SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මීකිරි කියන්නේ එසේ මෙසේ රසයක්, ගුණයක් තියෙන කෑමක්ය කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

එළකිරි වගේ දෙගුණයක් ප්රෝටීන්, මේදය, කනිජ ලවන වගේම විටමිනුත් යහමින් තියෙන බඩවැලට හිතකර බැක්ටීරියා (ප්රෝබයොටික්) වලින් හොඳටම පොහොසත් ආහාරයක් තමයි මීකිරි කියන්නේ. නැවුම් හට්ටියේ නියම ප්රමිතියට, පදමට නිෂ්පාදනය කරපු මීකිරි අනාදිමත් කාලයක ඉදල ලංකා⁣වේ බොහෙම ජනප්‍රිය කෑමක්. රුහුණේ මීකිරි කියන්නේ වෙනම වයිබ් එකක්.

 

 

ඒත් මීකිරි ගැන රහ නැති, ටිකක් අමුතු කතාවක් පර්යේෂණ අධ්‍යයන පත්රිකා, පලකෙරෙන රිසර්ච් ගේට් වෙබ් සඟරාවේ මෑතකදී පලවෙලා තිබුණා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ විද්‍යාථීන් කිහිප දෙනෙකු 2016 වර්ෂයේ කරල තියෙන මේ පර්යේෂණයෙන් හොයල බලල තියෙන්නේ , ලංකාවේ විවිධ පළාත්වල නිෂ්පාදනය කෙරෙන මීකිරිවල අඩංගු බැරලෝහ ප්රමාණයක් ගැන ය. මේ කාරණාව ගැන මෙයට පෙර කරපු අධ්‍යයනයන් ඉතාමත් හිඟ නිසා මේක ටිකක් වටිනවා.

 

සම්පූර්ණ අධ්‍යයන වාර්තාව මේ ලිංක් එකෙන් කියවන්න.

https://www.researchgate.net/.../350706907_Quantification...

 

 

මේ අධ්‍යයනයෙන් හෙළිවෙලා තියෙන කරුණුවලට අනුව ලංකාවේ සමහර පළාත්වල මීකිරි සාම්පල්වල ආසනික්, කැඩ්මියම්, ලෙඩ් වගේ බැර ලෝහ සැලකිය යුතු මට්ටමකික් හමු වෙලා තියෙනවා.

 

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්රමානය ඉක්මවා යන කැඩ්මියම් සාන්ද්‍රණයක් අනුරාධපුරේ පදවියේ මීකිරි සාම්පල්වලින් ලීටරයට මයික්රෝග්රෑම් 37.5ක ප්රමාණයක් හමු වෙලා තිබෙනවා . මේ ප්රමාණය අනුමත උපරිම ප්රමාණය වගේ දහ ගුණයක් විතර වෙනවා. (The World Health Organization (WHO) recommends a maximum of 0.003 mg/L (3 μg/L) of cadmium in drinking water.)

 

අවාසනාවක⁣ට, ලංකාවේ වකුගඩු රෝගීන් (CKDu) වැඩි පුරම හමු වෙන්නේත් පදවිය ශ්‍රී පුර වගේ ප්රදේශවලින්.

 

 

පරික්ෂා කළ මීකිරි සාම්පල් වලින් ආසනික් සහ ඊයම් අන්තර්ගතය වැඩිම මීකිරි හමුවෙලා තියෙන්නේ ඇඹිලිපිටිය ප්රදේශයෙන් ගත්තු සාම්පල වල. මේවායේ එකී බැර ලෝහ ප්රමාණයන් අනුමත ප්රමාණයන් ඉක්මවා වාර්තා වී නැතත් සැලකිය යුතු අවදානමක් පෙන්නුම් කරල තියෙනවා.

 

 

 

මීකිරිවලට බැරලෝහ ආවේ කොහොමද...?

 

 

මේකට ක්රම දෙකයි තියෙන්නේ. එකක් මී වැස්සියන් කන කෑම සහ බොන වතුර. අනික් ක්රමය තමයි කිරි ගබඩා කරල තියෙන ඇසුරුම්. මේ බැර ලෝහ වර්ග එකක්වත් ලංකාවේ පසේ සහ ජලයේ ස්වභාවිකව මෙතරම් සාන්ද්රණයක් සහිතව තියෙන එවුවා නෙවෙයි. ඒ අතින් අපි වාසනාවන්තයි.

 

 

සමහර රටවල්වල ස්වභාවිකවම පස්වල සහ ජලයේ ආසනික් , කැඩ්මියම්, ඊයම් වගේ බැර ලෝහ ප්රමාණයන් වැඩියි. උදාහරණයක් ගත්තොත් බංග්ලාදේශයේ ලිං ජලයේ ආසනික් ප්රමාණය ලීටරයට මයික්‍රෝග්රෑම් 50 ද ඉක්මවා වාර්තා වෙනවා. මෙය ලෝක සෞඛ්‍ය සංවිදානය විසින් පානීය ජලයේ තියෙන්න පුළුවන් උපරිම ආසනික් ප්රමාණය වගේ පස් ගුණයක්.

 

ලංකාවේ එහෙම තත්වයක් නැති නිසා, වෙන්න පුළුවන් එක විදියක් තමයි කෘෂිකාර්මික කටයුතු වලට යොදන කෘෂි රසායනික ද්රව්‍ය වල අඩංගු බැර ලෝහ කාලයක් තිස්සේ එකතු වෙලා මේ හරකුන්ගේ ආහාර සහ බොන වතුර හරහා ශරීරගත වෙන එක. බැර ලෝහ යම් තරමකට එහෙමත් මීකිරිවලට යනවා ⁣වෙන්න පුළුවන්. හැබැයි මේ අධ්‍යයනයේදී කවුරුවත් එච්වර හිතන්නේ නැති පැතිකඩක් අනාවරණය වෙලා තියෙනවා.

 

 

ඒක තමයි මේ අධ්‍යයනයට යොදා ගත්තු ප්ලාස්ටික් ඇසුරුම්වල ගබඩා කරල තිබිච්ච මීකිරවල බැර ලෝහ ප්රමාණය මැටි හට්ටිවල ගබඩා කරල තිබුණු කිරිවලට සාපේක්ෂව අඩු මට්ටමක තිබීමය.

 

 

(ඒකෙන් අදහස් කරන්නේ නෑ ප්ලාස්ටික් ඇසුරුම් සෞඛ්‍යආරක්ෂිතයි කියල. මොකද ප්ලාස්ටික් ඇසුරුම්වලින් මයික්රොප්ලාස්ටික් සහ ප්ලාස්සයිසර්ස් ආහාරවලට කාන්ඳු වෙන්න පුළුවන්.)

 

 

එහෙම වෙන්නේ කොහොමද..

 

 

මැටි කියන්නේ ඛණිජ ලවන සහ බැරලෝහ අවශෝෂණය කරගෙන ගබඩා කරගන්නා මාධ්‍යයක්. දීර්ඝ කාලයක් තිස්සේ පසට එකතුවෙන වස විස මැටිවල ගබඩා කරගෙන තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ මැටිවලින් හදන කිරි හට්ටි, වලං, මුට්ටිවල ගබඩා කෙරෙන ආහාර සහ ජලයට ඒ වස විස රිලීස් කරනවා. හරි සරලයි.

 

 

මේ  අධ්‍යයනය කරල තියෙන්නේ 2016 අවුරුද්දේ. මේ අධ්‍යයනය මත විතරක් පදනම් වෙලා නිගමනවලට එළැඹෙන එක විද්‍යාත්මක නෑ. හැබැයි, දැන් තත්වය සහ එම ප්රදේශවල ස්වභාවික කුඹුරු මැටිවල අන්තර්ගත බැර ලෝහ ප්රමාණයන් පිළිබඳව සහ කන බොන කෑමවල වස විස ගැන පුළුල් අධ්‍යයන සහ ආවේක්ෂණ ක්රම විධිමත් සහ ශක්තිමත් කිරීම පිලිබඳවත් විශේෂයෙන් කෘෂිකාර්මික යෙදවුම්වල තත්වය හා ප්රමිතිය ගැන වැඩි වැඩියෙන් සොයා බැලීමේ වැදගත්කම ගැනත් යම් රතු එළියක් මේ අධ්‍යයනය මගින් පෙන්නුම් කර තිබෙන බවනම් අවශ්‍යයෙන්ම කිව යුතුව තිබෙනවා.

 

 

 @ ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක.

දෙහිවල ගල්කිස්ස මහානගර සභාව 

 

නවතම ලිපි