SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොයි ආණ්ඩුව ආවත් හොරුන්ගේ වැඩවල නම් ඉවරයක් නැති බවයි ජනතාව නම් කියන්නේ.

අපටත් පේන්නේ එය එසේම බවය. ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වී මාස ගණනාවක් ගතවුණත් එවැනි රට වනසන අකටයුතුකම් සිදුවන බවට උදාහරණ සපයමින් වනාතවිල්ලු‍ව, අරුවක්කාලු‍වේ සිදුවූ නීතිවිරෝධී කැණීම් බිමක් පසුගිය දා වැටලීමට පානදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වූහ.

 

 

මේ ප්‍රදේශය පොසිල බහුලව හමුවන පුරාවිද්‍යා වටිනාකමින් යුත් පැරණි පස්තට්ටු සහිත බිමක් වන අතර, රජයේ ඉඩමක කැණීම් කටයුතුවලට යොදාගෙන තිබූ යන්ත්‍ර සූත්‍ර සහ වාහන කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙසේ විශාල පරිමාණයෙන් කැණීම් කර ඒ බිම වනසා ඇත්තේ අවුරුදු ගණනාවක සිට බව දැන් හෙළිවී තිබේ. නිසි බලපත්‍ර ලබාගැනීමකින් තොරව එම ස්ථානයේ ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ ද්‍රව්‍ය කැණීම සිදුකර ඇත්තේ පෞද්ගලික සමාගමක් විසිනි. පුත්තලම සිමෙන්ති සමාගමේ හුණුගල් කැණීම් ස්ථානය පිහිටා ඇත්තේ ද මෙයට තරමක් නුදුරිනි.

 

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත පසුගිය දා තොරතුරක් ලැබුණේ සිමෙන්ති සමාගමේ අරුවක්කාලු‍ කැණීම් බිම ආසන්නයේ විවිධ පරිසර ප්‍රශ්න මතුකරමින් අනවසර කැණීම් සිදුකරන බවයි. ඒ අනුව ඔහුගේ ඍජු අධීක්ෂණය යටතේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ.ඒ. උභය කුමාරගේ මෙහෙයවීම යටතේ 2025.08.09 වැනි දින වැටලීමක් සිදුකෙරිණි. වනාතවිල්ලු‍ව පොලිස් වසමේ පිහිටි එම ඉඩමේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිසි අවසරයක් නොමැතිව ඉහත පුරාවිද්‍යා භූමිය තුළ නීතිරීති උල්ලංඝණය කරමින් යන්ත්‍ර සූත්‍ර භාවිත කර ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ ද්‍රව්‍ය කැණීම, සැකසීම හා ගබඩා කිරීම සිදුකර තිබෙන බව එහිදී හෙළිවිය. ඒ අනුව වැටලීමෙන් පසුව කැණීම් කටයුතු නතර කර එහි තිබූ යන්ත්‍ර සූත්‍ර, වාහන සහ ඉදිකිරීම් අත්අඩංගුවට ගැනීමක් සිදුකෙරිණි. කැණීම් කටයුතු සිදුකළ යන්ත්‍ර සූත්‍රවල වටිනාකම කෝටි 200කට අධික බව පැවසේ. මේ වැඩබිමට පසුගිය ආණ්ඩුවල ප්‍රබල දූෂිත දේශපාලනඥයන්ගේ රැකවරණය ලැබුණු බවත්, එම වනබිමේ කළුවර, බුරුත, වීර වැනි ගස් කපාදමා අක්කර 20කට වැඩි භූමියක් ඉල්මනයිට් කැණීමට යොදාගෙන තිබූ බවත් එහිදී දැකගැනීමට ලැබී තිබේ.

 

 

පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම කැණීම් සඳහා මූලික පාරිසරික ඇගයීම් වාර්තාවක් පවා සකස් කර නොමැති බවකි. මෙම ස්ථානය පිහිටා ඇත්තේ විල්පත්තුව ජාතික වන උද්‍යානයේ ප්‍රේරක කලාපයට මීටර් 500ක දුරකිනි. මෙහි වැලි සේදීම සඳහා ජලය පොම්ප කර ඇත්තේ විල්පත්තු ප්‍රේරක කලාපයට අයත් ලු‍ණුඔයේ සිට නළ මගිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ජලාශයක් තැනීමට අවසර ලබාදුන්නද කැණීම් කිරීමට අවසර ලබාදී නැති අතර, ඒ ලිපිය ඇතුළු රාජ්‍ය ආයතන ලබාදුන් ලිපි ගැන ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අඩි 20කට වැඩි ගැඹුරකින් යුත් ජලාශයක් තනා එයට ජලය පොම්ප කර රඳවාගෙන ඇත. වැටලීම් කළ පොලිස් නිලධාරීන් පවසන්නේ එම භූමිය පුරාම දැවැන්ත වළවල් කපමින් පරිසරය වනසා ඇති අතර මාර්ග ද තනා තිබෙන බවයි.

 

 

මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ අරුවක්කාදලු‍වේ ඉල්මනයිට් සේදීමේ ස්ථානයේ ඉදිරි විමර්ශන සිදුවනතුරු එම ස්ථානය පොලිස් භාරයේ තබාගන්නා ලෙස පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා පසුගිය 11දා නියෝග කළේය. මේ වන විට මෙම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇත.

 

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් වලාන පානදුර මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය පැවසුවේ ඉල්මනයිට් සේදීම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇති බවය. මෙහිදී අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු පිළිබඳව අදාළ දේශීය සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ලෙන් ප්‍රශ්න කිරීමක් සිදු නොවූ අතර, එම නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම ස්ථානයට අවස්ථා ගණනාවකදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍ර ඉල්ලා සිටියද එය ලබා නොදීම සම්බන්ධව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවය.

 

වසර කිහිපයකට ඉහතදී ආරුවක්කාලු‍ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් හුණුගල් ආශ්‍රයෙන් සිමෙන්ති නිෂ්පාදනය සඳහා බදු පදනම මත විදේශීය සමාගමකට ලබා දී ඇති අතර, එම කටයුතු අතරතුර වෙනත් පෞද්ගලික සමාගමක් විසින් ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් වශයෙන් 2013 වර්ෂයේ ඉල්මනයිට් පිළිබඳව ගවේෂණය සිදුකිරීම මෙම භූමිය තුළ සිදුකර ඇත.

 

2019 වර්ෂයේ පාස්කු ප්‍රහාරය හා ඊට පසුව ඇති වූ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියානු සමාගම මෙම කැණීම් කටයුතුවලින් ඉවත්වීමත් සමඟම දේශීය සමාගමක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් ගවේෂණ බලපත්‍රයක් ලබාගෙන එම භූමිය තුළ ඉල්මනයිට් ඇතුළු ඛනිජ නිධි සම්බන්ධයෙන් ගවේෂණයක් සිදුකර ඇත. එහිදී එම සමාගම මගින් එම භූමිය තුළ ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ ද්‍රව්‍ය පවතින බවට තහවුරු කර ගැනීමෙන් පසු කැණීම් කටයුතු සඳහා අවසර ලබාගැනීමට ඉල්ලීම් කර ඇතත් එකඟතාවයක් නොමැතිවීම මත එම බලපත්‍ර ලබාදීමක් සිදු කර නොමැත. කෙසේ වුවත් බලපත්‍ර පසෙක තබා එම සමාගම ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත්තේ රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකරමිනි. මෙතරම් දිගු කලක් රජයේ ඇස් වසා මෙය කරගෙන යන්නට දේශපාලන හයිය ලැබෙන්නට ඇති බව නම් නිසැකය. විල්පත්තුවේ වනාන්තර ඉඩම් වැනසූ දේශපාලනඥයන් රජ කළ රටක එය පුදුමයක්ද නොවේ.

 

තවද 2018 වර්ෂයේදී සිදුකරන ලද සමීක්ෂණයකදී මෙම භූමිය පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ ලේඛනයට ඇතුළත් කර ඇති භූමියක් ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ප්‍රකාශයට පත්කර ඇති බවද අනාවරණය වී ඇත. ඊට අමතරව විල්පත්තුව අභය භූමියට යාබදව පිහිටි භූමිය තුළ ද පරිසර විනාශයක් සිදුකරමින් තවත් ජලාශ 03ක්ද මේ වන විට සකස් කරමින් සිට ඇති බව වාර්තා වේ.

 

 

මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීහු විසින් සිදුකරනු ලබති.

 

 

“මේ වැඩබිමට ගෙනවිත් තිබෙන ලෝඩර් ඇතුළු වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැහැ. ලු‍ණුඔයෙන් ජලය පොම්ප කර ඇත්තේ නිත්‍යනුකූල අවසරයකින් තොරවයි. ජලය ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවා විරෝධය පළකර තිබෙනවා. නමුත් දිගින් දිගටම ජලය අරන්. මේ නිසා භූවිද්‍යා හා පතල් කැණීම් පනත, පුරාවිද්‍යා ආඥා පනත, වන සංරක්ෂණ පනත, මෝටර් රථ ආඥා පනත යන පනත් හතරක් මොවුන් උල්ලංඝනය කර තිබෙනවා.”

යැයි පොලිස් පරීක්ෂක ජනිත් කුමාර පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූවේය. මීට අමතරව මෙම කැණීම් ප්‍රදේශයේ තිබූ වසර සිය ගණනක් පැරැණි කළුවර, බුරුත ආදී වටිනා වෘක්ෂද කපා විනාශ කර ඇති බවත් වාර්තා වේ.

 

 

ඉල්මනයිට් වටිනා ඛනිජයකි. අප රටේ මේ ඛනිජය බහුලව හමුවන්නේ පුල්මුඩේ වෙරළට ආසන්නවය. ඒ ලංකාවේ විශාලතම ඛනිජ වැලි නිධියයි. පුල්මුඩේ වෙරළ තීරය තුළ ඛනිජ වැලි තිබෙන බව මුලින්ම අනාවරණය කළේ ආනන්ද කුමාරස්වාමිය. ඔහු 1904 වසරේදී පමණ එය අනාවරණය කළත් 1950 දශකය වනතුරුම ඛනිජ වැලි නිධියෙන් කිසිදු ප්‍රයෝජනයක් ගත්තේ නැත.

 

 

මෙම ඛනිජ වැලි නිධිය තුළ 65% ක ප්‍රතිශතයක් ඇත්තේ ඉල්මනයිට් නම් ඛනිජ වැලි වර්ගයයි. ආග්නේය පාෂාණ වසර ගණනාවක් තිස්සේ ජීර්ණයට ලක්වීම හේතුවෙන් සහ විවිධ දේශගුණ තත්ත්වයන්ට භාජන වීමෙන් ඛනිජ වැලි නිධි නිර්මාණය වේ. එලෙස නිර්මාණය වුණු ඛනිජ වැලි නිධි ලංකාවේ ඊසාන, නැගෙනහිර, ගිණිකොණ, නිරිත, සහ වයඹ යන වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා තිබේ. වනාතවිල්ලු‍ව අරුවක්කාලු‍ ද එවැනි බිම්කඩකි. ඒත් හිතේ හැටියට එම ඛනිජ වැලි ගොඩගැනීමට කිසිවකුට හැකියාවක් නැත. රටක නීති අණපනත් තිබෙන්නේ ඒවා පිළිවෙලට සිදුකිරීමටය.

 

 

@කුසුම්සිරි විජයවර්ධන

නවතම ලිපි