ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (Human Immunoglobulin සහ Rituximab) මිලදී ගැනීම හරහා
රුපියල් ලක්ෂ 1,444 ක මහජන මුදල් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව මේ දිනවල ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. ඊයේ (28) පැවති නඩු විභාගය, පැමිණිල්ල සහ විත්තිය අතර උණුසුම් නීතිමය තර්ක විතර්ක මෙන්ම, ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය පිළිබඳ අතිශය වැදගත් නෛතික සංවාදයක් මතු කළ දිනයක් විය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, නඩු විභාගයේ සටහන් තැබීම සහ සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් විසින් මතු කළ බලවත් විරෝධය අධිකරණයේ විශේෂ අවධානයකට ලක්විය.

අධිකරණයේ විනිවිදභාවය සහ නීතිඥ ගැටුම
ඕනෑම අපරාධ නඩු විභාගයකදී, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති 'සාධාරණ නඩු විභාගයක් සඳහා වන අයිතිය' (Right to a Fair Trial) මෙන්ම, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයට (Code of Criminal Procedure Act) අනුව නඩු වාර්තා තබා ගැනීමේ අතිශය විනිවිදභාවය ආරක්ෂා කිරීම අනිවාර්ය වේ.
නඩු විභාගය අතරතුරදී, ලේඛන සම්බන්ධයෙන් දෙන ලද සාක්ෂියක යම් සංශෝධනයක් කිරීමට අදාළව, විනිසුරු මඩුල්ලට දැනුම් දීමකින් තොරව අධිකරණ නිලධාරිනියට සෘජුවම සටහනක් ලබා දීමට පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම කටයුතු කළ බව පවසමින් විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන සහ නීතිඥ රාහුල් ජයතිලක යන දැඩි විරෝධයක් මතු කළහ.
"නඩු විභාගයට සම්බන්ධ සටහන්වල සංශෝධන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියගේ අවශ්‍යතාවයට පමණක් සෘජුවම නිලධාරීන්ට දන්වා සිදුකළ නොහැකියි. මෙය විනිසුරු මඩුල්ලට දැනුම් දීමකින් තොරව සිදු කිරීම නඩු විභාගයකදී කිසිසේත් නොවිය යුත්තක්!"
මෙහිදී විත්තිය පෙන්වා දුන්නේ, පහළ අධිකරණයක නඩු කටයුත්තකට එරෙහිව ඉහළ අධිකරණයකට (අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය) යන අවස්ථාවකදී පදනම් කරගන්නේ මෙම නඩු වාර්තාව (Court Record) වන බැවින්, එය විභාග වූ ආකාරය නිවැරදිව වාර්තාවට ඇතුළත් විය යුතු බවයි.

සභාපති විනිසුරුවරයාගේ නියෝගය: මෙහිදී නීතියේ ආධිපත්‍යය සුරකින අයුරින් මැදිහත් වූ සභාපති විනිසුරුවරයා පැමිණිල්ලට පෙන්වා දුන්නේ;
-
එවැනි සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් අධිකරණ නිලධාරීන්ට ඍජුව දැන්වීම් නොකර එය අධිකරණයේ අවධානයට යොමු කළ යුතු බවයි.
-
එවිට එවැනි සංශෝධනයන් කිරීමට අධිකරණයට හැකියාව ඇති බව සභාපති විනිසුරුවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කරුණු දක්වමින් කියා සිටියේ, තමන් සිදු කළේ අධිකරණයේ කටයුතු පහසු කිරීම සඳහා අදාළ අංක සටහන් කළ ලේඛනයක් අධිකරණ නිලධාරිනියට ලබා දීම පමණක් බවයි.
රාජ්‍ය ප්‍රසම්පාදනයේ ඛේදවාචකය: සාක්ෂි මතින් හෙළිවන AR/FR උල්ලංඝනය වීම්
මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගේ සාක්ෂිය හරහා, රජයේ මුදල් රෙගුලාසි (Financial Regulations - FR) සහ ආයතන සංග්‍රහයේ (Establishments Code - AR) විධිවිධාන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අනුගමනය කර ඇති ආකාරය පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවිය.
-
පශ්චාත්-මිනිට් සටහන් (Post-dated Minutes): 2022 ඔක්තෝබර් 23 හදිසි ප්‍රසම්පාදන කමිටුව රැස්වී ඇති නමුත්, ඇය මිනිට් සකස් කර ඇත්තේ ඔක්තෝබර් 25 වැනිදායින් පසුවය. ඇය එම කමිටුවට සහභාගී වී නොමැති අතර, සම්පූර්ණයෙන්ම කටයුතු කර ඇත්තේ 7 වන විත්තිකාර වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගතව සිටී) ගේ උපදෙස් සහ ඔහු ලබාදුන් කටු සටහන් මත පමණක් බව ඇය පිළිගත්තාය.
-
පිරිවිතර (Specifications) නොමැති වීම: ඖෂධ (පවුඩර් හෝ දියර වශයෙන්) ලබාදිය යුතු පිරිවිතර සම්බන්ධයෙන් ලේඛනවල කිසිදු පැහැදිලි කිරීමක් කර නොතිබූ බව ඇය සඳහන් කළාය.
-
විකල්ප ඖෂධ ඇතුළත් කිරීම: ප්‍රමුඛතා ලැයිස්තුවේ නොමැති ඖෂධයක්, ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 02 ස්ථානයේ ඇති ඖෂධයට සමාන යැයි පවසා උපදෙස් මත කටු සටහන් ආශ්‍රයෙන් ලැයිස්තුගත කළ බවද සාක්ෂිකාරිය හෙළි කළාය.

සාක්ෂි මෙහෙයවීම පිළිබඳ විත්තියේ නෛතික තර්කය
විත්තිකාර වෛද්‍ය බුත්පිටිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයවර්ධන අධිකරණයට පෙන්වා දුන්නේ, කමිටුවට පවා සහභාගී නොවූ සහ හුදෙක් යතුරු ලියනය කිරීම පමණක් කළ නිලධාරිනියකගෙන් සාක්ෂි විමසනවාට වඩා, අදාළ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයින් කැඳවා සාක්ෂි විමසීම උචිත බවයි. මෙය සාක්ෂි ආඥා පනතේ (Evidence Ordinance) එන 'හොඳම සාක්ෂි රීතියට' (Best Evidence Rule) සමීප තර්කයක් වුවද, සභාපති විනිසුරුවරයා නීතිමය රාමුව තුළ සිටිමින් පැහැදිලි කළේ:
"පැමිණිල්ල විසින් කැඳවනු ලබන සාක්ෂිකරුවන් කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ පැමිණිල්ල විසින්ම" බවයි.
සාරාංශය
සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300 කට ආසන්න ප්‍රමාණයක් ගොනු කර ඇති මෙම නඩුව ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ සංකීර්ණතම නඩු විභාගයකි. අධිකරණ නිලධාරීන්ට සෘජු උපදෙස් දීම සම්බන්ධයෙන් මතු වූ විරෝධය හුදු නීතිඥ ගැටුමක් නොව, එය "යුක්තිය ඉටුවනවා පමණක් නොව, එය ඉටුවන බව පෙනෙන්නටද තිබිය යුතුය" (Justice must not only be done, but must also be seen to be done) යන මූලික නීතිමය සිද්ධාන්තය තහවුරු කිරීමකි. විත්තිකරුවන්ගේ වරදකාරීත්වය හෝ නිවැරදිකරුවන් ද යන්න තීරණය කිරීමේ පූර්ණ බලය ගරු මහාධිකරණය සතු වන අතර, රටක් ලෙස මහජනතාව අවධානයෙන් පසුවන්නේ නීතියේ ආධිපත්‍යය සුරැකෙන සාධාරණ නඩු විභාගයක ක්‍රියාවලිය දෙසයි.
#නිරෝමි සුබ්‍රමනියම්

