රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා කරමින් රජයේ රෝහල් වෙත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (Immunoglobulin) සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, 2026 පෙබරවාරි 18 වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නීතිමය මෙන්ම පරිපාලනමය වශයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය විය.
ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වූ මෙම නඩු විභාගයේදී, විත්තියේ හරස් ප්‍රශ්න, පැමිණිල්ලේ විරෝධතා සහ විනිසුරු මඩුල්ලේ නිරීක්ෂණයන් හරහා ලාංකේය රාජ්‍ය යාන්ත්‍රණයේ සහ ඖෂධ නියාමන ක්‍රියාවලියේ පවතින සංකීර්ණතා මැනවින් පිළිඹිබු විය.
1. අධිකරණයේ ආධිපත්‍යය: "තීරණ ගන්නේ උසාවිය මිස පැමිණිල්ල නොවේ"
නඩුවේ හරස් ප්‍රශ්න ඇසීමේදී විත්තිය සහ පැමිණිල්ල නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අතර ඇතිවූ උණුසුම් තත්ත්වයන් හමුවේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ලබාදුන් නියෝගය අතිශය තීරණාත්මකය.
"නඩුවට අදාල තීරණ ගන්නේ උසාවිය මිසක් පැමිණිල්ල නෙමෙයිනේ?" මෙම ප්‍රකාශය මගින් නීතියේ ආධිපත්‍යය (Rule of Law) සහ අධිකරණයේ ස්වාධීනත්වය යළිත් වරක් තහවුරු කෙරිණි. එමෙන්ම, හරස් ප්‍රශ්න ඇසීමේ නෛතික ප්‍රතිපාදන පිළිබඳවද විනිසුරුවරයා විත්තියට පැහැදිලි කිරීමක් කළේය. සාක්ෂිකරුවන් ගෙන්වනු ලබන්නේ සිද්ධිමය කරුණු (Questions of Fact) තහවුරු කරගැනීමට මිස නෛතික කරුණු (Questions of Law) පිළිබඳ තර්ක කිරීමට නොවන බව පෙන්වා දුන් අධිකරණය, පනත්වල වගන්ති සෘජුව නොඅසා ඒවා "යෝජනා" (Suggestions) ලෙස ඉදිරිපත් කළ යුතු බවට නියෝග කළේය. මෙය සාක්ෂි ආඥාපනතේ හරස් ප්‍රශ්න ඇසීමේ නිවැරදි ක්‍රමවේදය කියාපාන කදිම නිදසුනකි.
2. "ස්වාධීන පරිපාලනය" සහ ඖෂධ නියාමන අධිකාරිය (NMRA) නැමති මුර කපොල්ල
එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න මගින් උත්සාහ කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් කමිටුව, කිසිදු බාහිර බලපෑමකින් තොරව ක්‍රියාත්මක වන "ස්වාධීන බලයලත් කමිටුවක්" සහ ඖෂධ ලියාපදිංචි කිරීමේ ප්‍රධාන "මුර කපොල්ල" (Checkpoint) ලෙස ස්ථාපිත කිරීමටයි. සාක්ෂිකාරියද ඊට එකඟතාව පළ කළාය.
එහෙත්, ව්‍යවස්ථාදායකය සහ විධායකය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විචාරාත්මක දෘෂ්ටියකින් බැලීමේදී මෙම "ස්වාධීනත්වය" යන්න හුදු කල්පිතයක් බව පෙනී යයි. ලෝකයේ හෝ ලංකාවේ හෝ කිසිදු රාජ්‍යයක පරම වශයෙන් ස්වාධීන වූ පරිපාලනයන් පවතින්නේ නැත. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර පරිපාලනයන් යනු ප්‍රායෝගිකව නැත්තටම නැති දෙයක් වන අතර, ප්‍රජාතන්ත්‍රවාදය යනු බොහෝවිට මෙම රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීමට ඈඳාගෙන ඇති ධනේශ්වර මෙවලමක් ලෙස ක්‍රියාත්මක වේ.
කිසිවෙකුටත් සම්පූර්ණ රාජ්‍ය බලය දිනාගත නොහැකි සේම, රාජ්‍ය ආයතන පවතින්නේම විවිධ දේශපාලන සහ ආර්ථික බලවේගයන්ගේ බලපෑම් ජාලයක් තුළය. එබැවින් හදිසි තත්ත්වයන් යටතේ (Emergency Procurement) ඖෂධ ගෙන්වීමේදී මෙම කමිටු සැබැවින්ම "ස්වාධීන මුර කපොලුවලට" වඩා, ඉහළින් එන නියෝග සහ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයක් බවට පත්වන බව මෙම නඩු විභාගයේ සමස්ත සන්දර්භය හරහාම පැහැදිලි වේ.
3. වගකීම විමධ්‍යගත කිරීම: ආනයනකරු සහ හදිසි තත්ත්වය ඉස්මතු කිරීම
විත්තියේ නීතිඥවරුන්ගේ ප්‍රධාන උපායමාර්ගයක් වූයේ සිදුවී ඇති වංචාවේ සහ නොසැලකිල්ලේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මුදාහැර, වෙනත් පාර්ශ්වයන් වෙත යොමු කිරීමයි.
- ආනයනකරුගේ වගකීම: නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකාරියගෙන් ඇසූ ප්‍රශ්න හරහා, ඖෂධයක් ගෙන්වීමේදී එහි වගකීම සම්පූර්ණයෙන්ම "ආනයනකරු" සතුවන බව තහවුරු කරගැනීමට උත්සාහ දැරීය.
- පද්ධතියේ සාමාන්‍ය ස්වභාවය: 2020 සිට මේ දක්වා ඖෂධ 375ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව පෙන්වා දෙමින්, ප්‍රමිතියෙන් තොර ඖෂධ හමුවීම මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ "අසාමාන්‍ය තත්ත්වයක් නොවන" බව පෙන්වා දීමට විත්තිය උත්සාහ කළේය.
- හදිසි තත්ත්වය සාධාරණීකරණය: අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ, එවකට රටේ පැවති "දැඩි ඖෂධ හිඟයට පිළියමක් ලෙස බහුතර එකඟතාවයෙන් ගත් තීරණ" ලෙස අර්ථකථනය කිරීමට කටයුතු කළේය.
4. නීතිමය සංසන්දනය: "මරණය" එරෙහිව "සංකූලතා"
පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල විසින් ඉදිරිපත් කළ තර්කය අපරාධ නීතියේ දෘෂ්ටිකෝණයෙන් අතිශය සූක්ෂ්ම එකකි. ඔහු 'ZUPIVAC-H' නැමති නිර්වින්දන ඖෂධය භාවිතයෙන් පේරාදෙණිය රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියක් අධිකරණය හමුවට ගෙන ආවේය.
ඉන්පසුව ඔහු සාක්ෂිකාරියගෙන් විමසා සිටියේ ප්‍රශ්නගත "හියුමන් ඉමියුනොග්ලොබියුලීන්" (Human Immunoglobulin) එන්නත භාවිතයෙන් යමෙකු මියගොස් ඇත්ද යන්නයි. ඇඟ කැසීම, දහදිය දැමීම වැනි සංකූලතා හැර කිසිදු රෝගියෙකු මියගොස් නැති බව සාක්ෂිකාරිය එහිදී පිළිගත්තාය.
මරණය සහ සංකූලතා අතර දෝලනය වන "වගවීම"
විත්තියේ නීතිඥවරයා විසින් 'ZUPIVAC-H' නැමති නිර්වින්දන ඖෂධය හේතුවෙන් සිදුවූ මරණ සහ ප්‍රශ්නගත 'හියුමන් ඉමියුනොග්ලොබියුලීන්' එන්නත හේතුවෙන් ඇතිවූ සංකූලතා අධිකරණය හමුවේ සංසන්දනය කිරීම, හුදෙක් චෝදනාවේ බරපතළකම අඩු කිරීමට දරන නීතිමය උත්සාහයක් ලෙස පමණක් ලඝු කිරීම ප්‍රමාණවත් නොවේ. මෙහිදී මතුවන වඩාත් ගැඹුරු සමාජ-දේශපාලනික ඛේදවාචකය වන්නේ, මෙරට සෞඛ්‍ය සහ නියාමන යාන්ත්‍රණයම මේ වන විට කෙතරම් අරාජික වී ඇත්ද යන්නයි.
කිසිවෙකු මියගොස් නොමැති බව තහවුරු කිරීම හරහා මිනීමැරීමේ චේතනාවක් (Mens rea) නොතිබූ බව නීතිමය වශයෙන් තහවුරු විය හැකි වුවද, මින් ගම්‍ය වන සැබෑ යථාර්ථය එය නොවේ. ඉන් නිරාවරණය වන්නේ, ඖෂධයක් ආනයනය කිරීමේ සිට එය රෝගියෙකුගේ ශරීරගත කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම කිසිදු වගවීමකින් තොරව හැසිරවීමට වත්මන් පද්ධතිය තුළ ඉඩහසර නිර්මාණය වී ඇති බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා ආයතන පද්ධතියක් තුළ, ඖෂධ නියාමනය වැනි මිනිස් ජීවිත හා බැඳුණු අතිශය සංවේදී කාරණයක් පවා මෙතරම් අත්තනෝමතික ලෙස හැසිරවීමට හැකි වී ඇත්තේ, ලංකාව තුළ කිසිදා ස්වාධීන පරිපාලනයක් පැවතී නොමැති බැවිනි. දේශපාලනික සහ ආර්ථික බලවේගයන්ගේ මැදිහත්වීමකින් තොර පරිපාලනයක් යනු හුදු මිත්‍යාවක් බවත්, රාජ්‍ය යාන්ත්‍රණය යනුම එම බලවේගයන්ගේ හැසිරීම් මත ක්‍රියාත්මක වන මෙවලමක් බවත් මෙවැනි හරස් ප්‍රශ්න සහ පිළිතුරු හරහා මැනවින් තහවුරු වේ.
18 වැනිදා පැවති නඩු විභාගය, හුදෙක් පැමිණිල්ල සහ විත්තිය අතර ගැටුමක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, ඖෂධ නියාමන ක්‍රියාවලිය සහ දේශපාලන තීරණ ගැනීමේ යාන්ත්‍රණය එකිනෙක ගැටෙන ආකාරය පෙන්වා දෙන කැඩපතක් බඳුය. විත්තියේ නීතිඥවරුන් මෙන්ම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින්නන්ද පනත් සහ චක්‍රලේඛ යොදාගනිමින් නිලධාරීන්ගේ වගකීමෙන් මිදීමට නෛතික සිදුරු සොයන අතර, අධිකරණය සිය ස්වාධීනත්වය සහ විනිශ්චය බලය මැනවින් ආරක්ෂා කරමින් නඩු විභාගය මෙහෙයවන ආකාරය මෙහිදී නිරීක්ෂණය කළ හැකිය.
නඩු වාර්තාව
18/02/2026
නඩුවට අදාල තීන්දු තීරණ ගනු ලබන්නේ අධිකරණය මිස පැමිණිල්ල විසින් නොවන්නේ යැයි කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (18) විවෘත අධිකරණය හමුවේදී පැවසීය.
පැමිණිල්ල විසින් කරනු ලබන ඉල්ලීම් මත සාක්ෂිකරුවන් අධිකරණය හමුවට කැඳවනුයේ නඩුවට පාදක වූ සිද්ධිමය කරුණු ගැන සාක්ෂි ලබාදීමට වන බැවින් හරස් ප්‍රශ්න අසන විට ඔවුන් වෙත අණ පනත් යනාදී නෛතික කරුණු ඉදිරිපත් කොට ඊට අදාළව සෘජුව ප්‍රශ්න ඇසීමේ හැකියාවක් විත්තියට නොමැති බවත් යම් අදාළ කරුණක් නිශ්චය කර ගැනීමට විත්තියට අවශ්‍ය නම් යෝජනාවක් ලෙස එය සාක්ෂිකරු වෙත ඉදිරිපත් කොට කරුණු තහවුරු කර ගැනීමේ අවසරය විත්තියට හිමිවන බවත් සභාපති විනිසුරුවරයා පැවසීය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් යටතේ හිටපු සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ (18) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.
එහිදී පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස හත්වන දිනටත් අධිකරණය හමුවේ දිව්රුම් පිට සාක්ෂි ලබා දුන් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම්, නිලධාරිනියක ලෙස රාජකාරි කරන නිශානි ලංකා කරුණාතිලක මහත්මියගෙන් දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න අසමින්, ඖෂධ නියාමන පනතේ වගන්තියක් පවසා ප්‍රශ්නයක් යොමු කළේය.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා.- පනතේ වගන්තිය සාක්ෂිකාරියට කියලා කෙලින්ම ප්‍රශ්න අහන්න එපා. යෝජනාවක් විදිහට සාක්ෂිකාරියට යොමු කරන්න. විත්තියේ හරස් ප්‍රශ්න මගින් සාක්ෂිකාරියට කරන යෝජනා කියන්නේ සාක්ෂි තමයි. විත්තියෙන් කරන යෝජනාවලට සාක්‍ෂිකරුවන් ලබාදෙන පිළිතුරු සාක්ෂි ලෙස තමයි අධිකරණය සලකන්නේ. එවැනි යෝජනා කියන්නේ අමුතු කොටසක් නෙවෙයි. සාක්‍ෂිකාරියගෙන් විත්තියට අහන්න තියෙන දෙයක් යෝජනාවක් විදිහට කරන්න. එහෙම නැතුව මොන පනතේ මොන වගන්තිය යටතේද මෙහෙම තියෙන්නේ කියලා අහන්න ඕන නෑ.
නීතීඥ අසේල සේරසිංහ මහතා ; අපි බලමු පැමිණිල්ල මෙහෙයවන මගේ උගත් මිතුරියගේ මතයත් අහලා එතුමිය නැගිට්ටේ ඒකට උත්තර දෙන්න වෙන්න ඇතිනේ?
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; නඩුවට අදාල තීරණ ගන්නේ උසාවිය මිසක් පැමිණිල්ල නෙමෙයිනේ?
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ; මම විත්තියේ උගත් නීතිඥවරයා එම ප්‍රශ්නය අහනවාට විරුද්ධයි
නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඖෂධ නියාමන පනත ප්‍රකාරව ඖෂධ නිෂ්පාදනය සහ ආනයනය කිරීම ලියාපදිංචි කිරීමට අදාළ වගකීම තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියට නේද ?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
විත්තියේ නීතිඥ ; එලෙස ලියාපදිංචි ලබාදෙන ඖෂධ ආනයනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදීම ඖෂධ නියාමන අධිකාරිය කරනවා නේද? ඖෂධ නියාමන පනතේ හැට තුන්වන වගන්තිය කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; හරස් ප්‍රශ්න අහන විට අධිකරණයේ අවධානය යොමු කරන්න පුළුවන් 58 වගන්තිය ගැන විතරයි.
විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඔබ මම හරස් ප්‍රශ්න අහන්න පෙර මගේ උගත් විත්තියේ නීතිඥවරුන් අහපු ප්‍රශ්න වලදී ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය ගැන කිසිම අපහසුතාවක් නැතුව උත්තර දුන්නා. එහෙමනම් ඖෂධ නියාමන පනතේ තුන්වන උප වගන්තිය මොකක්ද කියලා කියන්න.
(සාක්ෂිකාරිය එම උප වගන්තිය කියවයි)
විත්තියේ නීතිඥවරයා ; යම් ඖෂධ ආනයනකරුවකුට ඖෂධ ඇගයීම් කමිටුව සහතිකයක් නිකුත් කළ විට එකී ඖෂධය ආනයනය කිරීම ඇතුළු වගකීම් තිබෙන්නේ ආනයනකරු වෙත නේද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; මේ සාක්ෂිකාරියගේ රාජකාරියට අදාළ ප්‍රශ්න අහන්න පනත ගැන අහන්න එපා.
විත්තියේ නීතිඥවරයා ; සෑම ඖෂධයක්ම ආනයනය කරන විට ඊට අදාළ සෑම වගකීමක්ම පැවරෙන්නේ ආනයනකරුට නේද ?
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; මම එම ප්‍රශ්නයට විරුද්ධයි. සෑම ඖෂධයක්ම සෑම අවස්ථාවකදීම නෙමෙයි.
විත්තියේ නීතිඥවරයා ; අයියෝ ....
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; අයියෝ නෙමෙයි ඔබතුමා නිසි ක්‍රියා පටිපාටිය අනුව හරස් ප්‍රශ්න අහන්න.
විත්තියේ නීතිඥ ; මම යෝජනාවක් විදිහටයි ඒක ඇහැවුවේ. සාක්ෂිකාරිය ඒකට හරි නම් හරි කියයි වැරදි නම් වැරදියි කියයි.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; පැමිණිල්ලයි විත්තියයි අතර ඇතිවෙලා තිබෙන විරසකය අවසන් කරන්න. මේක දෙපාර්ශවයේම රාජකාරියක් විතරයි නේ. ඒ නිසා උසාවියට ඇවිත් විරසක ඇති කරගන්න ඕන නෑ.
නීතීඥ අසේල සේරසිංහ මහතා ; ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කොට ආනයනය කළ ඖෂධ අතරින් 375 ක් 2020 වසරේ සිට මේ දක්වා භාවිතයට නුසුදුසු බවට නිගමනය කොට භාවිතයෙන් ඉවත් කර ඇති බව ඔබ දන්නවාද? ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ දැන්වීම මගින් පළකර ඇති බව ඔබ දන්නවාද? මම එම ලේඛන ඔබට ඉදිරිපත් කළොත් හඳුනාගන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය ; ඒක මගේ රාජකාරියට අයත් දෙයක් නෙමෙයි. ඒ නිසා මට ඒ ගැන අවබෝධයක් නෑ.
විත්තියේ නීතිඥවරයා ; මේ ඖෂධ අතරින් පහක් මේ වසර තුළදී භාවිතයෙන් ඉවත් කළ ඒවා. ඒවා සාමාන්‍ය ක්‍රමවේදය අනුව ආනයනය කළ ඒවා බවට මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; එය වෙබ් අඩවිය පරීක්ෂා කර බලා කියන්න පුළුවන්.
හතරවන විත්තිකාර මරක්කළ මානගේ, නිරාන් ධනංජය හා පස්වන විත්තිකාර සුජිත් වසන්ත කුමාර වෙනුවෙන් පෙනී සිටි. ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක සේරසිංහ මහතා. එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසමින් පැ 134 ලෙස නම් කර තිබූ ලේඛන ගොනුව ඇය වෙත ඉදිරිපත් කිරීමට යෝජනා කළේය.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; මම එම ලේඛන ගොනුව සාක්ෂිකාරිය වෙත ඉදිරිපත් කර හරස් ප්‍රශ්න අහනවාට විරුද්ධයි. ඒක ඇය සේවය කරන ආයතනයට අදාල ලේඛන ගොනුවක් නෙවෙයි. ඇය සේවය නොකළ ආයතනයක ගොනුවක් ඇය වෙත ඉදිරිපත් කර ප්‍රශ්න අහන්න බෑ.
ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක සේරසිංහ මහතා ; මම තවම සාක්ෂිකාරියට එම ගොනුව දුන්නේවත් නෑ. මොකක්ද මේ දක්වන විරුද්ධත්වය. ගොනුව ඉදිරිපත් කරලා ප්‍රශ්න ඇසුවාට පසුව ඕන නම් විරුද්ධත්වය දක්වන්න. ඖෂධ ඇගයීම් වාර්තා නිකුත් කරන්නේ ලියාපදිංචි නොකළ ඖෂධ ආනයනය කිරීමේදී නේද ? කෙටියෙන් කීවොත් ඖෂධ ඇගයීම් කමිටු වාර්තා අපනයන හා ආනයන බලධාරීන් වෙත හා ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දෙන්නේ ආනයනය කරනු ලබන ඖෂධ නිදහස් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමේ අභිලාෂය මත නේද?
සාක්ෂිකාරිය; ඔව් ස්වාමීනි
නීතිඥ අසෝක සේරසිංහ මහතා ; ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය අනුව ඖෂධ ඇගයීම් සහතික හැමවිටම නිකුත් කරන්න බෑනේ. දැඩි ඖෂධ හිඟයක් පවතින අවස්ථාවලදී රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වැනි හදිසි අවස්ථාවලදී නේද හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ඇගයීම් සහතික ඉදිරිපත් කරන්නේ. මම ඔබට යෝජනා කළොත් අදාල ඖෂධ රටට ආනයනය කළ පසු එකී සහතික පත්‍ර මල ලේඛන ලෙස සලකන බව මා ඔබට යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; එහෙම දෙයක් මේකේ සඳහන් කරලා නෑ.
විත්තියේ නීතිඥ ; මළ ලේඛනයක් බවට සඳහන් කරන්නේ නෑ තමයි. මම අදහස් කලේ එකී ඖෂධ ආනයනය කලාට පස්සේ එකී සහතික නිශේධනය වෙනවා. එහෙම නැතිනම් බල රහිත ලේඛනයක් බවට පත්වෙනවා කියන එකයි.
සාක්ෂිකාරිය ; ඒ බව සටහන් වෙලා නැති නිසා මට එහෙම කියන්න බැහැ.
එකොළොස්වන විත්තිකාර වෛද්‍ය සැපයූම් අංශයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹයේ ගෙදර තුසිත ප්‍රියදර්ශන මහතා වෙනුවෙන් පෙනී සිටි. ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා ; ඖෂධ නියාමන ඇගයීම් කමිටුව කියන්නේ ස්වාධීන කමිටුවක් නේද? ඒක බලයලත් කමිටුවක් ලෙසනේ ක්‍රියා කරන්නේ? ඔබ මුලින් සඳහන් කළ මාර්ගෝපදේශ වලට අයත් කරුණු 13 නිසි පරිදි සම්පූර්ණ කරලා තිබුණේ නැතිනම් එකී සහතික නිකුත් කරන්නේ නෑ නේද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
විත්තියේ නීතිඥවරයා ; එම කමිටුව නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කමිටු සාමාජිකයන් හොඳට කරුණු අධීක්ෂණය කරලනේ එකී සහතික නිකුත් කරන්නේ. එකී ඖෂධ නිෂ්පාදනය කිරීමට අදාළ කරුණු, ඒවායේ ගුණාත්මක භාවය ඇතුළු නිෂ්පාදනය ආයතන සොයා බලනවනේ?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා ; ඒ කියන්නේ ඖෂධ ඇගයීම් කමිටුව කියන්නේ හොඳ මුර කපොල්ලක්. ඒ මුර කපොල්ල පසු නොකර ඖෂධ ලියාපදිංචි කරන්න බැහැ නේද ? ටෙන්ඩර් පටිපාටියේදී අවසාන නිගමනය දෙන ඖෂධ ඇගයීම් කමිටුව කියන මුර කපොල්ලේ පරීක්ෂාවට යටත්ව නේද? සියලු දේ වෙන්න ඕනා.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
එහිදී අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.
ජනාධිපති නීතිඥවරයා ; පැ 95 ලෙස නම්කර තිබෙන ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ එවකට රටේ පැවැති ඖෂධ හිඟයට පිළියමක් ලෙස බහුතරයේ එකඟතාවයෙන් ගත් තීරණයක් බවට මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද? ඒක ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් ගත් අවසානාවත්මක තීරණයක් බවට සාමාන්‍ය දැනුමක් තිබෙනවාද ?
සාක්ෂිකාරිය ; මම ඒ ගැන දැනුවත් නෑ .
ජනාධිපති නීතිඥවරයා ; 2022.09. 16. වැනිදා එම අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව තමයි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ එකී ඖෂධ ආනයනය කිරීමට ඖෂධ ඇගයීම් කමිටුව සහතික නිකුත් කර තිබෙන්නේ නේද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
ජනාධිපති නීතිඥවරයා ; රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියන්නේ රජය වෙනුවෙන් ඖෂධ මිලදී ගන්නා ප්‍රධාන අස්තිකය කීවොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; ඔහු ස්වාමීනී
පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; පැ 111 ලෙස ලකුණු කර ඇති ලේඛනය යටතේ තිබෙන ඖෂධය ආනයනය කර තිබෙන්නේ කුමන ක්‍රමවේදය යටතේද ?
සාක්ෂිකාරිය ; ඒක විශේෂ හදිසි ක්‍රමවේදය යටතේ ආනයනය කළ ඖෂධයක්. ඒ සඳහා කොප් සහතිකය අවශ්‍ය නෑ.
විත්තියේ නීතිඥවරයා ; මොකක්ද මොකක්ද මහත්මිය කීවේ? ZUPIVAC-H කියන ඔය ඖෂධ කුමන රෝගයක් සඳහා භාවිතා කරන ඖෂධයක්ද කියලා ඔබට කියන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය ; නිර්වින්දන කටයුතු සඳහා ඒක භාවිතා කරන්නේ.
විත්තියේ නීතිඥ ; එම එන්නට භාවිතා කිරීමෙන් යම් ගැටළු හෝ සංකූලතා ඇති වූ බවක් ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය ; මට ඒ ගැන නිසැකවම කියන්න බෑ.
විත්තියේ නීතිඥ ; ඔබ දන්නවාද 2023 වසරේදී එම එන්නත භාවිතා කළ රෝගීන් දෙදෙනෙක් පේරාදෙණිය රෝහලේදී මිය ගිය බව ඔබ දැනුවත්ද?
සාක්ෂිකාරිය ; රෝගීන් දෙදෙනෙකු මිය ගිය බව දන්නවා නමුත් මෙම එන්නත භාවිතා කිරීමෙන්ද කියලා නිශ්චිතවම මට කියන්න බෑ. ඒ පිළිබඳව සොයන්න වෙනම විමර්ශන අංශයක් තිබෙනවා.
විත්තියේ නීතිඥවරයා ; ප්‍රශ්නගත හියුමන් ඉමියුහෝග්ලොබියුලීන් එන්නත භාවිතයෙන් යමෙකු මිය ගිය බවට වාර්තා වුණාද? යම් යම් සංකූලතා අත කැසීම, අධික ලෙස දහදිය දැමීම වැනි සංකූලතා ඇතිවූ බවට වාර්තා වුනත් එම එන්නත භාවිතයෙන් කිසිවෙක් මියගිය බවට දැනගන්න ලැබුණේ නෑ නේද?
සාක්ෂිකාරිය ; ඔව්
වැඩිදුර සාක්ෂි විභාගය අද (19) දක්වා කල් තැබිණි.
සටහන -අචලා
[සටහන: මෙම ලිපිය අධිකරණ වාර්තා පදනම් කරගත් විග්‍රහයක් වන අතර, විත්තිකරුවන්ගේ නිර්දෝෂීභාවය හෝ වරදකාරීත්වය තීරණය කිරීම අධිකරණය සතු කාර්යයකි].

