මෙවර අයවැයේ දී සාමාන්‍ය ජනතාව එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු රුපියල් බිලියන 500ක් දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබුණ ද
කෝටිපති සමාගම් විසින් රජයට නොගෙවා පැහර හැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 400කට වැඩි බවත්, එලෙස පැහර හැර ඇති බදු අයකරගැනීම සඳහා ආණ්ඩුව අයවැය මගින් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැති බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ "නවලිබරල් ආඛ්‍යානයට එරෙහිව IMF, ආර්ථික විද්‍යාව සහ විකල්ප" යන මැයෙන් ඊයේ (27) කොළඹ මහජන පුස්තකාලයේ දී පැවති විද්වත් කථිකාවේ දී ය.
එම කථිකාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...
විකල්ප ආර්ථික හැරවුමක් පිළිබඳ ජනතා බලාපොරොත්තු සුනේ සුන්
"මේ වෙලාවේ 'නවලිබරල් ආඛ්‍යානයට එරෙහිව IMF, ආර්ථික විද්‍යාව සහ විකල්ප' කියන මාතෘකාවෙන් සමාජ කථිකාවතක් සඳහා අපි යොමුවෙලා ඉන්නේ ඉතාම තීරණාත්මක මොහොතක. අපි දන්නවා වර්තමානයේ දී ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රධාන පුරුකක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. මේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඉතිහාසයේ එක් කාලච්ඡේදයකදී නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට සහ දේශපාලන ක්‍රියාවලියට එරෙහිව සැලකිය යුතු විවේචනයක් සහ විරෝධයක් සනිටුහන් කළ පක්ෂයක්. නමුත් වර්තමානය වන විට විකල්ප ආර්ථික හැරවුමක් සම්බන්ධයෙන් වූ ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන් කඩ කරමින් ඔවුන් විසින්ම නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළ වේගයෙන් ක්‍රියාත්මක කරමින් යනවා.
මේක ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේග ආණ්ඩුවේ නායකයින්ගේ පුද්ගලික ළැදියාවක් විදිහට සලකන්න පුළුවන් කමක් නෑ.
රාජ්‍යය ආයතන 166ක් පෞද්ගලිකකරණයට...?
80 දශකයට කලින් ලෝක දේශපාලනයේ පැහැදිලි බෙදීම් දෙකක් දකින්න ලැබුණා. වාමාංශික දේශපාලනය සහ දක්ෂිණාංශික දේශපාලනය විදිහට පැහැදිලි ඉරකින් බෙදුණු දේශපාලන කඳවුරු දෙකක් තමයි අපිට දකින්න ලැබුනේ. නමුත් නවලිබරල් ධනවාදයේ ආගමනයත් සමග එම බෙදුම් රේඛාව බොඳ වෙලා හඳුනාගත නොහැකි තරමේ විකෘතියක් ඇති වෙලා ඉවරයි. ඒකට හොඳම උදහරණයක් තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව සහ ඔවුන්ගේ වැඩපිළිවෙළ.
අපි දැක්කා ආණ්ඩුව පසුගිය කාලේ කමිටු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි තිබුණේ රාජ්‍යය ආයතන 166ක් සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වන නිර්දේශ. ඒ වාර්තාව යෝජනා කරලා තියනවා රාජ්‍ය ආයතන 17ක් මුළුමනින් ම අහෝසි කරන්න. තවත් ආයතන 150කට වැඩි ප්‍රමාණයක් මුළුමනින් ම පෞද්ගලිකකරණය කිරීමට හෝ රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පවත්වාගෙන යාමට යෝජනා වෙලා තියනවා.
ජනාධිපතිවරයා පහුගිය කාලේ මාධ්‍ය ඉස්සරහා සංවර්ධනය කරනවා කියලා උජාරුවෙන් කතා කරපු වී අළෙවි මණ්ඩලයත් තියෙන්නේ මේ විකුණන්න නියමිත ලයිස්තුවේ. මහවැලි අධිකාරිය තියනවා වසා දැමිය යුතු ලේඛනයේ. ආණ්ඩුව බලයට එනකොට කියපු ජනතාවාදී ආර්ථික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් කතාව මුළුමනින්ම අමතක කරලා තමයි දැන් කටයුතු කරමින් ඉන්නේ.
මෙවර අයවැයේදී සාමාන්‍ය ජනතාව එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ හා සේවා මත පනවපු බදු රුපියල් බිලියන 500ක් දක්වා ඉහළ දාන්න ආණ්ඩුව කටයුතු කරලා තියනවා. නමුත් අපි දන්නවා කෝටිපති සමාගම් විසින් රජයට නොගෙවා පැහර හැරපු වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 400කට වැඩී. නමුත් ඒ පැහර හැරපු බදු අයකරගන්න ආණ්ඩුව යම් යෝජනාවක් අයවැය මගින් ඉදිරිපත් කරලා නෑ. මෙහෙම තත්ත්වයක් ඇතුළෙ තමයි අපි අද විකල්ප ආර්ථික කථිකාවවතක් ගැන සාකච්ඡා කරමින් ඉන්නේ.
ආණ්ඩුව තමන් විසින්ම බරපතළ අර්බුදයකට ගමන් කරමින්...
වර්තමාන ආණ්ඩුව පවා බලයට එන්න කලින් විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ජනතාවට බලාපොරොත්තු ගොඩක් දුන්නා. නමුත් දැන් ආණ්ඩුව ගමන් කරමින් ඉන්නේ ඒ දේශපාලන පොරොන්දු සහ බලාපොරොත්තු කඩ කරමින් යන පාරක. මේක ජාතික ජන බලවේග ආණ්ඩුවේ නායකයින්ගේ පෞද්ගලික නොහැකියාවක් හැටියට අපි දකින්නේ නෑ. මෙතන පැහැදිලිවම තියනවා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගැටලුවක්. ආර්ථික ප්‍රතිපත්තියේදී අපි පක්ෂපාතී වෙන්නේ කවර පන්තියකට ද යන්න මත තමයි මේ ප්‍රශනයට විසඳුම සොයාගත හැක්කේ.
අපි දන්නවා පහුගිය කාලේ ඇඟලුම් කර්මාන්තය වර්ධනය කිරීම ගැන ආණ්ඩුව සාකච්ඡා කළා. නමුත් දැන් ඇමරිකාව තීරණයක් අරගෙන තියනවා අපි ඔවුන්ගේ බඩු මිලදී ගන්නවනං විතරයි අපේ නිෂ්පාදන මිලදී ගන්නේ කියලා. ලංකාවෙ ඇඟලුම් නිශ්පාදනවල ප්‍රධාන ගැනුම් කරුවා විදිහට හිටියෙ ඇමරිකාව. එතකොට අපිට පේනවා ආණ්ඩුව හිතන විදිහේ ආර්ථික පරිවර්තනයක් සඳහා මේ පවතින ආර්ථික ක්‍රමය ඇතුළේ කිසිඳු ඉඩක් ලැබෙන්නේ නෑ.
වර්තමාන ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව හැටියට ජාතික ජන බලවේගය සඳහන් කලේ පසුගිය ආණ්ඩුවල වංචාවන් සහ දූෂණ. එනිසා හොරු ඇල්ලීම සහ දූෂණය නාස්තිය අවම කිරීම මැතිවරණ වේදිකාවෙ ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වුණා. නමුත් බලයට ඇවිත් මාස අටකට පස්සෙත් අපිට හොරු ඇල්ලීමක් දකින්න නෑ.
ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා පසුගිය දවසක රූපවාහිණී වැඩසටහනකදි කිව්වා හොරු අල්ලන්න බැහැ එහෙම හොරු අල්ලන්න ගියොත් ආර්ථිකය නැවත කඩාවැටෙනවා කියලා. එතකොට අපිට පේනවා දේශපාලනයේදී ජනතාවට පක්ෂපාතී නොවී මහාපරිමාණ ප්‍රාග්ධනයට පක්ෂපාතී වීම නිසා ආණ්ඩුව තමන් විසින්ම බරපතළ අර්බුදයකට ගමන් කරමින් ඉන්නවා. ඔවුන් කියපු දෙයට විරුද්ධ දේවල් තමයි දැන් ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නේ.
නිළි රැජිනට ජනාධිපති අරමුදලේ පිහිට පතන්න වුණේ ඇයි...?
මේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ඉදිරිපත් වෙන්න ඕන ජනතාවාදී ප්‍රතිපත්තියක් හරහා. අද සමාජයේ ජීවත් වෙන කිසිඳු පුරවැසියෙක් ආරක්ෂිත නෑ. ඊයේ දවසේ අවසන් ගමන් ගිය රංගන ශිල්පී මාලිනී ෆොන්සේකා තමනගේ ජීවතේ අවසන් කාලයේ දී රෝගී තත්ත්වයකට ප්‍රතිකාර අරගෙන තියෙන්නේ ජනාධිපති අරමුදලින්. එහෙම මුදල් ගත්ත එක්ක හරිද වැරදිද වගේ ප්‍රශ්නයක අපි එල්ලිලා ඉන්නවා. හැබැයි නිළි රැජිනක් කියලා හඳුන්වපු කෙනෙක්ට ප්‍රතිකාර ලබාගැනීමට ජනාධිපති අරමුදලේ පිහිට පතන්න වෙච්ච සෞඛ්‍ය ක්‍රමය ගැන කවුරුත් කතාකරන්නේ නෑ.
රජයේ වාර්තා අනුව අද වෙද්දි ලංකාවේ ජනතාවගෙන් 7% ක් අසනීපයක දී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නෑ. ඒ ඔවුන්ට ඒ සඳහා වියදයම් කරන්න තරම් ආර්ථික වත්කමක් නැති නිසා. ප්‍රසිද්ධ කලාකරුවෙක්ට පවා ජීවිතයට ආරක්ෂිත තත්වයක් නැති සමාජයක අර 7% ගැන අමුතුවෙන් කතාකරන්න දෙයක් නෑ.
දුප්පත් ජනතාවට අහිමි සෞඛ්‍ය අයිතිය සහ අධ්‍යාපන අයිතිය
අද නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අපි පම්පෝරි ගැහුවට මේක තමයි ඇත්ත තත්ත්වය. පහුගිය කාලේ පැවති ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් අතරින් 56%ක් ඒ කියන්නේ 181,103 දෙනෙක් මාසික ආදායම රුපියල් 15000ට අඩු අතිශයින් දිළිඳු පවුල්වල දරුවන්. අපි දන්නවා ශිෂ්‍යයත්ව විභාගය ආරම්භ වුණේ ම දිළිඳු දරුවන්ට ශිෂ්‍යයත්වයක් මගින් ඉහළට ඉගැන්වීමේ අරමුණින්. නමුත් විභාගය සමත් වූ ප්‍රතිශතයෙන් ලකුණු 80වට වැඩියෙන් ලබාගත් දිළිඳු දරුවන් සංඛ්‍යාව 0.00%ක ප්‍රමාණයක්. ඇත්තටම දිළිඳු දරුවන්ගෙන් දාහකින් එක්කෙනෙක්ටවත් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න පුළුවන් කමක් ලැබිලා නෑ.
එතකොට අපිට පේනවා අද වෙද්දි දිළිඳු දුප්පත් ජනතාවට සෞඛ්‍ය අයිතිය වගේම අධ්‍යාපන අයිතියත් අහිමි වෙලා. ඔවුන් ජීවත් වෙන්නේ අතිශයින් අනාරක්ෂිත තත්වයක.
පහුගිය කාලේ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 143ක අධික ලාභයක් ලැබුවා. එහෙම තත්වයක් ඇතුළේ විදුලිබිල ගෙවාගත නොහැකි නිසා විදුලිය කප්පාදු කළ නිවෙස් සංඛ්‍යාව දසලක්ෂ හතළිස්දහක්. මේ නිවෙස් මාසෙකට යුනිට් 60ට අඩුවෙන් පාවිච්චි කරන අතිශයින්ම දිළිඳු පවුල්. සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත 11000ක් වසා දාලා තියනවා විදුලිය කප්පාදු වීම නිසා.
බෙදීමක් සහිත දේශපාලන ආර්ථික ක්‍රියාවලියකට යා යුත්තේ ඇයි...?
මෙ තත්ත්වය නිසා තමයි අපි කියන්නෙ මේ අපි ගමන් කරමින් ඉන්න ආර්ථික වැඩපිළිවෙළ ආපස්සට හරවන්න ඕන කියලා. අපිට ඕන විකල්ප ආර්ථික ගමනක්. ඒ විකල්ප ආර්ථික ගමන කියන්නේ අර අතිශයින් දුප්පත් දිළිඳු ජනතාවට ජීවත් විය හැකි ආරක්ෂිත සමාජයක් විය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සකස් වෙන්නෙම අර්බුදයේ බර දුප්පතුන්ගේ කරපිට පටවලා මහාපරිමාණ ප්‍රාග්ධන හිමියන්ට කෝටි ගණං ලාභ හොයාගන්න උදව්කරන වැඩපිළිවෙළක්. ඒ නිසා තමයි අපි හිතන්නේ IMF මර උගුලෙන් ගැලවුණු විකල්ප වැඩපිළිවෙළක් ප්‍රතිපත්තියමය පැහැදිලි බෙදීමක් සහිත දේශපාලන ආර්ථික ක්‍රියාවලියකට අපි යා යුතුයි කියලා
@ සටහන | ජයසිරි අලවත්ත