ශ්‍රී ලංකාව නිරිතදිග මෝසම් තත්ත්වයට මුහුණ දෙමින් සිටින අතරතුර, චීනයේ අගනුවර වන
බීජිං ඇතුළු උතුරු සහ නිරිතදිග කලාප අතිශය දරුණු වර්ෂාපතනයකට මුහුණ දෙමින් සිටී. නැගෙනහිර ආසියානු ග්‍රීෂ්ම මෝසම සහ චීන වෙරළ තීරයට ඇදී එන 'ඩොල්ෆින්' (Typhoon Dolphin) සුළි කුණාටු පද්ධතියේ බලපෑම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
බීජිං කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නගරයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි, අධික සුළං සහ කරකැවිල්ල ඇතිවිය හැකි බවට පූර්ව අනතුරු අඟවා තිබේ. චීනයේ කාලගුණ අනතුරු ඇඟවීමේ පද්ධතිය අනුව ඉහළම අවදානම වන රතු මට්ටම චොංකිං හි කඳුකර ගංවතුර සඳහා ද, තැඹිලි මට්ටම හුබෙයි සහ ෂැන්සි පළාත් සඳහා ද නිකුත් කර ඇත. එමෙන්ම බීජිං හි කඳුකර ප්‍රදේශ සඳහා කහ මට්ටමේ (මධ්‍යස්ථ) අනතුරු ඇඟවීම් සහ නගරයේ අනෙකුත් ප්‍රදේශ සඳහා නිල් මට්ටමේ (මූලික) අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කර තිබේ.
සමස්ත චීනය පුරාම ප්‍රධාන ගංගා 18 ක ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇති අතර සිචුවාන්, ෂැන්සි, යුනාන් සහ ගුවැන්ඩොං යන පළාත් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. සිචුවාන් හි පමණක් පුද්ගලයින් ලක්ෂ නවයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර, ඩොල්ෆින් සුළි කුණාටුව සහ ශීත වායු ස්කන්ධයක් හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයට ද ඉදිරියේදී අන්ත දරුණු වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.
පසුගිය මාසයේ සිදුවූ නායයෑම් සහ ගංවතුරින් සිදුවූ ජීවිත හානි සැලකිල්ලට ගනිමින් චීන රජය අභ්‍යවකාශ දුරස්ථ සංවේදන (Aerospace remote sensing) තාක්ෂණය භාවිතයෙන් ආපදා ස්ථාන 270,000 ක් නිරීක්ෂණය කරමින් සිටී. මේ අතර පහත්බිම් සහ කඳුකර ප්‍රදේශවල ගමන් කිරීමෙන් වළකින ලෙසත්, එළිමහන් කටයුතු අත්හිටුවීමටත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

