට දැන් පරීක්ෂාවට ඇත්තේ ඡායා පිටපතක්ද?

සාක්ෂිකාරිය ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ සාම්පල් හතළිහ ලියාපදිංචි කළාද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය  ; පරීක්ෂා කළාද ?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇයි ඒ? අංශ ප්‍රධානී ඒක නොකළේ මන්ද?

සාක්ෂිකාරිය ; ඒකට අපට සේෆ්ටි ලැබ් එකක් නැහැ. ඒ නිසා පිළිකා ඖෂධ පරීක්ෂා කරන්නේ නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒවා පිළිකා රෝහල වෙත යැවූ බව දන්නවද?

සාක්ෂිකාරිය ; නැහැ

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ( පැ 416 පෙන්වා සිටි) මේවා දන්නවද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මේවා එව්වේ කොහෙන්ද?

සාක්ෂිකාරිය ; MSF එකෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; නිෂ්පාදක කවුද?

සාක්ෂිකාරිය ; රියලන්ස් සමාගම

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය බලාගත්තේ කෙසේද?

සාක්ෂිකාරිය ; මේක අපි රෙජිස්ටර් කළේ නෑ. ඒ ගැන මුල් ලේඛන නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය.; ඔබ පහළ සඳහන් කළ දිනය

සාක්ෂිකාරිය ; මට හිතෙනවා 14/02/24 කියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; මේ එන්නත් සාම්පල කොහෙද තැන්පත් කළේ?

සාක්ෂිකාරිය ; අධ්‍යක්ෂ තුමියගෙන් ෆ්‍රිජ් එකේ යතුර ඉල්ලාගෙන එහි තැන්පත් කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබට මතක නැද්ද එය ආයතනයට යැව්වද නැද්ද කියලා ?

සාක්ෂිකාරිය ; මතක නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සෆ්රෙක්ස් කමිටුවලට සහභාගිවෙලා තියෙනවද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අධ්‍යක්ෂ තුමිය සහභාගී වන අවස්ථාවල ඇයගේ සහයට රසායනික පරීක්ෂණවල ප්‍රතිඵල රැගෙන යනවා. ඇයගේ රිපෝට් වලට අදාලව ඇති ලේඛන ගෙන යනවා. බොහෝ විට මාර්ගස්ථ ක්‍රමය හෝ 300M යටතේ තමයි තිබුණේ. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අධ්‍යක්ෂ තුමිය විසින් රිපෝට් ප්‍රසන්ට් කරනවද?

සාක්ෂිකාරිය ; ඔව් අපට ලැබුණ සාම්පල ගැන කතා කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වෙන කවුද එහේ ඉන්නේ?

සාක්ෂිකාරිය ; මහාචාර්ය රෝහිණි, විශේෂඥ වෛද්‍ය රජීව, ADR ඇති වූ රෝහල්වල නියෝජිතයෝ ආදී අය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ADR   ගැන සෆ්රෙක්ස් එකට MSD එකෙනුත් එනවද?

සාක්ෂිකාරිය ; එනවා. ඒරියා ගැන කතා කරනවා

විත්තියේ නීතිඥ ( පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින)  හරේන්ද්‍ර භාණගල හරස් ප්‍රශ්න ඇසීම අරඹයි

නීතිඥ ; මේ වන විට ඔබ වසර දහයකට ආසන්න කාලයක් මෙහි සේවය කර තිබෙනවා. ජාතික තත්ත්ව රසායනාගාරයේ ආරම්භක සාමාජිකාවක්.

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; NMQAL එකේ ISO සහතිකය තිබේද?

සාක්ෂිකාරිය  ; නැහැ. ඒත් ඒක ගයිඩ් ලයින් අනුගමනය කරනවා

නීතිඥ ; එහෙමනම් ජාතික තත්ව ආරක්ෂණ සහතිකයවත් තියෙනවද?

සාක්ෂිකාරිය ; මම දන්නේ නැහැ

නීතිඥ ; ඔබේ රසායනාගාරය වායු සමනය කළ එකක්ද?

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; එය කොපමණ කාලයකට වැලිඩේට් කරනවද? 

සාක්ෂිකාරිය ; වැලිඩේට් කරන්නේ නැහැ. පිරිසිදු කිරීම්  WHO අනුව කරනවා

නීතිඥ ; ලැබිනා ෆ්ලෝ තුලත් එය හැඩලින් තිබේද?

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; වැලිඩේට් කරනවා කියන එක අසා තිබේද?

සාක්ෂිකාරිය ; නැහැ

නීතිඥ ; ඔබ දන්නේ නැහැ

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; ඔබට සහායිකාව ලෙස කටයුතු කළේ කවුද?

සාක්ෂිකාරිය ; මේ කාලයේ සහායිකාවක් නැහැ

නීතිඥ ; ටෙස්ට් වල රිසල්ට් නිරීක්ෂණයට ප්‍රධානියා එනවා

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; ඔබට මතක හැටියට ඒ සාම්පල එද්දි තිබුණේ ද්‍රව තත්ත්වයේද කූල් පැක් එකක්ද?

සාක්ෂිකාරිය ; ඒක මතක නැහැ. ඒත් තිබිය යුතු තත්ත්වයෙන් නැත්නම් අපි බාරගන්නේ නැහැ.

නීතිඥ ; මේ ඔබ කියූ විදිය ගැන ෆාමකෝෆියාවල සඳහන්ද?

සාක්ෂිකාරිය ; නියමිත තත්ත්වය තියේද බලනව

නීතිඥ ; සිටෙරයිස්ද කියලා බලනවද?

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; උෂ්ණත්වයේ බලපෑමක් නැද්ද?

සාක්ෂිකාරිය ; ශුද්‍ර ජීවීන් නැත්නම් උෂ්ණත්වය බලපාන්නේ නැහැ.

නීතිඥ ; ඔබ කවදා හෝ නැවත භාවිතයට කැබිනට් එකේ භාණ්ඩ තබා තිබේද?

සාක්ෂිකාරිය ; ටෙස්ට් එකට ආවාම සීල් පැක් තබනවා. අපේ මීඩියා සිල් පැක් තියෙන්නේ. ඒවා අරගන්නේ ලැබිනා එයා ෆ්ලෝ ඇතුළෙන්

නීතිඥ ; 408 I A යනු ඔබ ආයතනයට ලද සාම්පල් 90

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; එය ඔබ වෙත කවදද ලැබුණේ?

සාක්ෂිකාරිය ; ඔක්තෝම්බර් 10 වැනිදා.

නීතිඥ ; එදිනට පසුවදාත් සඳහන් කරන්නේ 10/10  දා කියලද

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; 24  ගොනුවේ පැ 405 I යටතේ සාම්පල ලැබී තියෙන්නේ නොවැම්බර් පළමුවැනිදා. එය ඔබ බාරගත්තු එකක්ද?

සාක්ෂිකාරිය ; එය ශානිකා භාරගත් එකක්

නීතිඥ ; එවූ බව සඳහන් දිනය කවදාද?

සාක්ෂිකාරිය ; අගෝස්තු 21

නීතිඥ ; මාතර රෝහලෙන් ලැබුණ සාම්පල ගැන ලේඛන ඔබ හඳුනා ගත්තා. එය බාරගත්තේ කවුද?

සාක්ෂිකාරිය ; ශානිකා

නීතිඥ ; කවදද?

සාක්ෂිකාරිය ; 10/11

නීතිඥ ; ජාතික රෝහලට ඔබත් ගියාද?

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; රෝහලෙන් සාම්පල මුද්‍රා තබලද තිබුනේ?

සාක්ෂිකාරිය ; අපි අරන් ඇවිත් සාම්පල අරන් තිබ්බා.

නීතිඥ ; ඔබලා ගෙනාවේ මුද්‍රා කළ ඒවාද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නීතිඥ ; සාම්පල අනූවම සීල කරලා තිබුණද?

සාක්ෂිකාරිය ; කාටුන් වෙන වෙනම තිබුණේ

නීතිඥ ; ඔය කියන අවස්ථාවේදී කාටූන් වෙන වෙනම සීල් කරලා තිබුණද කියා ඔබ දන්නේ නැහැ.

සාක්ෂිකාරිය ; අහඹු ලෙස ගත් ඒවා සීල් කරලා තිබුණා මට මතකයි ස්වාමීනී.

නීතිඥ ; රිජිෆෝම් කේස් එකක ආ බව මතකද?

සාක්ෂිකාරිය ;  ඔව්

නීතිඥ ; කවුද ශීතකරන වල තැන්පත් කළේ.

සාක්ෂිකාරිය ; යතුර ඉල්ලාගෙන මම තැන්පත් කළා

නීතිඥ ; ජීවානු හරණ කටයුතු සිදු වන්නේ එකම තැනකද නැත්නම් බැක්ටීරියා වලට වෙනස් තැනක් තියෙනවද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඔබ රාජකාරිමය තත්ත්වයන් තුළ එවැනි ස්ථාන පරීක්ෂා කරනවද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි. මුළු රාජකාරි කාලය තුළම

නීතිඥ ; මේ විදියට ප්‍රකාශ දී තිබේද

සාක්ෂිකාරිය ; නැහැ මේ පළමු වතාව

නීතිඥ ; සාක්ෂි දෙන්න අවස්ථාවක් ලැබිලත් නැද්ද?

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; ඔබ ඖෂධ වේදියෙකු ලෙස withhold  සහ withdrawal ගැන දන්නවද?

සාක්ෂිකාරිය ; withhold කියන්නේ ඖෂධයක ප්‍රශ්න සහගත අවස්ථාවකදී රෝගීන්ට දෙන එක තාවකාලිකව නැවැත්වීමයි. ඒ අතර අවස්ථා පහකදී පරීක්ෂා කරලා withdraw කරනවා.

නීතිඥ ; මෙතනදී පහක් කළාද?

සාක්ෂිකාරිය ; ඔව් බැච් තුනකින් පරීක්ෂා පහක් කළා.

විනිසුරු විරාජ වීරසූරිය සාක්‍ෂිකාරියගෙන් විමසීමක් කරයි.

විනිසුරු ; නිෂ්පාදකයන්ගේ එකම ඖෂධයේ එකම කාණ්ඩයේ ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වුනොත් නවත්වනවද?

සාක්ෂිකාරිය ; එහෙම වුනොත් ඩිසිෂන් එකක් ගන්නවා. ඒ නිෂ්පාදනයට අදාළ අනෙක් සියලු භාණ්ඩ පරීක්ෂාවට භාජනය කරනවා. තහවුරු වුන එක නවත්වන අතරෙදි අනෙක් ඒවා පරීක්ෂා කරන්නේ.

විනිසුරු ; එතන අවදානමක් නැද්ද?

සාක්ෂිකාරිය ; සෆ්රෙක්ස් කමිටුව තමයි ස්වාමීනි, ඒක තීරණය කරන්නේ. කමිටුව තීරණයක් අරන් දැනුම් දී බලන්න ගෙනත් දෙනවා.

විනිසුරු ; කොයි තරම් කාලයක් යනවද තීරණයක් ගන්න?

සාක්ෂිකාරිය ; ෆේලියර් එක වුන ගමන් ගන්නවා ස්වාමීනි.

විනිසුරු ; 2023 සැප්තැම්බර් මාසේ සාම්පල් අරන් තිබුණා. ඔක්තෝම්බර් 10 තව සාම්පල් භාර ගත්තා. ඒවා පරීක්ෂා කර ගත්තු ක්‍රියාමාර්ග ගැන දන්නවද?

සාක්ෂිකාරිය ; නැහැ

විනිසුරු ; පරීක්ෂණ ඇරඹුණේ නොවැම්බර් නමය.

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

විනිසුරු ; අධිකරණ සාම්පල පරීක්ෂණයට තියෙනවද? අධිකරණය වෙනම පරීක්ෂා කළාද?

සාක්ෂිකාරිය ; ඒ වන විට රෙජිස්ටර් කර තිබුණා

විනිසුරු ; ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නැත්නම් අධිකරණයට යනවද?

සාක්ෂිකාරිය ; අධිකරණ නියෝග එක්ක එද්දි සීල් සාම්පල එන්නේ

විනිසුරු ; සාම්පල භාරගත්තේ අගෝස්තු 23. පරීක්ෂණ පටන් ගත්තේ නොවැම්බර් 9

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

විනිසුරු ; නොවැම්බර් නමයට පෙර කිසිදු අවස්ථාවක පරීක්ෂාවට භාජනය කළේ නැද්ද?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී

විනිසුරු ; නවිස්ටා මගින් සැපයූ කෝ ඇමොක්සික්ලෝව් නැවැත්වූයේ ඇයි?

සාක්ෂිකාරිය ; එහි එන්නතකින් රෝගියෙක් මියයාම නිසා.

විනිසුරු ; එහි සිදුවුණේ withhold ද withdraw ද ?

සාක්ෂිකාරිය ; එය ශුද්ධ ජීවී අංශයේ නොව ජීව විද්‍යා අංශයෙන් handle  වෙන්නේ.

විනිසුරු ; දිගින් දිගටම මරණ වාර්තා වෙලා කියලා බැලූ බැල්මටම පේනවා.

සාක්ෂිකාරිය ; ඒවාට අදාළ තීරණ ඉහළ නිලධාරීන් ගන්නේ.

විනිසුරු ; හැම සාම්පලයක්ම පරීක්ෂා කරන්නේ නැහැ කියලද කියන්නේ?

.

සාක්ෂිකාරිය ; ඒක ජීව විද්‍යා අංශය බලන්නේ. ඒ ගැන මම දන්නේ නැහැ

නැවත පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර භාණගල හරස් ප්‍රශ්න ඇසීම අරඹයි

නීතිඥ ; ඔබ පරීක්ෂාව අරඹන්නේ 11/09 වැනිදා

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; ඒ වන විටත් ඔබ නඩු කටයුත්ත ගැන දන්නේ නැද්ද?

සාක්ෂිකාරිය ; ඔව් අහලා තිබුනට විස්තර දැනගෙන හිටියේ නැහැ

නීතිඥ ; සාම්පල අයටත් කතා දන්නවනේ?

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; රෝහල් පද්ධතිය තුළ කොපමණ භාවිතා කර තිබෙනවාද ඒ කාලය තුළ.

සාක්ෂිකාරිය ; දන්නේ නැහැ ස්වාමීනි

නීතිඥ ; රෝහල් තුළ මේ කාලය තුළ 3000 ක් පමණ භාවිතා කර තිබුණා කියා දන්නවාද?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී

නීතිඥ ; ඇතිවූ සංකූලතා ගැන දැන සිටියාද?

සාක්ෂිකාරිය ; ලොකු විස්තරයක් දන්නේ නැහැ ස්වාමීනි. ADR තිබුන බව ලේඛන වලින් දැක්කා

නීතිඥ ; ADR report ආවා කියලා මතකද?

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; සාම්පල් භාර ගනිද්දී ඇලර්ජි ආවා කියලා සඳහන් කර තිබුණද?

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; මරණ සිදුව ඇතැයි වාර්තා වුණාද?

සාක්ෂිකාරිය ; නැත ස්වාමීනි

නීතිඥ ; මරණ සිදුව නැතැයි වාර්තා වුණා.

සාක්ෂිකාරිය ; නැත ස්වාමීනි

නීතිඥ ; ඔබගේ අංශය විසින් ලංකාවේ ඖෂධ වලින් මරණ හෝ සංකූලතා ඇතිවුණොත් පරීක්ෂා කරන බව දන්නවද?

සාක්ෂිකාරිය ; දන්නේ නැහැ ස්වාමීනී

නීතිඥ ; රෝහල් තුළ මේ කාලය තුළ අනිවාර්යයෙන් කළ යුතු ක්‍රමවේදය එයයි.

ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂක පරීක්ෂණාගාරයේ ඖෂධවේදනී චමනි හෙට්ටිආරච්චි පැමිණිල්ලේ 61 වන සාක්ෂිකාරියයි. ඇය සාක්ෂිදීම සඳහා කැඳවන ලදී.

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ඇය මෙසේේ කීවාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තාක්ෂණික අංශයට සාම්පල් එන්නේ කොහෙන්ද?

සාක්ෂිකාරිය ; උසාවියෙන් හෝ රෝහල්වලින්. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; උසාවියෙන් ගේන්නේ කවුද?

සාක්ෂිකාරිය ; SI කෙනෙක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ගේන ලේඛන මොනවද?

සාක්ෂිකාරිය ; උසාවි නියෝග, මුද්‍රා තබන ලද සාම්පල ආදිය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ රාජකාරිය කුමක්ද?

සාක්ෂිකාරිය ; නියෝගයේ සඳහන් නිලධාරියා ඉදිරියේ ...... පරීක්ෂා කර, ලේඛන පරීක්ෂා කර බාර ගැනීමයි ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ හරියට බාරගත්ත බවට ලේඛනයක් නිකුත් කරනවද?

සාක්ෂිකාරිය ; සංදේශය තියෙන ලේඛණය නිකුත් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කුමක්ද එහි සඳහන් වෙන්නේ?

සාක්ෂිකාරිය ; පොලිස් නිලධාරියාගේ නම, සේවා හැඳුනුම්පතේ විස්තර ආදිය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; රෝහල්වලින් එන සාම්පල කොහොමද බාරගන්නේ?

සාක්ෂිකාරිය ; අපි පැමිණිල්ල ලියල බාරගන්නවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එදිනට පැමිණිල්ල ලියල භාරගන්නවද?

සාක්ෂිකාරිය ; බොහෝ අවස්ථාවල එහෙමයි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය.; රෝහල්වලින් එව්වේ එන්නතක් නේද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සාම්පල සමඟ තව මොනවද එව්වේ?

සාක්ෂිකාරිය ; පැමිණිල්ල, ස්වාස්ථා රිපෝර්ට්, ලොග් ශීට්, ADR තිබුණ නම් එහි ලේඛන ආදිය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සාම්පලය ගබඩාකල උෂ්ණත්වය සඳහන්ද?

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලේඛනවල අඩංගු සාම්පල විස්තරවල මොනවද බලන්නේ?

සාක්ෂිකාරිය ; නම,  සාම්පල ප්‍රමාණය ,  නිෂ්පාදන කාණ්ඩ අංක ආදිය බලනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; සාම්පලයේ මොනවද බලන්නේ?

සාක්ෂිකාරිය ; වයල් එකක්ද යනන වග. කාඩ්බෝඩ් බොක්ස් එක මතුපිටින් සීල්ද යන වග ආදිය බලනවා.

නඩු විභාගය යළිත් අගෝස්තු 31 දින ආරම්භ වේ.

නවතම ලිපි