SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකා කාන්තාවන්ගේ නොකියවෙන සත්‍යය මෙයයි.

ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන්ට අන්තර්ජාතික කාන්තා දිනය උත්සවයක් නොව, දෛනික ජීවන අරගලයේ තවත් අරගල දිනයක් පමණි.

 

 

අන්තර්ජාතික කාන්තා දිනය ලෝකය පුරා සමරන දිනක්. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන්ට, මේ දිනය උත්සවයකටත් වඩා සැමදා වගේම තවත් සාමාන්‍ය දිනයක් පමණි. කොළඹ තරු පහේ හෝටල්වල වට්ටම්, සමාජ මාධ්‍ය පණිවිඩ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන නිකුත් කරන ප්‍රකාශ, මෙවැනි දේවල් බොහෝ විට මායාවන් පමණකි. කාන්තාවන්ගේ සත්‍ය ජීවිතය, දෛනික ගැටලු, ආර්ථික සටන්, නිවසේ මිළක් නොගෙවෙන වැඩ, රැකියා හිංසන, ගෘහ හිංසනය, ලිංගික අපචාර, විදේශ සේවයේ දුක්ඛිත ජීවිතය, මෙවැනි ගැටලු කිසිවක් මෙම උත්සව පරිසරයට ඇතුළත් නොවේ.

 

 

අන්තර්ජාතික කාන්තා දින උත්සවය—තවත් රැවටීමක් පමණකි

 

අන්තර්ජාතික කාන්තා දිනයට පෙර හා පසු, රටේ නායකයන්, රාජ්‍ය ආයතන, සමාජ මාධ්‍ය පිරිස විසින් විශාල විවිධාකාර ප්‍රකාශ සහ සුභ පැතුම් නිකුත් කරයි. “කාන්තාව රටේ ශක්තියයි”, “කාන්තාවන්ට සමාන අවස්ථා”, “ඇය නැගිටින විට රට නැගිටනවා” “කාන්තා දිරිය” යන වචන දිනකට පමණක් පිපී පරවෙන මල් මෙන් පරවී යනවා.

 

නමුත් අන්තර්ජාතික කාන්තා දිනය අවසන් වූ විගස, කාන්තාවන්ගේ සත්‍ය ගැටලු, රැකියා ආරක්ෂාව, ගෘහ හිංසනය, අසමාන වැටුප, සමාජ ආරක්ෂාව, ප්‍රජනන සෞඛ්‍යය යනාදි කිසිවකට ප්‍රායෝගික විසඳුම් නොමැතිව එලෙසම පැවතීම නිරායාසයෙන්ම වාර්ෂිකව සිදුවන්නකි.

 

කොළඹ හෝටල්වල, කැෆේවල, මෝල්වල, සැලූන්වල, රූපලාවන්‍ය මධ්‍යස්ථානවල අන්තර්ජාතික කාන්තා දිනය නිමිතිකර දෙන වට්ටම් භාවිතා කරන්න පුළුවන් පිරිස ලංකාවේ අතිශයින්ම සීමිතයි. නගර මධ්‍යයේ ඉහළ ආදායම් පවුල් කිහිපයකට පමණක් ඒවා භාවිතා කළ හැක.

 

නමුත් ගම්වල, කර්මාන්ත ශාලාවල, වෙළඳසැල්වල, නිවසේ වැඩ කරන කාන්තාවන්ට, මෙම වට්ටම් වලින් කිසිදු අර්ථයක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ වට්ටම් නොව, ආරක්ෂිත රැකියා, සමාන වැටුප, සමාජ ආරක්ෂාව සහ ගරුත්වයයි.

 

 

ශ්‍රී ලංකා කාන්තාවන්ගේ දෛනික සටන

 

“ශ්‍රී ලංකා කාන්තාවන්ගේ දෛනික ජීවන සටන යනු උත්සව පණිවිඩවලට නොපෙනෙන සැබැ සත්‍යයයි.”

අඩු වැටුපක් සඳහා දිගු පැය ගණනක් වැඩ කිරීම, නිවසේ මිලක් නොගෙවෙන වැඩ සියල්ල ඉටු කිරීම, ගෘහ හිංසනයට ලක්වූවත් නිශ්ශබ්දව සිටීම, රැකියා ස්ථානවල අසමාන හැසිරීම්, ලිංගික හිංසනය, දරුවන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුඵ සියලු බර ඔසවා විද දරාගෙන සිටීම, ශ්‍රී ලාංකික බහුතර කාන්තාවන්ගේ සත්‍ය ජීවිතයයි.

 

විදේශගත වී පවුල රැක ගැනීමට තම ජීවිතය කැප කරන කාන්තාවන්ගේ දුක්ඛිත ජීවිතය ලාංකික කාන්තා සමාජයේ තවත් අඳුරු කොටසකි. ඔවුන්ට නිවාඩු නොමැති දිගු පැය වැඩ, හිංසනය, අපහාස, ලිංගික පීඩනය, පවුලෙන් වසර ගණනාවක් වෙන්වීම, දරුවන්ට මව සහ ආදරය අහිමිව සමාජීය අතවරයන්ට ගොදුරුවීම සහ ඔවුන්ගේ පවුල් සංස්ථාව බිද වැටීම. මෙය රටට විදේශ විනිමය උපයා දෙන පිරිසගේ, නොපෙනෙන මානසික, ජීවන අරගලයයි.

 

 

නිවසේ පඩි නොගෙවෙන වැඩ-රටේ නොපෙනෙන ආර්ථිකය

 

සෑම ගෘහණියක්ම, සෑම දිනකම කරන දරුවන්ගේ රැක බලා ගැනීම, ආහාර පිසීම, රෙදි සේදීම, නිවස පිරිසිදු කිරීම. මෙය රටේ ආර්ථිකයට දිනපතා දායක වන විශාල කාර්යභාරයක්. නමුත් මෙයට කිසිදු ආර්ථික අගයක්, සමාජ අගයක්, හෝ නීතිමය පිළිගැනීමක් නොමැතිවීම කනගාටුවට කරුණක්.

“ගෘහණියකගේ දෛනික වැඩ රටේ ආර්ථිකයට දායක වුවත්, සමාජය ඒවා නොපෙනෙන සේ හැසිරේ.”

 

 

අන්ධ වූ පාලකයින් සහ නිශ්ශබ්ද සමාජය

 

ගෘහ හිංසනය තවමත් බොහෝ කාන්තාවන්ගේ ජීවිතයේ අඳුරු කොටසකි. නීතිමය ආරක්ෂාව ගැන නොදැන සිටීම, සමාජ ලැජ්ජාව, ආර්ථික අසමත්භාවය, දරුවන්ගේ අනාගතය ගැන බිය. මෙය කාන්තාවන්ට නිශ්ශබ්දව හිංසනය භාරගන්නා පිරිසක් බවට පත් කිරීමට අවශ්‍ය පරිසරයක් සාදා දී ඇත.

 

සමාජ විද්‍යාත්මකව මෙය “සංස්කෘතික නිශ්ශබ්දතාව” ලෙස හඳුන්වයි. සමාජයම නිශ්ශබ්දව සිටින නිසා, හිංසනය පවත්වාගෙන යාමට පහසු පරිසරයක් ඇතිවීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇත.

 

ලිංගික හිංසනය සහ ගැහැණු ළමා අපචාර පිළිබඳ වාර්තා වසරෙන් වසර ඉහළ යන බව පොලිස් වාර්තා පෙන්වයි. බොහෝ අපචාර සිදුවන්නේ පවුල තුළය. පීඩිතාවන්ට නීතිමය සහාය ලබා ගැනීම අසීරුය. නීති ක්‍රියාත්මක වීම මන්දගාමීය. අධිකරණ ක්‍රියාවලියට යොමු වීමට මුදල් හෝ දැනුම නොමැති වීමත් සත්‍යයයි.

 

 

මිය ගියත් ලිංගික හිංසාව නොනවති.

 

පසුගියදා දික්ඔය රජයේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ තරුණියකගේ මල සිරුර එහි සේවයින් තිදෙනෙකු විසින් වරින් වර දූෂණය කර ඇති බව වාර්තා විය. මෙය වාර්තා වූ එක් සිද්ධියක් පමණක් වූවද, මෙවැනි වාර්තා නොවන සිදුවීම් දහස් ගණනක් විය හැක.

 

 

කාන්තාවන් අතර මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනය

 

අද ශ්‍රී ලංකාවේ තවත් නව ප්‍රවණතාවක් දැකිය හැක. කාන්තාවන් අතර මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම.

ඒ සඳහා හේතු විය හැක කාරණා කෙතරම් දිබුනත් ඒවා සාධාරණය කල නොහැක. ආර්ථික පීඩනය, පවුල් ගැටලු, ගෘහ හිංසනය, මානසික පීඩනය, සමාජයේ වැරදි අසුරු කිරීම් ඉහල සමාජයේ දි එය පිලිගැනීමකට ලක්වීම. මෙය කාන්තාවන්ගේ සෞඛ්‍යයට, පවුල් ජීවිතයට, සහ දරුවන්ගේ අනාගතයට බරපතල බලපෑම් ඇතිකරන සමාජ ගැටලුවකි.

 

 

ඇඟළුම් කර්මාන්තයේ කාන්තාවන්-අගය නොලැබෙන දායකයින්

 

රටේ විදේශ විනිමය ආදායමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන ඇඟළුම් කර්මාන්තයේ සේවය කරන කාන්තාවන්ගේ ජීවිතය ද අසීරුයි. අදුරුය.

 

අඩු වැටුප, දිගු පැය සේවා මුර, නිවාඩු අඩුව, සමාජ ආරක්ෂාව නොමැතිකම, නවාතැන් පහසුකම් දුක්ඛදායක වීම. මෙම පිරිස රටේ ආර්ථිකයට දායක වුවත් සමාජයෙන් අගය නොලැබෙන, සමාජ අවමානයට පමණක් ලාංකීය කාන්තාවන්ගේ තවත් දුක්බර කාණ්ඩයකි.

 

අන්තර්ජාතික කාන්තා දිනය උත්සවයක් නොව, සමාජය වෙනස් කිරීමට අවශ්‍ය දිනක් විය යුතුය. එහි ප්‍රථිපල සමස්ත කාන්තාවන්ටම දැණිය යුතුය.

 

කාන්තාවන්ගේ දෛනික ගැටලු හෙළි කිරීම, සමාජය තුළ අසමානතාව ගැන සාකච්ඡාවක් ආරම්භ කිරීම, ප්‍රතිපත්ති මට්ටමින් වෙනසක් ඉල්ලීම, කාන්තාවන්ගේ දායකත්වය සැබෑවෙන් පිළිගැනීම. මෙය එක් දිනකට, පණිවිඩ වලට සීමා නොවිය යුතුය.

 

 

ශ්‍රී ලංකා කාන්තාවන්ගේ දෛනික සටන, අසමානතාව, ආර්ථික බර, නිවසේ නොගෙවෙන වැඩ, ගෘහ හිංසනය, ලිංගික අපචාර, විදේශ සේවයේ දුක්ඛිත ජීවිතය, ඇඟළුම් කර්මාන්තයේ අසුරුවීම්, සහ මත්ද්‍රව්‍ය/මත්පැන් භාවිතයේ වර්ධනය. මෙවැනි ගැටලු විසඳීමට අවශ්‍ය වන්නේ සත්‍ය ප්‍රතිපත්තිමය කැපවීමක්ය.

 

 

@ ශෂිකලා හෙට්ටිආරච්චි

ප්‍රවීන රංගන ශිල්පිණි

නවතම ලිපි