SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඊයේ (ඔක්තෝබර් 08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක

සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් සිවුර ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් යොමු කළ ලිපිය සහ ඒ ආශ්‍රිතව සමාජයේ මතුව ඇති කතිකාවත මෙහි ප්‍රධාන මාතෘකාව විය.

 

 

 840094851_2958261024572521_3155767653860291152_n.jpeg

 

 

 

මෙහිදී ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළේ පවතින නීතිය තම පෞද්ගලික අභිමතය පරිදි වෙනස් කිරීමට හෝ එක් නිශ්චිත පුද්ගලයෙකු ඉලක්ක කරගෙන නියෝග නිකුත් කිරීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බවයි.

 

 

"සාමාන්‍ය දේශපාලනයේදී කියවෙන්නේ නීතිය යනු පාලකයාගේ කැමැත්ත බවයි. නමුත් මගේ කැමැත්ත නීතිය බවට පත් කිරීමට මම කිසිසේත්ම සූදානම් නැහැ,"

යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

 

 

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

නීතිය මගේ කැමැත්ත වුවහොත්, මා කැමති අකමැති දේ මත නීතිය අර්ථකථනය වෙන්න පටන් ගන්නවා. එය කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නොවේ.".

 

 

ඔහු මහා සංඝරත්නයට පැහැදිලි කළේ, බන්ධනාගාර බලධාරීන් කටයුතු කර ඇත්තේ ලිඛිත නීතියට අනුව බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් ඵලක් නොමැති බවයි. එසේම, "පවතින නීතිය මෙසේ වුවත්, මේ එක් පුද්ගලයා සම්බන්ධයෙන් පමණක් මේ ආකාරයට කටයුතු කරන්න" යැයි විධායක නියෝගයක් නිකුත් කිරීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බව ජනාධිපතිවරයා තරයේ ප්‍රකාශ කළේය. එසේ කිරීමෙන් නීතියේ සමානාත්මතාවය බිඳවැටෙන බවත්, දැනට බන්ධනාගාරයේ සිටින අනෙකුත් භික්ෂූන් 63 නමට එක් නීතියකුත්, ඥානසාර හිමියන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

 

එහෙත් පවතින නීතිය වර්තමානයට නොගැලපෙන්නේ නම්, කළ යුත්තේ පුද්ගල අභිමතය මත කටයුතු කිරීම නොව නිසි ව්‍යවස්ථාදායක ක්‍රමවේදය ඔස්සේ එය සංශෝධනය කිරීම බව ඔහු පැහැදිලි කළේය.

 

 

 

මෙම අර්බුදයේ මූලය ඇත්තේ 1877 වසරේ සම්මත වූ බන්ධනාගාර ආඥාපනත, ඊට අදාළ අමාත්‍ය රෙගුලාසි සහ ස්ථාවර නියෝග තුළ බව මෙහිදී සාකච්ඡාවට ලක්විය. සාමාන්‍ය ගිහි සිරකරුවන් ඉලක්ක කරගෙන සැකසූ මෙම නීතිවල බෞද්ධ භික්ෂූන් සම්බන්ධයෙන් ඇත්තේ ඉතා සීමිත ප්‍රතිපාදන කිහිපයක් පමණක් බව ජනාධිපතිවරයා මහා සංඝරත්නයට පෙන්වා දුන්නේය.

 

 

 

බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ ඕනෑම සිරකරුවෙකු අනිවාර්යයෙන්ම බන්ධනාගාරයෙන් නිකුත් කරන නිල ඇඳුම පැළඳිය යුතු බව නීතියේ දැක්වේ. බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ එම නීතියට අනුව බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් ඵලක් නොමැති බවත්, දැනටමත් විවිධ වැරදි සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා 63 නමක් මෙම නීතිය යටතේ බන්ධනාගාරගතව සිටින බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.

 

 

එහෙත් මහා සංඝරත්නය ඉදිරිපත් කළ ප්‍රබල තර්කය වූයේ මෙය ශාසනික විනය නීතිවලට පටහැනි බවයි. යම් භික්ෂුවක් පාරාජිකා වරදක් සිදුකර ඇති බවට අදාළ සංඝ සභාව විසින් තීරණය කර නොමැති නම්, සිවිල් නීතිය යටතේ රාජ්‍ය නිලධාරීන්ට සිවුර ඉවත් කිරීමට අයිතියක් නොමැති බව මහානායක හිමිවරුන්ගේ ලිපියේ දැක්විණි.

 

 

ඊයේ දිනයේ මහජනතාව ගෞරවයෙන් වන්දනාමාන කළ භික්ෂුවක් අද ගිහි ඇඳුමින් සමාජයට නිරාවරණය වීම බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට දැඩි කම්පනයක් ගෙන දෙන බව තමන් මැනවින් අවබෝධ කරගෙන ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ප්‍රධාන ගැටලුව මතුවන්නේ බන්ධනාගාරය ඇතුළතදී නොව, මාධ්‍ය සහ සමාජය ගැවසෙන බාහිර පරිසරයට (අධිකරණයට) රැගෙන එන විට බව ඔහු නිවැරදිව හඳුනා ගෙන තිබිණි.

 

 

ඒ අනුව, තාවකාලික විසඳුම් වෙනුවට එක් භික්ෂුවකට පමණක් ඉලක්ක නොවන පරිදි සමස්ත බන්ධනාගාර පද්ධතියටම අදාළ වන ලෙස නීති සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය. නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය සහ බන්ධනාගාර නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මේ සඳහා පත් කෙරිණි.

 

 

මෙම කමිටුවට සති දෙකක් ඇතුළත අදාළ නීති සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීමට උපදෙස් ලබා දී ඇති අතර, මහා සංඝරත්නය සමඟ ද සාකච්ඡා කිරීමෙන් පසු අනාගතයට ගැලපෙන නව නීති රාමුවක් සකස් කිරීමට නියමිතය. සංවේදී ආගමික කාරණයකදී "පාලකයාගේ අභිමතය" වෙනුවට "නීතියේ ආධිපත්‍යය" ස්ථාපිත කරමින් ජනාධිපතිවරයා ගත් මෙම ප්‍රවේශය සහ ලබාදුන් කඩිනම් විසඳුම සම්බන්ධයෙන් නායක හිමිවරුන් සිය ප්‍රසාදය හා ආශිර්වාදය පළ කළහ.

 

 

 

කෙසේ වුවත් මෙම සංකීර්ණ සිදුවීම හරහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වගන්ති දෙකක් අතර දෘෂ්ටිවාදාත්මක ඝට්ටනයක් සමාජය හමුවේ මතු වී ඇත. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් එය සුරක්ෂිත කිරීමට බැඳී සිටින 9 වැනි වගන්තිය සහ ආගම හෝ තරාතිරම නොබලා සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන බව දක්වන 12 වැනි වගන්තිය අතර තුලනයක් ගොඩනැගීමේ අභියෝගය මෙහිදී කැපී පෙනේ.

 

 

 

නවතම ලිපි