ඊයේ (08) දහවල් බම්ඹලපිටියේ පැවති විරෝධතාවයේ අග මුල බොහෝ දෙනෙක්ට නිසි ලෙස තේරුම් නොගියේය.
එහෙත් යම් අකටයුත්තක් සිදුවූ බව හෙළිවන්නට එය පිටුවහලක් විය. හවස් වනවිට දියවන්නාවටද මෙම විරෝධයේ සුළඟ හමාගිය අතර දියවන්නාවේ ඒ සඳහා වගකිව යුතු ඇමතිනියකගේ ප්‍රතිචාරය සිද්ධිය අභිබවා පැතිරීම ඇරැඹියේ දේශපාලන නිරුවතද ඒ තුළින් පෙනෙන්නට තිබීම නිසාය.
සිදුවීමට පාදක වූ ඛේදවාචක පුවත මෙසේය.
පසුගිය දා බම්ඹලපිටිය රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ සිටි අවුරුදු 15 ක යොවුන් දියණියක් සිය දිවි හානි කරගෙන තිබුණි.
ඇය ලිංගික අපයෝජනයට ලක් වන්නේ 2024 දෙසැම්බර් මාසයේ ය.. ඉන්පසුව ඇය එම සිද්ධිය සිය දෙමාපියන්ට සැලකිරීමත් සමග දෙමාපියන් එය පොලීසියට සහ විදුහල්පතිනියට පැමිණිලි කර තිබේ.
මේ සම්බන්දයෙන් ඇති වන ආන්දෝලනය සහ ඉන් ඇතිවන පිඩාව නිසා ශිෂ්‍යාව සිය දිවි හානි කරගැනීමට මීට පෙර ද උත්සාහ කර ඇති බව සඳහන් වෙනවා ය.
මේ අතර අදාළ ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත්තද ඔහුට ඇප ලැබී නැවතත් එම පාසලේ ම ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරන්නේ ය.
සිද්ධිය නිසා හටගත් පාසල්-ගුරු ශිෂ්‍ය පිඩාව නිසා සහ තවදුරටත් එහි අධ්‍යාපනය ලැබීමට පරිසරයක් අසරණ ගැහැණු දරුවා සතු වන්නේ නැත. මේ නිසා දෙමව්පියන් විසින් ඇයව කොටහේනේ විද්‍යාලයකට ඇතුලත් කර තිබේ.
ඒ අතරතුර ඇය ගණිතය අතිකාල ටියුෂන් පන්තියකට යෑම අරඹන්නීය.
එම ටියුෂන් ගුරුවරයා, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මැතිවරණයට තරග කළ සභිකයෙකි. ඔහු ඉහත කී රාමනාදන් හින්දු විද්‍යාලයේ ගණිත ගුරුවරයාගේ සමීප මිතුරෙක් බවට හෙළිවන්නේ ඔහු ළමුන් 150 කට ආසන්න ප්‍රමාණයක් සිටින සිය ටියුෂන් පන්තියේදී, මෙකී දැරියගෙන් “ඔබ අර පොලිස් සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යාව නේදැයි විමසමින්” ඇයව අවමානයට පත්කිරීමත් සමග ය.
සිය සමානයන් ඉදිරියේ යොවුන් දැරියක ව සිටි ඇයව මෙමගින් අතිශය ලැජ්ජාවට පත් ව ඇත. හින්දු විද්‍යාලයෙන් ආරම්භව ඇය ලැජ්ජාවට පත් කිරීමේ සමාජ සාධක එහිදීද යළිත් ක්‍රියාත්මක වීම ඇරඹී තිබේ.
ඊට දින තුනකට පසු දැරිය සිය දිවි හානි කරගන්නවා.
මේ ගැන ඊයේ පාර්ලිමේන්තුවේ දී සියදිවි හානිකර ගත් මෙම පාසල් දැරිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රශ්න කර සිටියේ ය.
එවිට මේ පිළිබඳ අදහස් දක්වමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඇමතිනිය කියා සිටියේ පෙත්සමක් සමග එම දැරියගේ දෙමාපියන්ට තමාව හමුවීමට පැමිණෙන්නයි දැන්වූ බවත් ඔවුන් පැමිණියේ නැති බවත් ය.
එසේම මේ ගැන ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කරන ලෙස දැන්වූ බවත් ඇය පැවසුවාය. එසේම සමාජ මාධ්‍යයෙන් මේවාට නීතිය ඉටුකරගත නොහැකි බවත් ඇය පවසන්නීය.
කෙසේ වුවද සමාජ මාධ්‍ය හෝ නොතිබුණේ නම් මේ ආකාරයටවත් මේ රටේ ළමාරක්ෂක අධිකාරී හෝ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශ ජනතාවගේ මුදලින් නඩත්තු වීම අපරාධයක් බව වත් නොතේරුම් යන්නේ ය.
(මීට පෙර ද ටියුෂන් පන්තියක ගුරුවරයෙක් දරුවෙකුට වේවැලකින් පහර දෙමින් දැරියක් ලවාත් එම දරුවාට ප්‍රසිද්ධියේ පහර දීම ගැන වාර්තා කර තිබුණද ඔය කියන ආයතන හෝ රටේ අග්‍රාමාත්‍යවරිය යටතේ පවතින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වනතුරු කිසිදු පියවරයක් ගෙන නැත. ඔහුද ජාතික ජන බලවේගයේ සමීපතමයෙකු බවට නායකයින් සමග ගෙන ඇති ඡායාරූප හරහා හෙළි වී තිබුණි).
පහත පළවෙන්නේ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් චූලානන්ද සමරනායක, තුෂාර වික්‍රමනායක ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේ අදහස් ය.
සරෝජා මැතිනිය අවම තරමින් පරිණත වැඩිහිටියෙකු වන්න - චූලානන්ද සමරනායක
ලංකාවේ පාසල් යන යෞවනියකට සිය ජීවිතය එපාකරවන තැනට වැඩ සිදුවී තිබේ. ඇගේ දිවි නසා ගැනීමට හේතුව ලෙස දැක්වෙනුයේ ගුරුවරයෙකි.
මේ සම්බන්ධයෙන් විෂයබාර අමාත්‍යවරිය වශයෙන් සරෝජා පෝල් රාජ් මැතිනිය දක්වා ඇති අදහස් අප්‍රසන්නය.
ඇයද කතකි, අවම තරමින් ඇය ලංකාවේ කාන්තා හිංසනය ගැන සවේදීනම් මෙවන් දෑ පවසන්නේ නැත.
2015 Does she travel safe මැයෙන් පලවූ පර්යේෂණ පත්‍රිකාවෙහි ඇති එක් සඳහනක් වන්නේ ලංකාවේ පොදු ප්‍රවාහනයේ කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වන ඉහළ ප්‍රතිශතය ගැනය.
සරෝජා මැතිනිය අවම තරමින් පරිණත වැඩිහිටියෙකු ලෙස කල්පනා කලේනම් මෙලෙස මුව සොරොවු අරින්නේ නැත. ඒ වෙනුවට ගත යුතු පියවර ගන්නවා ඇත.
එහෙත් ඇය මෙහිදී තම වගකීම ඉටුකලේදැයි අසන්නට අපට අයිතියක් ඇත.
දේශපාලන වේදිකාවේ පෙන්වන මනුෂ්‍යත්වය සහ සැබෑ භාවිතාව අතර පරතරය වැඩිකර ගැනීම යනු මහ දවල් ඇඳුම් උනා දැමීමකි.
එවන් දේ උද්දච්චකම් නොවේ.
මරිමෝඩකම් ය.
මැතිණියනි, මේ යෞවනිය දැන් අපට අහිමිය. අවම තරමින් මෙතැන් පටන් හෝ මෙවන් දෑ නතර කිරීමට ක්‍රියාත්මකවන්න.
එවිට ඔබහට මැතිණිය වෙනුවට සහෝදරියක විය හැකිය.
@ Chulananda Samaranayake
මනුසත්කම පක්ෂ දේශපාලන මාරුතයට යට කරන්න එපා! - තුෂාරා වික්‍රමනායක
හිතවත් සරෝජා,
වසර ගාණක් යුක්තියේ සාධාරණය ලුහු බඳින වින්දිත දුවකගෙ අම්මා කෙනෙක් ලෙස ලියමි...ඩිල්ෂි දුවගෙ අම්මගෙ වේදනාව අපි කාටවත් ඇත්තටම නොදැනුනාට, අම්මා කෙනෙකුට කුසේ දරාගෙන වැදූ දරුවා තමන්ට පෙර මිය යාම තරම් දුකක් මෙලොව නැතෙයි කියා මට විශ්වාසයි. ආං ඒ අංශු මාත්‍රයක සහකම්පනයක් මා ඔබෙන් ඉල්ලා සිටින්නෙ ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් ලෙස නොව අම්මෙක් හෝ සහෝදරියක් ලෙස පමණයි.
මොන හිතකින් ඔබ මේ කතාව කලාද කියලා මට හිතාගන්න බෑ. එය අසෝභනයි. අනුවණයි. අසංවේදියි.
ඔබ දන්නවද මගෙ පොඩ්ඩි දහ පාරක් තමන්ට වෙච්ච මානසික හිංසනය විවිද නිලධාරීන්/වෛද්‍යවරුන් ඉදිරියේ වමෑරුවා. අනේ ඒ කෙල්ලගෙ වයස එතකොට අවුරුදු 11 යි, වැඩිවිය පැමිණිළා වත් නැති පුංචි සුරංගනාවියක් වගෙ මෘදුයි. තමන්ගේ හිතේ කැකෑරෙන වේදනාව කොයි තරම් වද දෙන්න ඇත්ද අවුරුදු 15 වේ දුවෙකුට සත් මහලෙන් පහළට පැන සදහට ඇස් පියාගන්න. අපි කාටවත් ඇත්තටම නොතේරුනාට, මානසික ශක්තිය පෙරලාගෙන ගිය ඒ දුවගෙ චිත්ත ශක්තිය පර්වතයක් තරම් ප්‍රබලයි - ඔබට ඇයගෙ මනස ගැන කතා කිරීමට අවසරයක් නෑ.
පාසලක, පංති කාමරයක දරුවෙක් තනි වෙනවා කියන්නෙ මෙලොවින් අපායක්. එහෙම පරිසරයක් ඇති පාසලක් තියන රටම නිරයක්. යම පල්ලො වැනි ගුරුවරු ඉන්න අධ්‍යාපන ක්ෂේත්‍රය ගූ වලක්. මගේ දුවත් සති තුනක් පංති කාමරයේ අන්තිම පේලියේ තනියෙං ඉන්දවලා තිබිලා. පොඩ්ඩි මට කිව්වෙ නෑ මම ඉස්කෝලෙට ගිහිං රණ්ඩු වෙයි කියලා. අපි කාටවත් ඇත්තටම අවබෝධයක් නැති වුණාට සමහර දරුවන්ගෙ හිතේ කම්පන පිට දාන්නෙ කාලයක් ගියහම. ඩිල්ෂි දුවට නොලැබුනු ආදරය මගෙ දුවට අවුරුදු 15දී එංගලන්තයේදී ලැබුනා. ඇයගේ චර්‍යා වෙනස හඳුනාගත් ගුරුවරු ඇයට අසීමිත සෙනෙහසක් ලබා දුන්නා, විශේෂ අධ්‍යාපන පහසුකම්, වෛද්‍ය ප්‍රතිකර්ම, පවුල් සම්බන්ධීකරණය - ඇප මත මුදා හැරපු අපයෝජකයෙක්ව එම පාසලේම සේවය කිරීමට දායක වූ ඔබට ඇයගේ මවගෙන් පෙත්සමක් තියා අකුරක් වත් ඉල්ලන්න අවසරයක් නෑ.
නීතිය විකෘති වූ, යුක්තිය දුර වූ, අසාධාරණය රජයන රටක දරු පුරවැසියෙකුට නැති අයිතියක් කිසිම වැඩිහිටියෙකුට වත් නෑ. එක් පොලිස් ස්ථානයක පැමිණිල්ලක් විමර්ශනය වෙනවා නම් තවත් පොලිසියකට එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට යෝජනා කිරීමම අරාජිකත්වයෙ සංඛේතයයි. අපි කවුරුත් නොපිළිගත්තට "දරුවගෙ යහපත උදෙසා" කියන ගෝලීය මූලධර්මය ඒ දරුවා මිය ගිය පසුත් අදාලයි - ළමා ආරක්ෂණ අර්බුදය විසඳීමට දේශපාලන උවමනාවක් නැති ඔබට ස්වයං විවේචනයකින් තොරව පිළිතුරක් දීමට අවසරයක් නෑ.
ඇත්තටම සරෝජා, අපි ඔබලාගෙන් බලාපොරොත්තු වූ වසන්තයෙ පාලනය මාස ගණන් කිරීමක් හැර දලු නොදාම කුණු වී යන ශීත සෘතුවේ සාඝතයක ආරම්භයයි. ඔබත් අම්මෙක්. ඔබත් ගුරුවරියක්. ඔබත් නියෝජිතයෙක් - මනුසත්කම දේශපාලන මාරුතයට යට කරන්න එපා!
අති උතුම් ළමා කටයුතු ඇමති පෝල්රාජ් - ලක්මාල් කුලසේකර
පුංචි දැරිවියක් ගුරෙක් අතින් දූෂණය වෙනව...ඒ ළමයට පාසලෙන් අස්වෙන තැනට වැඩ සිදු වෙනව...ඒ ළමයව ටියුෂන් පංතියකදි තව ගුරෙක් ලැජ්ජ කරල අසරණ කරනව...මානසිකව වට්ටනව...මේ පුංචි කෙල්ල වේදනාව දරාගන්න බැරුව තට්ටු හයකින් බිමට පැනල මැරෙනව...
මොන කරුම රටක්ද මේ...
මොන මිනිස්සුද මේ රටේ ඉන්නෙ...
ඒකට ළමා හා කාන්තා කටයුතු ඇමතිගෙ උත්තරේ මොකක්ද ?
පෙත්සමක් ලියාගෙන එන්න කිව්වලු...
මේක මේ ළමයෙක් ඉස්කෝලෙකට ගන්න බෑ කීව වගේ ප්‍රශ්නයක්ද ?
පුංචි ළමයෙක්ට මෙහෙම දරුණු අපරාධයක් වුණාම පෙත්සම් ලියාගෙන දෙමව්පියන් තමන්ගෙ ලඟට එන්න ඕනෙ නෑ නෝනේ...
මම නං ඇමති මම යනව දෙමව්පියන්ගෙ කකුල් දෙක ලඟට...මේ මහ වැරැද්ද කරපු කාලකණ්ණින්ට පණිවිඩයක් දෙනව අපි ඉන්නෙ මැරුණත් ළමය ලඟ මිසක් තොපි එක්ක නෙවෙයි කියල...ජනතා නියෝජිතයො කියන්නෙ එහෙම මිනිස්සු...
නෙද්දකින් ඔබතුමියන් වගෙ ඇමතිල...
ලැජ්ජයි !
පින්තූර අංක අනුව බලන්න.