SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

නීති ක්ෂේත්‍රයේ මෙන්ම සාමාන්‍ය සමාජය තුළද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සම්බන්ධයෙන් ප්‍රකට ප්‍රවාදයක් පවතී.

එනම්, "කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පත්වන විනිසුරුවන් එක්කෝ ක්ෂේත්‍රයේ ඉහළටම යනවා, නැතිනම් ගෙදරම යනවා" යන්නයි. මීට ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ සමාජීය වශයෙන් වඩාත්ම ආන්දෝලනයට තුඩු දෙන, බලගතු චරිත සම්බන්ධ වන නඩු බොහොමයක් විභාග වන්නේ මෙම අධිකරණයේ වීමයි.

 

 

මෑත කාලීනව මෙම යථාර්ථය යළිත් වරක් තහවුරු කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නඩුව සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී (SIS) සුරේෂ් සලේ ගේ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමත් සමගය. මෙම නඩු විභාගයන්හිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවී, හුදෙක් නීතිය සහ සාක්ෂි මත පමණක් පදනම්ව ලබා දුන් ඍජු තීන්දු සහ නියෝග නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්විය.

 

 

එහෙත්, මේ වන විට වාර්තා වන තොරතුරු පෙන්නුම් කරන්නේ යුක්තිය වෙනුවෙන් මධ්‍යස්ථව සිටගත් එම මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක් අධිකරණ සේවා කොමිසම විසින් ලබා දී ඇති බවයි. ඔහු වෙනුවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පත් කර ඇත්තේ ගල්කිස්ස අධිකරණයේ විනිසුරුවරයා ලෙස කටයුතු කළ පසන් අමරසේන ය. පසන් අමරසේන යනු පසුගිය වසරේ ගල්කිස්ස අධිකරණයේදී වසන්ත සමරසිංහ ඇතුළු පිරිසකට එරෙහිව පැවති නඩුවක් අතරවාරයේ, එවකට සිටි ගල්කිස්ස විනිසුරුවරිය හදිසියේ මාරු කර යවමින් එම ස්ථානයට පත් කරන ලද විනිසුරුවරයා වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන කරුණකි.

 

 

මෙම හදිසි ස්ථාන මාරුව පිටුපස ඇත්තේ හුදෙක් පරිපාලනමය අවශ්‍යතාවයක්ද, නැතහොත් විමර්ශන ආයතනවල අත්තනෝමතික හැසිරීම් සහ සාක්ෂි විරහිත ආඛ්‍යාන දැඩිව ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක්ද යන්න විමර්ශනාත්මකව බැලිය යුතු කරුණකි.

 

 

සාක්ෂි නැතිනම් නඩුව අවසන් කරන්න: රනිල්ගේ නඩුවේදී දුන් පණිවිඩය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අදාළ නඩු විභාගයේදී ඉසුරු නෙත්තිකුමාර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දුන්නේ පැහැදිලි පණිවිඩයකි. ඒ "එක්කෝ අධිකරණයට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරන්න, නැතිනම් නඩුව අවසන් කරන්න" යන්නයි. එසේම ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැනට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ පළමුවන සහ දෙවන සැකකරුවන් සම්බන්ධයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විභාගයට ගන්නට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට දැනටමත් අධිකරණ තීන්දුවක් ලබාදී ඇත. විමර්ශන ආයතනවලට අවශ්‍ය පරිදි කාලය කා දමමින්, සාක්ෂි නොමැතිව පුද්ගලයන් අපහසුතාවයට පත් කිරීමේ ක්‍රමවේදයට අධිකරණය ඉඩ නොදෙන බව ඉන් මනාව තහවුරු විය.

 

 

සුරේෂ් සලේ නඩුව: CIDයේ 'සෙල්ලම්' අධිකරණය හමුවේ හෙළිවීම

විනිසුරු ඉසුරු නෙත්තිකුමාරගේ මධ්‍යස්ථභාවය සහ ඍජු බව වඩාත්ම ඉස්මතු වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ නඩුවේදීය.

 

 

එහිදී, සැකකරුවෙකු වුවද ඕනෑම පුරවැසියෙකුට හිමි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුරේෂ් සලේ ට කළා යැයි කියන අමානුෂික වධහිංසාවන් පිළිබඳව ඔහුගේ නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ බරපතල හෙළිදරව්වක් කළේය.

 

"තෙවන සැකකරු අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු, රාත්‍රියේ නිලධාරීන් කිහිප දෙනෙක් ඔහුගේ සිර කුටියට ඇතුළු වී, ඔහුව ඉවතට රැගෙන ඔහු නිරුවත් කර, ශරීරය ඉදිරිපසට වන ලෙස අත් වලට අත්විලංගු දමා, එම නිළධාරීන්ට පිටුපා ඉදිරිපසට නැමීමට සලස්වා සියලුම අනෙක් රැදවියන් ඉදිරියේ ඔහුගේ ශරීරය පරීක්ෂා කිරීමක් සිදු කර ඔහුව කෲර, අමානුෂික හා නින්දිත සැලකීමකට ලක් කර ඇත."

 

මෙම කම්පනකාරී කරුණු දැක්වීම හමුවේ වහාම ක්‍රියාත්මක වූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු අධිකරණ මානසික වෛද්‍යවරයෙකු, පෝෂණවේදියෙකු සහ අක්ෂි රෝහල වෙත යොමු කරන ලෙස නියෝග කළේය. එමෙන්ම, තම නියෝග අකුරටම ක්‍රියාත්මක විය යුතු බවට CIDයට දැඩිව අවධාරණය කළ ඔහු, "යම් නියෝගයක් ක්‍රියාත්මක නොවී තිබුනොත් අධිකරණයට අපහාස කිරිම යටතේ පියවර ගන්නා බව" ප්‍රකාශ කරමින් විමර්ශන නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම්වලට තිරිංග දැමීය.

 

 

ගෙතූ "මහා ආඛ්‍යාන" වලට අධිකරණයෙන් රතු එළියක්

මෙම නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ස්වාධීන සාක්ෂි ඉදිරිපත් කරනවා වෙනුවට 2015 සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය දක්වා වූ දේශපාලනික සිදුවීම් ගළපමින් විශාල "චිත්‍රපටමය ආඛ්‍යානයක්" (Grand Narrative) ගොඩනැගීමට උත්සාහ කළේය.

 

 

එහෙත්, ඉසුරු නෙත්තිකුමාර විනිසුරුවරයා නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිමින්, පැමිණිල්ලේ මෙම උපකල්පිත කතන්දර දැඩිව ප්‍රශ්න කළේය. ඔහු ඍජුවම ඇසුවේ, "මේ සිද්ධීන් අතර සම්බන්ධයක් නැතිව විමර්ශකයන්ගේ මතවාද හැරෙන්න ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවද?" යන්නයි.

 

 

ඔහු එහිදී ලබා දුන් අවවාදය සමස්ත යුක්තිගරුක සමාජයේම අවධානයට ලක්විය යුතු එකකි:

"මේ විමර්ශනයත් එක්ක සෙල්ලම් කරන්න එපා. සියලු පාර්ශ්වයන්ට මේ කියන්නේ. මේක ක්‍රීඩාවක් නෙවෙයි. මෙය ඉතා සංවේදී ප්‍රශ්නයක්... සියල්ල අවසානයේ යුක්තිය ඉටුවීමට නම් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. එය හිතේ තියාගෙන තමයි අධිකරණය සෑම ප්‍රකාශයක් දිහාම බලන්නෙ. එතනින් පල්ලෙහා තියෙන මතවාද අධිකරණය සැකයෙන් තමයි බලන්නෙ."

පාරිවේශනීය සාක්ෂි මත නඩුව ගොනු කරන්නේ නම් ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගෙතී තිබිය යුතු බවත්, ඔප්පු නොකළ කරුණු ඔප්පු කළා සේ සිතා කරුණු දැක්වීමෙන් වළකින ලෙසත් ඔහු පැමිණිල්ලට තරයේ අවවාද කළේය.

 

යුක්තියේ ස්වාධීනත්වයට එල්ල වූ බලපෑමක්ද?

මෙම ලිපියෙන් කිසිසේත්ම අධිකරණයේ ක්‍රියාපටිපාටිය හෝ විනිසුරුවරුන්ගේ පත්වීම් විවේචනය කිරීමක් සිදු නොකෙරේ. එහෙත් මාධ්‍යයේ විමර්ශනාත්මක කාර්යභාරය ඇතුළත සිටිමින් අපට ප්‍රශ්න කිරීමට සිදුවන්නේ, විමර්ශන ආයතන විසින් මාධ්‍ය සංදර්ශන පවත්වමින්, සාක්ෂි නොමැතිව දේශපාලන කතන්දර අධිකරණයට ගෙන එන විට ඒවාට එරෙහිව නීතියේ දැඩි ස්ථාවරයක සිටි විනිසුරුවරයෙකුට හදිසියේම ස්ථාන මාරුවක් ලැබීම හුදු අහඹුවක්ද යන්නයි.

 

 

සැකකරුවන්ට කෲර ලෙස සලකන බවට චෝදනා එල්ල වන විට ඊට එරෙහිව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිමින්, CIDයට 'අධිකරණයට අපහාස කිරීම' යටතේ අනතුරු ඇඟවූ විනිසුරුවරයා මාරුකර යැවීම මගින් විමර්ශන ආයතනවලට ලැබෙන වක්‍ර පණිවිඩය කුමක්ද? යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දේශපාලන දඩයමක් බවට පත් කරගැනීමට ඉඩ නොදුන් විනිසුරුවරයෙකුට "ගෙදර යෑමට හෝ ස්ථාන මාරුවකට" මුහුණ දීමට සිදුවීම, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සම්බන්ධයෙන් පවතින ජනප්‍රිය ප්‍රවාදය යළිත් වරක් සනාථ කිරීමක් නොවේද?

 

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි